(ඩයනා උදයංගනී)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් පොකුරත් සමඟ රට තුළ කොරෝනා හෙවත් කොවිඩ් 19 දෙවැනි රැල්ලක් මතුවීමේ දැඩි අවදානමක් මතුව ඇති බැවින් දිනකට සිදුකරන පී.සී.ආර් පරීක්‍ෂණ ප්‍රමාණය වහා ඉහළ නැංවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
දෙවැනි රැල්ලක් පැමිණීම වළක්වා ගැනීමට නම් මසකට පී.සී.ආර් පරීක්‍ෂණ 68,000ක් එනම් දිනකට 2,500ක් පමණ කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගතවේද විද්‍යාඥයින් පවසා තිබියදීත් පසුගිය මාස දෙකක කාලයේදී දිනකට සිදුකර ඇත්තේ පරීක්‍ෂණ 500ත් 1,600ත් අතර ප්‍රමාණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
සමාජය තුළ කොරෝනා වයිරසය ඇත්දැයි හඳුනාගත හැක්කේ විද්‍යාත්මක ක්‍රමයකට අහඹු නියඳි තෝරාගෙන පී.සී.ආර් පරීක්‍ෂණ කිරීමෙන් පමණක් බැවින් දිනකට එම පරීක්‍ෂණ 2,500ක්, 5,000ක් වැනි ප්‍රමාණයක් කළ යුතුව තිබෙන බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ලේකම්වරයා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වයිරසය වැළඳීමේ දැඩි අවදානමක් ඇති අය ලෙස හඳුනාගෙන ඇති අය මෙන්ම රෝහල්වල බාහිර රෝගී අංශවලට එන උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්‍ෂණ ඇති අය, සාමාන්‍ය නිරෝගී ජනතාව, රෝගීන් සමඟ සබඳතා පැවැත්වූ අය හා ඔවුන්ගේ ස්පර්ශකයින් අතරින් අහඹු නියඳි තෝරාගෙන පරීක්‍ෂා කළ යුතු බව ද ලේකම්වරයා කීවේය.
පරීක්‍ෂණවලින් වයිරස ආසාදිතයින් නොවන අයත් නැවත නැවත පරීක්‍ෂා කළ යුතු බව කී සෙනාල් ප්‍රනාන්දු මහතා එසේ සිදුකළේ නම් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ආසාදිතයින් සංඛ්‍යාව මෙතරම් ඉහළ නොයාමට ඉඩ තිබූ බව ද පැවසීය.
මීට පෙර දිනපතා රැස්වූ වසංගතවේද විද්‍යාඥයින්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කොවිඞ් 19 පාලනය කිරීමේ තාක්‍ෂණ කමිටුව මේ වන විට මසකට වඩා කාලයකින් රැස්වී නැතැයි කී ලේකම්වරයා එය ඉතා බරපතල තත්ත්වයක් බවත්, එය නැවත කැඳවමින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන කතාව ඇත්ත. එ්ත් පරීක්ෂණ වැඩිකරනවට වැඩිය උනන්දුව තියෙන්නේ පරීක්ෂණ කරන එක පුද්ගලික අංශයට දීමටයි..
අප මේ නොදන්නා කමටයි අහන්නේ.. මේ තරම් දැනුමක් තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය ආණ්ඩුව කාලේ වැඩවර්ජන කෙරුවේ, රෝගීන්ව බිල්ලට දීලා කටයුතු කළේ, ඔය කියන විද්‍යාත්මක ක්‍රමයට වෙන්න ඇති නේද...?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවලට මෙරට වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ගත්තු දක්ෂයෝ පත්කරන්න. නැතිනම් මේ හැම වැඩක්මමන්දගාමීව වෙන්නේ.
PCR පරීක්ෂණ වැඩි කළ පලියට ඔය වසංගතය මැඩ පැවැත්වීමට නොහැක. එසේ නැතිනම් ලංකාව පුරා සිටින සියල්ලන්ගේම ඔය පරීක්ෂණය සතියකට වරක් පැවැත්විය යුතු වේ. හේතුව ඔය පරීක්ෂණයෙන් පසුවත් පුද්ගලයෙකුට රෝගය වැළඳීමට ඉඩක් තිබීමයි. කළ යුත්තේ ඉලක්කගත පුද්ගලයන් සහ අහඹු සාම්පල පරීක්ෂා කිරීමයි. ඒක දැනටමත් කෙරෙමින් පවතිනවා. තමන් තවම ඉන්න බව අඟවන්නට බොරුවට කෑ නොගහ ඉන්නවා නම් තමන්ගේ අණුවනකම් සඟවා තියාගන්න පුළුවන්. ඔය පිරිසම PCR පරීක්ෂණය වෙනුවට වෙනත් පරීක්ෂණයක් තිබෙනවා යයි බෙරිහන් දුන්නා. ඒක අසාර්ථක නිසා කවුරුත් කරන්නේ PCR පරීක්ෂණයයි. ඒ උපදෙස පිළිපැද්දා නම් දැන් ලංකාව හොඳ අමාරුවක වැටෙන්න ඉඩ තිබ්බා...
සමිත සේනක මහතා වෙත, වෛද්‍ය වැඩ වර්ජන කියලා මම දන්න විදිහට නම් නවත්වන්නේ ක්ලිනික්, සාමාන්‍ය ශල්‍යකර්ම වගේ හදිසි නොවන රෝගීන් බැලීම පමණයි. ළමා වාට්ටු, මාතෘ වාට්ටු, පිළිකා වාට්ටු ඇතුළු සියලුම වාට්ටුවල රාජකාරි, හදිසි ප්‍රතිකාර වෙනදා මෙන් කිසි අඩුපාඩුවක් නැතිව සිදුවේ. වෛද්‍යවරු එකපාරටම වර්ජන කළේ නැහැ. සාකච්ඡා කරලත් විසඳුම් නැතිවිට අවසාන දේ ලෙස තමයි එහෙම කළේ... අනික දවසකට වඩා එහෙම වර්ජනය කරලා නැහැ වෛද්‍යවරු. ඔබ දන්නේ නැති නිසා කියන්නේ... කොරෝනා කාලෙදීත් රජයේ රෝහල්වල ක්ලිනික් තිබ්බේ නැහැ මාස ගාණක්... හදිසි ශල්‍යකර්ම කළේ නැහැ. එහෙම කියලා රෝගීන් මැරුණාද? ඔබලා ගෙදරටම වෙලා කකා බිබී ඉඳිද්දී වෛද්‍යවරු ජීවිත අවදානමක් අරන් රෝහල්වලට ගිහින් වැඩකළා.. ඔබ මුලින් කිව්ව දේ නම් ඇත්ත තමයි. ඔබ නොදන්නා කමට තමයි අහලා තියෙන්නේ...
එහෙමනම් මෙයාලා කරලා තියෙන්නේ පරීක්ෂණ නොකර කොවිඩ් නැහැ කීමයි. ලිපිය බලනකොට ජාතික ආරක්ෂාව ගැන සිරාගේ වැඩ මතක් වුණා. මේ අවස්ථාවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියන දේ කිරීම සඳහා රජයට මග නොහැරිය හැකි යුතුකමක් සහ වගකීමක් තියෙනවා.