ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රටවල ඇතිවූ අර්බුදය සමග ගෝලීය එන්නත් හිඟයක් නිර්මාණය විණි. එහි අතුරුපල ලෙස එම එන්නත ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇතිවන බව දක්නට ලැබුණි.

මතභේදයට තුඩු දුන් මෙවන් පසුබිමක පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබා ගෙන දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නත් භාවිත කළ හැකිද සහ කොපමණ කාල පරාසයකදී දෙවැනි මාත්‍රාව ලබා දුනහොත්ද මනා ප්‍රතිදේහ ජනනය සිදුවන්නේද යන්න කාරණා අළලා පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගියදා නිකුත් කෙරිණ

මේ සියලුම පර්යේෂණ දැනට මූලික අවදිවල පැවතුණද ඉන් ලැබෙන ප්‍රතිඵල ඉතා සාර්ථක මට්ටමේ පවතින බව කිව යුතුය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මෑතක පළකළ පර්යේෂණ වාර්තාවකට අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු හා දෙවැනි මාත්‍රාව අතර කාලසීමාව සති 45 දක්වා දිගු වුවද ප්‍රතිශක්තීකරණය සාර්ථක බව දැක්වේ. ලොව පුරා ඇතිවුණු එන්නත් හිඟය සමග දෙවැනි මාත්‍රාව ප්‍රමාද වූ රටවලට මෙය සුබදායී පුවතකි. තවත් පර්යේෂණ මාලාවකින් මතු කෙරුණු තොරතුරක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව සඳහා ෆයිසර් වැනි M.R.N.A. එන්නත් භාවිතයෙන් සිදුවන ප්‍රතිශක්ති ජනනය යහපත් බවයි.

මෙහිදී සිදුවන ප්‍රතිශක්ති ජනනය ඇස්ට්‍රාසෙනිකා එන්නතේම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී සිදුවන ප්‍රතිශක්ති ජනනයට සමාන හෝ ඊටත් වඩා වැඩි විය හැකි බවයි.

මූලික අදියරේ පවතින මේවායේ සාක්ෂි ගෝලීය එන්නත් හිඟයෙන් පීඩා විඳින රටවලට අස්වැසිල්ලක් වනවා සේම ලෝක කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ නව දිශානතියකටද යොමු කෙරෙනු ඇති.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරුඇසුරිනි.)

සටහන- මාධවී ධර්මරත්න