මෙතෙක් පවත්වාගත් ස්ථාවරය වෙනස් කරමින් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පළඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මුඛ ආවරණ පළඳින්නැයි මෙතෙක් නිර්දේශ කළේ විවිධ අසනීප ඇති පුද්ගලයන්, ඔවුන් රැකබලාගන්නා පිරිස් සහ වෛද්‍ය අංශවල රාජකාරිවල නියුතු පිරිස්වලට පමණි.
ඒ අනුව මහජනතාවට මුඛ ආවරණ පළඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එලෙස නිර්දේශ කළ පළමු අවස්ථාව මෙයයි. එසේ පොදු ස්ථානවලදී මුඛ ආවරණය පැළැඳිය යුත්තේ සමාජ දුරස්ථභාවය පවත්වාගත නොහැකි සහ ‘කොවිඩ්-19’ වයිරසය බෝවීමේ අවදානම් ඇති අවස්ථා සහ ස්ථානවලදී ය.
මේ අනුව ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට උපකාර කිරීම සඳහා ජනතාවට පොදු ස්ථානවලදී මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලීමක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සංවිධානයේ සාමාජික රටවලට නිර්දේශ කර ඇත.
පසුගිය සතිවල කරන ලද අධ්‍යයන මත පදනම් වී එම නිර්දේශය කරන බවත් මුඛ ආවරණ පැළැඳීම වයිරසයේ ව්‍යාප්තිය සහ එය බෝවීම පාලනය කළ හැකි එක් දෙයක් පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැසීය.
‘‘මුඛ ආවරණයක් පැළඳීමෙන් පමණක් ‘‘කොවිඩ්-19’’වලින් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැන වැරැදි වැටහීමක් ඇති කරගන්න එපා’’ යැයි මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.
‘‘මහජනතාවට මුඛ ආවරණ පළඳින ලෙස නිර්දේශ කරන්නැයි අපි සාමාජික රටවලින් ඉල්ලා සිටිනවා. අපි මේ බව නිර්දේශ කරන්නේ මෑතකදී කරන ලද අධ්‍යයනවල සොයාගැනීම් අනුවයි. නිවැරැදි ලෙස මුණ ආවරණ භාවිත කිරීමෙන් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කළ හැකි බව අනාවරණය වී තිබෙනවා. ඒ වගේම සායනික මුඛ ආවරණ පැළැඳිය යුතු නැහැ. රෙදිවලින් සාදාගත් මුඛ ආවරණයක් පැළැඳීම ප්‍රමාණවත් බව විශේෂයෙන් කියන්න වුවමනා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික අංශයේ ප්‍රධාන විශේෂඥ මාරියා වැන් කෙර්කොව් ප්‍රකාශ කළාය.
‘‘නිවැරැදි ලෙස මුඛ ආවරණයක් පැළැඳීමෙන් වයිරස ආසාදිත බිඳිති නවත්වාගන්න හැකියාවක් තියෙනවා. නව අධ්‍යයනවලින් ඒ බව තහවුරු වී තිබෙනවා’’ යැයි ඇය කීවාය.
ඇතැම් රටවල් මීට බොහෝ කාලයකට පෙර මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කළ ද මුඛ ආවරණ පැළැඳීමෙන් බොහෝ පිරිසකට වයිරසය ආසාදනය වීම වළක්වාගත හැකි බව හෝ එසේ නොවන බව කීමට ප්‍රමාණවත් සාක්ෂි නැතැයි ලෝක සෞඛ්‍ය එම බොහෝ අවස්ථාවලදී සඳහන් කළේය. සායනික මුඛ ආවරණ පැළැඳිය යුත්තේ වෛද්‍ය කාර්යමණ්ඩල, අසනීප ඇති පුද්ගලයන් සහ ඔවුන් රැක බලාගන්නා අය පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම විටම නිර්දේශ කළේය.
ලොව රටවල් රැසක් මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇති අතර එසේ නොකරන පිරිස්වලට දඩ ගැසීමට ද ඇතැම් රටවල් පියවර ගෙන ඇත.
බස් රථ, දුම්රිය, ගුවන් යානා සහ මඟී ප්‍රවාහන බෝට්ටුවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇති අතර එම නීතිය ජූනි 15 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
කෙසේ නමුත් මුඛ ආවරණ පළඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දීමට පෙර සිට ලොව රටවල් රැසක සෞඛ්‍ය අංශ ජනතාවට පවසා තිබුණේ නිවසින් බැහැරව යන්නේ නම් මුහුණු ආවරණ පැළැඳීම කළ යුතු බවය. ඇතැම් රටවල මුහුණු ආවරණ පැළැඳීම නීතිගත වී ඇති අතර, මුඛ ආවරණ නොමැතිව නිවසින් පිටතට ගියහොත් එය සිරදඬුවම් ලැබිය හැකි වරදකි.
රෝගී වූවත් නැතත් මුඛ ආවරණ පැළඳීමෙන් ‘කොවිඩ්-19’ වයිරසයෙන් ආරක්ෂා විය හැකි බව පළමුවෙන් පැවැසුවේ චීන වෛද්‍යවරුන්ය. ඉන්ෆ්ලුවෙන්සා, සර්ස් වැනි වසංගත හේතුවෙන් චීන, හොංකොං, දකුණු කොරියා සහ තායිවාන වැසියෝ වැඩි පරිස්සමට මුහුණු ආවරණ පළඳිති.
‘කොවිඩ්-19’ හේතුවෙන් මුඛ ආවරණ පළඳින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දුන් උපදෙස් අනුව ක්‍රියා කළ පළමු රට වන්නේ වෙනිසියුලාවය. ඉන්පසු වියනාමය, චෙක් ජනරජය, ස්ලොවේකියාව, බොස්නියාව, කොලොම්බියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍යය, ඔස්ට්‍රියාව, මොරොක්කෝව, තුර්කිය, එල් සැල්වදෝරය, චිලී රාජ්‍යය මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කළේය.
කැමරූන්, ඇන්ගෝලා, බෙනින්, බුර්කිනා ෆාසෝ, ගිනියා, ඝානා, ඉතියෝපියා, ලැබොන්, කෙන්යා, ලයිබීරියා, සැම්බියා, රුවන්ඩා, සියාරා ලියොන් ඇතුළු අප්‍රිකානු රටවල් ද මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇත.
ඊට අමතරව ඊශ්‍රායලය, ආජන්ටිනාව, පෝලන්තය, ලුක්සෙම්බර්ග්, ජැමෙයිකා, ජර්මනිය, බහාරේන්, හොන්ඩුරාස්, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ පාකිස්තානය යන රටවල සෞඛ්‍ය බලධාරීන් ද නිවසින් පිටතට යන්නේ නම් මුඛ ආවරණ පළඳින්නැයි මහජනතාවට උපදෙස් දී ඇත.
රොයිටර්ස්
- 055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොදු ස්ථානවල මුඛ ආවරණ පළඳින්න
Dewa Sunday, 07 June 2020 11:39 AM
මේක කරුණාකර දොස්තරලා මගින් සමාජගත කරන්න.
මහසෙන් Sunday, 07 June 2020 12:10 PM
ඔබලාගේ නිර්දේ්ශ අපට අදාල නැත.. පබා මහත්මිය පවසන්නේ අවශ්‍ය නැති වගයි..
රවින් Sunday, 07 June 2020 12:21 PM
අපේ සෞඛ්‍ය අංශ අපිට ඔය නිර්දේශ දුන්නේ කෝවිඩ් මෙහෙ ආපු දවස්වලමයි. අපෙන් ආදර්ශයට ගෙනවත්දෝ?
chandima Sunday, 07 June 2020 01:31 PM
මුඛ ආවරණ හදන රටවල් කියන්න ඇති... එහෙම නොකිව්වොත් සෞඛ්‍ය සංවිධානයට සල්ලි දෙන්නේ නැහැ කියලා.., එ්කයි ඔය. නැතිනම් ඉස්සර හතර අතේ මැරෙද්දි ඕක නොකිව්වේ මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය බව නොදැන නෙමෙයිනේ නේද?
isuru Sunday, 07 June 2020 04:21 PM
එතකොට තොන්ඩමන්ගේ මල ගෙදර ..?
Wca Monday, 08 June 2020 08:52 AM
දැන් දැන් ට්‍රම්ප් සෞඛ්‍ය සංවිධනයට බකට් අදින එක හරි යි කියලත් හිතෙනවා.