(කටුනායක ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මොවුන් අද (14) උදෑසන 9.00ට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ගුවන් යානයෙන් යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මේ අතර අද (14) උදෑසන 7.00ට පමණ වනවිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 1631ක් පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
දියතලාව සහ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථාන මේ වනවිට සූදානම් කර ඇතත්, මේ වනතෙක් කටුනායක ගුවන් තොටුපළ සිට මෙම මධ්‍යස්ථාන වෙත ගුවන් මගීන් යොමු නොකර ඇති බව ද අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේය.
ඒ අතර මෙසේ ගුවන් මගීන්ට පිවිසීමට තහනම් රටවල් අතරට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල් 08ද එක් කර ඇති අතර, එම තහනම අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
COMMENTS
තාවකාලිකව කිසිම රටකින් ලංකාවට ඇතුල් වෙන්න දෙන්න එපා.
මේ සංචාරකයින්ට ලෙඩේ වැළඳී ඇත්තේ රට තුළදී බවයි පේන්නේ... ඒක සිදුවූයේ කෙසේද?
රටවැසියෙකු ලෙස ආඩම්බර විය හැකි අවස්ථාවක්...! අපේ රටේ තිබෙන මහත්මා ගතිය ආරක්ෂා කළ අවස්ථාවක්... අපේ රටට සංචාරය කිරිමට පැමිණි අයට කෘතගුණ දැක්විමක්... ලෝකයට මානුෂීය පණිවිඩයක්... මෙවැනි තීන්දු තීරණ ගන්න සියලුම දෙනාට හිස නමා ගරු කරමි. ස්තුතියි.
මීට කලින් චීන කාන්තාවක් මෙලෙස නිරෝධායනය කළා. ගුවන් තොටුපළට ආපු අයට තමන්ගේ රටට යන්න දෙන්න.
සියල්ලෝම අයි.ඩී.එච්. යවන නිසා එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට අර අපේ රටේ පුද්ගලයෙක් නිර්මාණය කළ නැනෝ තාක්ෂණයෙන් අවට පරිසරයේ වයිරස් විනාශ කරන යන්ත්‍රය එහෙ සවිකළොත් නරකද? එයාර්පෝර්ට් එකට නම් එ්ක වැඩක් නැහැ...
රටේ පාසල්, උපකාරක පන්ති, විශ්ව විද්‍යාල වහලා හදිසි තත්ත්වයක් තියෙද්දිත් මොන මඟුලකටද මේ පිටරට වසංගතවලට ලංකාවට එන්න දුන්නේ?
බඩේ කුඩු තියනවද කියලත් පරීක්ෂා කරලා බලන්න.. දැන් හුඟක් අපේ රටට එන්නේ යන්නේ කුඩු මුදලාලිලානේ...
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් ගුවන් මගීන්ට පිවිසීමට තහනම් ලෙස මීට දින කිහිපයකට පෙර දන්වා තිබියදී අද 1631 ක් එම රටවලින් ලංකාවට ආවේ කෙසේද?