(විනීතා එම් ගමගේ)
 
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම හා සෙනසුරාදා තැපැල් කාර්යාල වසා දැමීම ඇතුළු ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උස්ස අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයේ දී අනිද්දා (09) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
 
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවට තැපැල්පතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ පරිපාලන මට්ටමේ නිලධාරින් පිරිසක් හා තැපෑලේ සියලූම වෘත්තිය සමිතිවල නියෝජිතයන් ද සහභාගි වීමට නියමිතය.
 
තැපැල් දෙපාර්තමේන්තුව වසරක දී කෝටි 500 කට ආසන්න මුදලක් පාඩු ලබන බව හෙලිවී තිබේ.
 
කාර්ය මණ්ඩල වැටුප් සඳහා තැපැල් දෙපාරේතමේන්තුව වසරක දී කෝටි 100 කට ආසන්න මුදලක් වැය කරන අතර අතිකාල ඇතුළු විවිධ දීමනා ගෙවීමට පමණක් දිනකට කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කරන බව හෙලි වී තිබේ.
 
මෙම අසීමිත වියදම් අවම කර ගැනීමේ වුවමනාව මත දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් තීරණ කිහිපයක් ගෙන ඇති අතර එම දෙපාර්තමේන්තුවට දැනට වැඩ කරන දිනයක් වන සෙනසුරාදා දිනයේ තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල වසාතැබීමට ද එහි දී තීරණය කර ඇත.
 
මෙකී තීරණයට දෙපාර්තමේන්තුවේ සමහර වෘත්තිය සමිති විරුද්ධ වී ඇති අතර ඒ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරවන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.