දිනෙන් දිනම රට තුළ අපරාධ රැල්ලේ උත්සන්න වීමක් දක්නට ලැබේ. මිනී මැරුම් සේම ළමා අපචාර , ලිංගික හිංසන ආදී විවිධාකාරයේ අපරාධවල ඔඩු දිවීමක් වරින් වර මාතෘකා අතරට පැමිණේ. එවන් පසුබිමක අපරාධ සඳහා වැඩිහිටියන් පෙළඹිමේ මානසිකත්වය, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සහ ප්‍රතිකාර අළලා පහත ලිපිය සටහන් වේ.

අපරාධ සිදු කිරීමට විවිධ කාරණා බලපැවැත්විය හැකියි. එකී පුද්ගල සාධක වෙතින් කිනම් ආකාරයේ බලපෑමක් මේ සඳහා එල්ල කෙරේද යන්න මුලින්ම විමසා බැලිය යුතුයි. අපරාධයක් සිදු කිරීමට පුද්ගලයකු පෙළඹීමේදී පුද්ගල පෞර්ෂත්ව සාධක ඒ අතර ප්‍රධාන තැනක් ගනී. පුද්ගල පෞර්ෂත්ව සාධක යනුවෙන් හැඳින්වෙන්නේ කිසියම් පුද්ගලයකුගේ හැසිරීම සම්බන්ධ රටාවකි. ඒ අතුරින් සමාජ විරෝධී හැසිරීම් පෙන්නුම් කරන්නෝද වෙති. නව යෞවන වියේ සිට මහලු අවදිය දක්වා පුද්ගලයන් තුළින් සමාජ විරෝධී ආකල්ප, හැසිරීම් රටා මතු විය හැකි අතර මෙහි මූලාරම්භය පුද්ගලයාගේ කුඩා අවදියයි.

සුලබ සමාජ විරෝධී පුද්ගල හැසිරීම් රටා

තව කෙනකුගේ මතය පිළි ගැනීමට ඇති නොහැකියාව

සෙසු මතවලට විරුද්ධව යාම

බාහිර පාර්ශ්ව ආදියට ගරුත්වයක් නැතිකම

වෙනත් පුද්ගලයන් රිදවීම, ඔවුන්ට හිරිහැර පමුණුවීම සහ ඔවුන්ව පීඩාවට ලක්කොට තමන් තෘප්තිමත් වීම.

තව කෙනකුගේ වේදනාවට සංවේදී නොවීම

නිරතුරු සමාජ විරෝධී ආකල්ප දරන මොවුහු ඉතා ආක්‍රමණශීලී මෙන්ම ආවේගශීලීද වෙති. සමාජයට හානිදායී හැසිරීම මෙන්ම ක්ෂණික කෝපය, බලහත්කාරයෙන් අන්සතු දෑ තමන් යටතට නතු කර ගැනීමේ හැකියාව වැනි ගති ලක්ෂණද පෙන්නුම් කෙරේ.

මෙම ගති ලක්ෂණ කාලයත් සමඟ තවත් විකසනය වී අවි ආයුධ හරහා බලය, ආධිපත්‍යය පැතිරීම, ලිංගික හිංසාවන් සිදු කිරීම දක්වා තත්ත්වය බරපතළ විය හැකියි. අන් පාර්ශ්ව වෙත පහර දීමටත්, මවා පෑමත් මෙබඳු පුද්ගලයන්ගේ සුලබ ලකුණුවේ.

එසේම මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියට දිගු කලක සිටම ගොදුරු වීමත් මෙවන් ව්‍යාකූල මනසක් සතු වීමට මූලිකම හේතුවකි. එමගින් ආතතිය ,මනසේ නොසන්සුන්කාරී හැගීම් ඇති වීම තවත් වර්ධනය වේ .

බොහෝ විටම සමාජ විරෝධී පුද්ගලයකුගේ සැකැස්මේ තිඹිරිගෙය තම නිවහනයි. අවුල් සහගත පවුල් තුළින් බිහිවන දරුවන්ට නිසි ආදරය, රැකවරණය යන අත්‍යවශ්‍ය කාරණා මුල් අවදියේ සිටම නොලැබී යාම මත සමාජයට දායාද වනුයේ දඩබ්බර නොහික්මුණු පුද්ගලයන්ය. මොවුන් පොදු සමාජය හා ගැටීමේදී සමාන ගති ලක්ෂණ ඇති පාර්ශව කෙරෙහි ලැදි වෙති. කණ්ඩායම් අපරාධ මෙන්ම නව අපරාධ කල්ලිවල බිහිවීම පටන් ගැණෙනුයේ එතැන් සිටය. ප්‍රශ්නකාරී පවුල් තුළින් බිහිවන දරුවන් විශේෂයෙන් ගැහැනු දරුවන්ට පවා නිසි ආරක්ෂාවක්, සොයාබැලීමක් නැත. එතැනින් අනාරක්ෂිත ඔවුන්ගේ ජීවිතය විවිධාකාරයේ හැළහැප්පීම් සමඟ ගෙවී යයි. ගැහැනු දරුවන් කුඩා වයසේ සිටම අනාරක්ෂිත වීම මධ්‍යයේ විවිධ ලිංගික අපචාරවලට පෙළඹීම, මානසික විකෘතිතා ඇති පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වීම නිතැතින්ම සිදුවේ.

තවත් කණ්ඩායමක් කුඩා කල සිටම සමාජයේ දකින ඇසෙන දේවල් පාදක කොට ගනිමින් ජීවත් වෙති. මනෝ වෛද්‍ය විද්‍යාවේදී මෙය social learning theory ලෙස වර නැඟේ. සමාජයේ සිදුවන අපචාර නිතර නෙත ගැටීමෙන් ඒවා යම් කාලයකදී සාමාන්‍යකරණය වීම සිදු වේ. දිගු කලක් මුළුල්ලේ සිට එවැනි දෑවලට ඇබ්බැහි වීම තුළ එමගින් මනසට එල්ල කෙරෙන බලපෑම කෙතෙක්ද?

මේ වනවිට ලිංගික අපචාර මෙන්ම ලිංගික හිංසනද වැඩි වෙමින් ලැයිස්තු අතරට එක්ව ඇත. ස්ත්‍රී දූෂණ මෙන්ම කාන්තාවන් විසින් කුඩා දරුවන් කෙලෙසීම වැනි දෑද වත්මනේදී පුවත් මැවීමට හේතු වී ඇත. මේ සඳහා බලපාන කාරණා අතර ලිංගිකත්වය පිළිබඳ දැනුම අඩුකම ,නිසිපරිදි සමාජය මේ මාතෘකාව එළිපිටදී කතා කිරීමට දක්වන බිය මෙන්ම ලැජ්ජාව ,සමහර පුද්ගලයන්ගේ පවතින අසාමාන්‍ය ලිංගික අවශ්‍යතා ,මානසික වශයෙන් අසහනකාරී තත්ත්ව බලපෑ හැකියි.

ආදරය , රැකවරණය යන කාරණා මඟ හැරුණු පවුල්වල ගැහැනු සහ පිරිමි දෙපක්ෂයේම දරුවන් අද ලිංගික හිංසනවලට ගොදුරු වීමත්, අපරාධකරුවනුත් ඒ ආශ්‍රිත පවුල් පසුබිමේම වෙසෙන්නන් වීම කෙතරම් සෝචනීයද?

මෙවන් අකටයුතුකම් අවම කිරීමට, පාලනය කිරීමට පහත පියවර ක්‍රියාත්මක කළ හැකියි. පුද්ගලයකු කුඩා අවදියේ සිටම සමාජ පෞර්ෂත්ව ලක්ෂණ හඳුනා ගත යුතුයි. එවන් ලක්ෂණ ඇති අයට වැඩි අවධානයක් සේම වැඩි ආදරයක් ලබා දිය යුතුයි. මෙබඳු පුද්ගලයන්ව කිසිසේත්ම කොන් නොකොට තැබිය යුතුවේ.

එසේම තම ජවය,ශක්තිය පිළිගත හැකි කාර්යයවලට යොදා ගැනීමේ ක්‍රමවේද ගැන ඔවුන් සමග සාකච්ඡා කළ හැකියි.

පාසල හුදෙක්ම විභාග සඳහා සූදානම් කිරීමක් පමණක්ම නොවිය යුතුයි. පෞර්ෂත්වය ගොඩනැංවෙන පරිදි සාමූහික ක්‍රියාකාරකම්වල, කණ්ඩායම් ක්‍රීඩා තරගවලට මෙබඳු දරුවන් යෙදවිය හැකියි. එහිදී පෙරකී ලක්ෂණ හඳුනා ගත් දරුවන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි.

තවද මනෝ වෛද්‍ය සේවාවන් හරහා ඔවුන්ව පුනරුත්ථාපනය සඳහා යොමු කළ හැකියි.

අසාමාන්‍ය චර්යා හඳුනා ගැනීම, පුනරුත්ථාපනය සේම ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක්ද පවතී. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඖෂධ ප්‍රතිකාර සහ ප්‍රතිකාර ලබා දෙන කාලය වෙනස් වේ. මෙම තත්ත්ව යම් කාලයක් පුරාවට නිසි ප්‍රතිකාර මගින් මඟ හරවා ගත හැකි ඒවා වේ. එබැවින් නොපමාව නිසි වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

-සටහන- මාධවී ධර්මරත්න