IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිරිඳගේ යක්ෂ දෝෂය සුවකරන්න ආ කට්ටඩියා ඇයත් සමග මාරු

කාන්තාවකට වැළදී  තිබූ අමනුෂ්‍ය දෝෂයක් සුව කිරීමට පැමිණි කට්ටඩියකු එම රෝගය සුව කර ඇයත් රැගෙන පලා ගිය සිද්ධියක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.


ඇය තිස් දෙහැවිරිදි රුවැති තිදරු මවකි. වසරක පමණ කාලයක සිට ඇයට කිසියම් රෝගයක් වැළඳි තිබූ අතර එම රෝගයට ප්‍රදේශයේ දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර කළත් සුව නොවුණි. මැයට වැළඳී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් යැයි නෑ හිතවතුන් පැවසූ නිසා ඒ සම්බන්ධයෙන් ද ප්‍රදේශයේ තිබූ දේවාල කරා ගොස් කටයුතු කිරීමට ඥාතීහු පියවර ගත්හ. එහෙත් ඇයට සුවයක් නොලැබිණි.


ලද ආරංචියකින් පසු  ඔවුහු දිනක් මහනුවර ප්‍රදේශයේ දේවාලයකට  ගොස් කට්ටඩියකු හමු වූහ. රෝගියා පරීක්ෂා  කර බලා මැයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවත් එම දෝෂය තමන්ට සුවපත් කිරීමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය කලමනා ලැස්ති කරන ලෙසත් තමන් අසවල් දින සවස පැමිණෙන බවත් කට්ටඩියා පවසා ඇයගේ කරට ඇප නූලක් දැම්මේය. තමන් පැමිණෙන බව වෙනත් කිසිවකුට නොකියන ලෙසද ඔවුන්ට අවවාදයක් ලෙස කට්ටඩියා කීවේය.


මනමාල පාටක් පෙනෙන තිස්හත් හැවිරිදි වියේ පසුවන කට්ටඩියා මෙදින පස්වරු 5ට පමණ ඔවුන්ගේ නිවසට පැමිණියේ බෙරකරුවකු ද සමගිනි. කට්ටඩියා ගෘහ මුලිකයාගේ සහ බෙරකරුවාගේ සහය ඇතිව ශාන්ති කර්මයට අවශ්‍ය දෑ සකස් කරගෙන රාත්‍රි9ට පමණ ශාන්ති කර්මය ආරම්භ කර එය අලුයම 1ට පමණ නිමා කරනු ලැබීය.


එදින රාත්‍රිය එම නිවසේ ගත කළ කට්ටඩියා පසු දින උදේ ගෘහමූලිකයාට කතා කර  කීවේ බිරිඳට වැළඳී තිබූ අමනුෂ්‍ය දෝෂයේ කොටසක් ඉවත් කළ බවත් ඉතිරි කොටස රාත්‍රියේ කළ යුතු බවත්ය. බිරිඳගේ රෝගය සුව වී ඇති බව ඇයද තම සැමියාට පැවසූ අතර එයින් ඔහු බොහෝ සතුටු විය. ආවතේව කටයුතුවලට  පැමිණි බෙරකරුවාගේ කුලිය දී ඔහු එදින රාත්‍රි ශාන්ති කර්මයට අවශ්‍ය නොවන බව පවසා ඔහු පිටත් කර යැවීමට ද  කට්ටඩියා කටයුතු කළේය.


එදිනද රාත්‍රී 9ට පමණ ආරම්භ කළ ශාන්ති  කර්මය රාත්‍රි 11ට පමණ නිමා කර සියල්ලෝම නින්දට වැටුණාහ. එදින රාත්‍රිය ද කට්ටඩියා එහිම නතර වූයේය.


සුපුරුදු පරිදි අලුයම 5ට පමණ අවදි වී ගෘහමූලිකයා බිරිඳට කතා කර කීවේ උදේ ආහාරයට යමක් සකසන ලෙසත් දින දෙකකින් කුඹුරට යෑමට බැරි වූ නිසා අද වෙලාසින්ම කුඹුරට යා යුතු බවත්ය. එසේ කියමින් බිරිඳ හා දරුවන් නිදා ගන්නා කාමරයට ගියේය. කාමරයේ බිරිඳ නොසිටි අතර දරුවන් පමණක් සිටිනු ඔහුට දැක ගැනීමට හැකිවිය. ඇය වැසිකිළියට හෝ ළිඳට වතුර ගේන්න ගියා දැයි සොයා බැලුවත් ඇය එහි නැත. ගෙවත්තේද නැත. ඇයට කතා කළත් පිළිතුරක් නැත.


මැයගේ අතුරුදහන්වීම ගැන පැවසීමට කට්ටඩියාට නිදා ගැනීමට දුන් කාමරයට  ගොස් ඔහු පිළිබඳව සොයා බැලුවේය. කට්ටඩියා ද එහි නැත. ඔහුට යම් සැකයක් මතුවිය. දරුවන් අවදී වූ පසු ඔවුන්ට ආහාර පාන සකස් කරදී මව පිළිබඳව විමසීමේ දී පැවසුවේ  මව ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති බවත් ඇය ඉක්මණින් පැමිණෙන බව පවසා ඔහු ද නිවසින් පිටත් වූයේ දරුවන්ට කොහේවත් නොයන ලෙසට අවවාදයක් ද කරමිණි.


ඔහු කෙළින්ම ගියේ කට්ටඩියාගේ නිවස වෙතය. එහි යනවිට කට්ටඩියා නිවසේ නොසිටි අතර ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිටියාය. ඇයට සියලු විස්තර පැවසූ විට ඇය පැවසුවේ ‘‘ඔය නොසන්ඩාලයා ඔහොමමයි. ඕකා දන්න මන්ත්‍ර ශාස්ත්‍රයක් නෑ. කරන්නේම ඔහොම නොහොබිනා වැඩමයි’’ යැයි ඇය ඔහුට පවසා මම ඔයාගේ බිරිඳ හොයලා ඉක්මණින්ම ගෙදර එවන්නම් යැයි කියා ඔහු පිටත් කර හැරියේය.


ගත වූයේ දින දෙකකි. ඇය නිවස කරා පැමිණියේ කට්ටඩියාගේ බිරිඳ ද සමඟිනි. එහිදී ඔහු පැවසුවේ මේ දරුවන් තිදෙනා නිසා තමන් නැවත භාරගන්නා බවත් මෙවැනි නොහොබිනා වැඩක් මින් මතුවට කර තිබුණොත් ආයේ තමන්ගෙන් කිසිම සමාවක් නොලැබෙන බව කියමින් ඇයට නිවස තුළට යෑමට අවසර දී කට්ටඩියාගේ බිරිඳට ස්තුති කර ඇයට ආහාර පාන වලින් සංග්‍රහ කොට අතට බස් ගාස්තුවක් ද දී පිටත් කර හැරියාය.

 

හසලක සුනිල් ඒකනායක



අදහස් (1)

බිරිඳගේ යක්ෂ දෝෂය සුවකරන්න ආ කට්ටඩියා ඇයත් සමග මාරු

jilmart Sunday, 10 July 2022 05:19 PM

ඇත්තටම කට්ටඩියා කියන වචනය තේරුම් ගන්න ඔයතරම් අපහසුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site