(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
එකම කෙසෙල් කැනකට මාන බැලූ සොරුන් දෙදෙනකු නිසා ගෙහිමියෙකුට කපා දැමූ කෙසෙල් කැනක් හොඳ කැති දෙකකුත් හමුවීමේ පුවතක් මහනුවරට නුදුරු කඳුකර ගම්මානයකින් වාර්තාවේ.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි.
රජයේ ලිපිකාර සේවයේ නියුතු සිව් දරු පියකු වන ඔහු සේවය නිමවා නිවසට ආ මොහොතේම වත්තේ පිටියේ කැත්තේ උදැල්ලේ වැඩට යොමුවන්නේ රැකියාවෙන් ලැබෙන වැටුපට අමතරව නිවසේ පවතින ජීවන බර යම්තාක් හෝ දුරට අඩුකර ගැනීමේ චේතනාවෙනි.
පවතින අත් ගුණය නිසාදෝ භව භෝග පලදාවද හොඳින් තිබූ ගෙවත්තේ වැට මායිම අද්දර රතඹලා පඳුරේ වූ පැසුණු කෙසෙල් කැන කපා ගැනීමට ඔහුට සිත් නොවුයේ එය කෙසෙල් ගසේම ඉඳුණු පසු කපාගැනීමට අවශ්‍ය වූ නිසාය.
කෙසේ නමුත් ඒ පිළිබඳව ඉව ඇල්ලූ ඔහුගේ නිවස ආසන්නයේම පදිංචි පුද්ගලයකු එය හොරෙන් කපා ගැනීමට කටයුතු කළේ මේ දිනවල රාත්‍රියේ පවතින මහ වැසිද නොතකාය.
පැය භාගයකට ආසන්න කාලයක් දැරූ දැඩි ප්‍රයත්නයකින් අනතුරුව කපාගත් කෙසෙල් කැන රැගෙන යාමට සැරසෙත්ම ඔහු ඉදිරියේ අඳුරේම පෙනී සිටි කැත්තක් රැගත් පුද්ගලයකු නිසා තමන් ගෙහිමියාගේ අතටම අසුවීමට යතැයි සිතූ ඔහු කැපූ කෙසෙල් කැන පමණක් නොව අතැති කැත්තද බිම දමා දුවන්නට වූයේ ඇතිවූ තිගැස්මෙන් යටි ගිරියෙන්ද හූ හඬ තලමිනි.
මෙයින් අන්දමන්ද වූ අනෙකාද ඊට නොදෙවෙනි ආකාරයෙන් හූ හඬ තලමින් තමන් අත වූ කැත්තද පසෙක දමා අඳුරේම වැටි වැටී දුවන්නට වුයේ මේ අතරවාරයේමය.
තම ගෙවත්තේ රාත්‍රියේ ඇතිවූ මේ කලබැගෑනිය කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි වූ ගෙහිමියාද දනි පනි ගා විදුලි පන්දමක්ද දල්වා ඒ ගැන විපරම් කිරීමේදී ඔහුට දර්ශනය වූයේ පාරක් තොටක් නොදැන හැපි හැපී දුවන පුද්ගලයන් දෙදෙනෙකි.
කෙසේ නමුත් ඉන් අනතුරුව ඔහුට දැකගැනීමට හැකිව ඇත්තේ කැපූ රතඹලා කැන හා කැති දෙකකි. එය දැකීමෙන් සිදුවී ඇති දෙය තේරුම් ගත් ඔහු ඒ සියල්ලම තම නිවස වෙත ගෙන ගියේය.
2025 ඔක්තෝබර් මස 08
1628
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1394
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
කෙසෙල් ගස් අයිතිකාරයාට හොරුන්ගෙන් තෑග්ගක්