IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මාධ්‍යවේදිනිය ඡායාරූප ගත්බව දුටුවේ නැතැයි සාක්කිකරු කියයි

'මාධ්‍යවේදිනිය ඡායාරූප ගන්නවා මා දුටුවේ නෑ. මම එනවිට ඇය අතිරේක මහේස්ත්‍රාත්තුමාගේ නිලරථය නවත්වන ගරාජය ළඟ රැඳී සිටියා' ලංකාදීප මාධ්‍යවේදිනී රේඛා තරංගනී මහත්මියට එරෙහිව  මොරටු අධිකරණයේ ඡායාරූප  ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබා දෙමින් පො.සැ (5664) රංජිත් මහතා(11)මොරටුව අතිරේක මහේස්ත්‍රාත් ආර්. බී. එච්. ඩී. ආර්. වැලිගොඩපිටිය මහතා හමුවේ පැවසීය.

මොරටුව අධිකරණයෙන් සැකකරුවකු පැනයාමේදී  සිද්ධියට අදාළව ඡායාරූප ගෙන ලංකාදීප මාධ්‍යවේදිනිය අධිකරණයට  අපහාස කළේ යැයි මොරටු පොලිසිය  විසින් පවරන ලද නඩුව මොරටුව අතිරේක මහේස්ත්‍රාත් ආර්. බී. එච්. ඩී. ආර්. වැලිගොඩපිටිය මහතා හමුවේ  විභාගයට ගැණිනි.  පොලිස් කොස්තාපල් (77406)අමිල යන අය පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

මොරටුව පොලිසියට අනුයුක්තව මොරටුව අධිකරණයේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් (70877) සුසන්ත, පොලිස් සැරයන් (5664) රජිත්, පොලිස් සැරයන් (43590) ජයලත්  යන සාක්ෂිකරුවන් හයදෙනාට අමතරව පොලිසිය විසින් සාක්ෂිකරුවන් හත්දෙනෙකු ලෙස සංශෝධනය කර තිබුණි. 

හතරවෙනි සාක්ෂිකාරිය අධිකරණයට නොපැමිණිම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් අමිල යන අය අධිකරණයට කරුණු දැක්වූ අතර සංශෝධනය කළ සාක්ෂිකරුවෙකු ලෙස සඳහන් කළ හත්වෙනි සාක්ෂිකරු අධිකරණයට පැමිණ සිටියේ නැත.

 සියලු කරැණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා හතරවැනි සාක්ෂිකාරියට සිතාසි නිකුත් කරන ලෙසටත් නඩුව මැයි 31 වන දින වැඩිදුර විභාගයට  ගන්නා ලෙසත් නියෝග කළේය.

විජය  පුවත්පත් සමාගම වෙනුවෙන් නීතිඥ  විශ්වා ගුණරත්න මහතා සහ නීතිඥ දර්ශිකා ආර් පෙරේරා මහත්මිය පෙනී සිටි අතර ‍පොලිස් පරික්ෂක දමිත  පෙරේරා සහ පොලිස් කොස්තාපල් (77406) අමිල යන නිලධාරීහු  පැමිණිල්ල මෙහෙයවූහ.

විජය  පුවත්පත් සමාගම වෙනුවෙන්  පෙනී සිටි  නීතිඥ  විශ්ව ගුණරත්න හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළ අතර තුන්වන සාක්ෂිකරු වන පොලිස් කොස්තාපල් (70877) සුසන්ත යන අයගෙන් මෙසේ විමසීය.

නීතිඥ : 2017 දෙසැම්බර් මාසයේ අධිකරණයේ වූ සිදුවීම ඔබට මතකද?

පැමිණිලි සාක්ෂි 3:    ඔව් මතකයි. පැය දාහතරයි තිහට පමණ අධිකරණයෙන් සැකකරුවෙක් පැන ගියා

නීතිඥ:  එදා ඔබ කොහෙද හිටියේ?

පැමිණිලි සාක්ෂි 3: මම අංක එක අධිකරණය තුළ ආරක්ෂාවට යොදවා සිටියා

නීතිඥ : එතකොට පැනගිය සිරකරුගේ ආරක්ෂාව බාරව තිබුණෙත් ඔබට

පැමිණිලි සාක්ෂි 3: නෑ, එය ජේලර් මහත්වරු සතු රාජකාරියක්

නීතිඥ: එතකොට මහේස්ත්‍රාත් ඇතුළු නීතිඥවරුන් පැමිණෙන්නේ ප්‍රධාන ගේට්ටුවෙන්. අනිත් සියලුම දෙනා පැමිණෙන්නේ පොඩි ගේට්ටුවෙන්. එහි පරීක්ෂාවක් සිදු කරන බව ඔබ දන්නවාද?

පැමිණිලි සාක්ෂි 3:  එය මගේ රාජකාරිය නොවෙයි. මම අධිකරණ ශාලාවේ රැඳී සිටින්නේ

නීතිඥ: ඒ කියන්නේ අධිකරණ භූමියට පැමිණෙන අයව පරීක්ෂාවට ලක් කරන බව ඔබ දන්නේ නෑ

පැමිණිලි සාක්ෂි 3:  එය මගේ රාජකාරිය නොවෙයි

නීතිඥයා:    ඔබ මේ මාධ්‍යවේදිනිය අඳුරනවාද?

පැමිණිලි සාක්ෂි 3: නෑ මම ඇය අඳුරන්නේ නෑ

නීතිඥ: ලංකාදීප සන්ඩේ ටයිම්ස් වාර්තාකාරිණිය ලෙස කටයුතු කරන ඇයව ඔබ හඳුනන්නේ නෑ

පැමිණිලි සාක්ෂි 3:   මම ඇයව හඳුනන්නේ නෑ. එදා අධිකරණ භූමියට එනකොට ඇය කැමරාවක් අතැතිව සිටියා. එහෙත් ඇය මාධ්‍යවේදිනියක් බව මා දැන සිටියේ නෑ. ඇය කිව්වා ඇය මාධ්‍යවේදිනියක් කියා.

නීතිඥයා  :  මම යෝජනා කරනවා ඔබ මැයගේ කැමරාව ඉදිරූ බවට 

පැමිණිලි සාක්ෂි 3:   නෑ මම කැමරාව ඉදිරුවේ නෑ

නීතිඥයා:  කොයි වෙලාවෙද ඇය කිව්වේ ඇය මාධ්‍යවේදිනියක් කියා

පැමිණිලි සාක්ෂි3:   මම ඇයගෙන් ඡායාරූප ගැනීම ගැන විමසන  වෙලාවේ ඇය කිව්වා ඇය මාධ්‍යවේදිනියක්  කියලා

නීතිඥ:  මම යෝජනා කරනවා ඇයගේ කැමරාව ඔබ උදුරන අවස්ථාවේ ඇය ඔබට පැවසුවා ඇය මාධ්‍යවේදිනියක් කැමරාව උදුරන්න එපා කියා, ඇය  එහි නෛතිකභාවය පෙන්නුවා කියලා. එවිට ඔබ කැමරාව ඔබ ඇයට ලබා දුන්නා කියලා මම යෝජනා කරනවා

පැමිණිලි සාක්ෂි 3: නෑ මම ඇයගේ කැමරාව කිසිසේත්ම ඉදිරුවේ නෑ 

නීතිඥයා: මම ඔබට යෝජනා කරනව ඔබ ඇයගේ කැමරාව උදුරලා, එහි ඡායාරූප බලා, එහි ඡායාරූප නැති නිසා ඇයට කැමරාව ලබා දුන්නා කියලා

පැමිණිලි සාක්ෂි 3: නෑ මම එහෙම කළේ  නෑ. කිසිසේත්ම කැමරාව උදුරාගනු ලැබුවේ නෑ. එවැනි කැමරාවක් ක්‍රියා කරන ආකාරයවත් මම දන්නේ නෑ

නීතිඥයා: කැමරාව පමණක් නොවේ ඔබ ඇයගේ ජංගම දුරකතනයත් උදුරා ගත්තා

පැමිණිලි සාක්ෂි 3:   මම ජංගම දුරකථනය උදුරා ගත්තේ නෑ. ඇයගේ වම් අතේ නවීන ජංගම දුරකතනයකුත් දකුණු අතේ කැමරාවකුත් තියෙනවා මම දැක්කා

නීතිඥයා: ඔබ දුටුවද ඇය ඡායාරූප ගන්නවා?

පැමිණිලි සාක්ෂි 3: ඔව් මම දුටුවා 

නීතිඥ: මොනවද දුටුවේ?

පැමිණිලි සාක්ෂි 3:  අතිරේක මහේස්ත්‍රාත්තුමාගේ නිල රථය නවතන ගරාජය ළඟ  සිට කලුපැහැති කැමරාවක් අංක එක අධිකරණ ශාලාව දෙසට එල්ල කර සිර කුටිය සහ ශාලාව ෆොටෝ ගන්නවා දුටුවා

නීතිඥ:   ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත්තුමා අධිකරණ මුලසුනේ රැඳී සිටියද?

පැමිණිලි සාක්ෂි 3:  ඒ වෙලාව අධිකරණ කටයුතු වැඩ නිම වුණු වෙලාවක් මහේස්ත්‍රාත්තුමා මුලසුනේ රැඳී සිටියේ නෑ

නීතිඥ : එදා අධිරණයේ වැඩ අවසන් වූ වෙලාවක ප්‍රධාමහේස්ත්‍රාත්වරිය අධිකරණයේ හිටියද?

පැමිණිලි සාක්ෂි 3:  ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය නිවාඩු නිසා එදා වැඩ බලන මහේස්ත්‍රාත්තුමා ලෙස කටයුතු  කළේ ජෝශප් ප්‍රනාන්දු මහේස්ත්‍රාත්තුමා. එතුමා අධිකරණ කටයුතු අවසන් කරලා නිල කාමරයේ රැඳී සිටියා

නීතිඥ:  මාධ්‍යවේදිනිය ඡායාරෑප ගන්නවා දුටුවම ඔබ මොකද කළේ?

පැමිණිලි සාක්ෂි 3:  මම ඇය ළඟට ගියා. එහෙත් ඇය මාධ්‍යවේදිනියක් බව දැනගෙන හිටියේ නෑ. ඒ බව හැඟවෙන හැඳුනුම්පත හෝ මා දුටුවේ නෑ 

නීතිඥ:  ඔබ ඇයගෙන් හැනුම්පත ඉල්ලා  සිටියද?

පැමිණිලි සාක්ෂි 3:  නෑ මම හැඳුනුම්පත ඉල්ලා සිටියේ නෑ. එවැනි දෙයක් දුටුවේ නෑ. එදා අධිකරණයේ ආරක්ෂාව බාරව  සිටි ප්‍රධාන පොලිස් නිලධාරි මහතා සහ අධිකරණ රෙජිස්ටාර්තුමිය ඇය ඡායාරූප ගන්න බවට මා දැනුවත් කළා.

නීතිඥ: එතුමිය මොනවද කිව්වේ?

පැමිණිලි සාක්ෂි 3:  එතුමිය කිව්වා අවසරකින් තොරව ඡායාරූප  ගන්න බෑ. ඇය අවසර අරන් නෑ ඇය විනිසුරු හමුවට පමුණුවන්න කියලා

නීතිඥ: එහෙම අවසර ගන්න ඕන කියලා නීතියක් ක්‍රියා පටිපාටියක්  තියෙනවද?  මොන  චක්‍රලේකයේද තියෙන්නේ?

පැමිණිලි සාක්ෂි 3:  එහෙම නීතියක් ගැන මා දන්නේ නෑ. මා කිව්වේ රෙජිස්ටාර්තුමිය කියපු දේ

නීතිඥ:  එහෙම නම් මාධ්‍යවේදිනියව විනිසුරු හමුවට යොමු කරන්න හැදුවේ ඇයි?

පැමිණිලි සාක්ෂි 3:  මා නෙවෙයි එහෙම කරන්න හැදුවේ.  මා කිව්වේ රෙරජිස්ටාර්තුමිය සහ ආරක්ෂාව බාර පොලිස් නිලධාරියා කියපු දේ

නීතිඥ:  කව්ද  ඇයව විනිසුරු හමුවට යොමු කරන්න හැදුවේ? 

පැමිණිලි සාක්ෂි 3:  රෙජිස්ටාර්තුමිය සහ ප්‍රධාන ආරක්ෂාව බාර නිලධාරි මහතා

නීතිඥ: එදා රෙජිස්ටාර්තුමියගේ ප්‍රකාශයේ ඔබ කියන සිදුවීම් කිසිවක් සඳහන් වෙන්නේ නෑ. ඇය එදා කියා සිටියා මාධ්‍යවේදිනියට එරෙහිව  පැමිණිල්ලක් කළේ නෑ ප්‍රකාශයක්  පමණයි  පොලිසියට ලබා දුන්නේ කියලා.

ඔබ කියන කිසිවක් මේ නඩුවේ පළවෙනි සාක්ෂිකාර රෙජිස්ටාර්වරිය වන සිරියාවතී ෆොන්සේකා මහත්මියගේ සාක්ෂි සටහනේ නෑ.
මම යෝජනා කරනවා ඔබට තිබෙන කිසිවෙකුගේ පීඩනය මත බොරැ සාක්ෂි ලබා දෙන බවට. 

මම යෝජනා කරනවා සැකකරුවෙකු පැන යාමේ සිද්ධියේදී ඔබ හා ඔබේ ඉහළ නිලධාරීන් ඔවුන්ගේ අදක්ෂකම වහ ගන්න ලංකාදීප මාධ්‍යවේදිනියට බොරැ චෝදනා ගොනු කරලා නඩුවක පැටලුවා කියලා.

පැමිණිලි සාක්ෂි 3:   මම නෙවෙයි මේ නඩුව ගොනු කළේ. මොරටුව මුලස්ථාන පොලිසිය. මට මෙතුමිය සමග පුද්ගලික තරහක් හෝ ගැටලුවක් නෑ. මම මෙහි සාක්ෂිකරැවෙක් පමණයි.

නීතිඥයා: ඔබ ඇයව විනිසුරු හමුවට පමුණුවන්න පරීක්ෂණ කළාද? ඡායාරූප කැමරාවේ තිබෙනවා ඔබ දුටුවද?

පැමිණිලි සාක්ෂි 3:  නෑ මම ඡායාරූප දුටුවේ නෑ.

නීතිඥ:  එහෙනම් විනිසුරු හමුවට දාන්න හැදුවේ?

පැමිණිලි සාක්ෂි 3:  මම එහෙම කරන්න හැදුවේ නෑ. එය මගේ කාර්ය බාරය  නොවේ. මම කිව්වේ රෙජිස්ටාර්තුමිය සහ ඉහළ පොලිස් ආරක්ෂාව භාර පොලිස් නිලධාරියා කියපු දේ සහ එදා සිදු වූ දේ.

නීතිඥ : එදා ඇයව විනිසුරු හමුවට දැම්මද?

පැමිණිලි සාක්ෂි 3:  මම එය  දන්නේ නෑ. එය මගේ රාජකාරිය නොවෙයි.

ඉන් අනතුරුව පස්වන සාක්ෂිකරු වන පොලිස් සැරයන් (5664) රංජිත් මහතාගෙන් සාක්ෂි  විමසීම ඇරඹිණි.

නීතිඥ : අධිකරණයෙන් සැකකරුවෙකු පැන යාමේ සිද්ධිය මතකද?

පැමිණිල්ලේ සාක්ෂි 5   : මතකයි ස්වාමීනි

නීතිඥ : ඔබ කොහෙද රාජකාරියේ යෙදී සිටියේ?

පැමිණිල්ලේ සාක්ෂි 5   : අධිකරණ භූමියේ ස්වාමීනි

නීතිඥ:   ඔබ මේ මාධ්‍යවේදිනිය අඳුරනවාද?

පැමිණිල්ලේ සාක්ෂි 5   : නෑ ස්වාමීනි. ඒත් එදා ගේට්ටුවේ සිටි පොලිස් කොස්තාපල්වරිය කියනවා ඇහුණා ඇය මාධ්‍යවේදිනියක්, නීතිඥ මධුරංග මහතා හමුවන්න පැමිණ සිටින බව

නීතිඥ  : ඔබ ඇයව  දුටුවාද?

පැමිණිල්ලේ සාක්ෂි 5   : ඔව් මම ඇයව දුටුවා

නීතිඥ : කොහෙදීද දුටුවේ?

පැමිණිල්ලේ සාක්ෂි 5   : අතිරේක මහේස්ත්‍රාත්තුමාගේ නිල රථය නවත්වන ගරාජය ළඟ නීතිඥ මහත්වරුන් එක්ක කතා කර කර ඉන්නවා දුටුවා

නීතිඥ: ඇය ඡායාරූප ගන්නවා ඔබ දුටුවාද?

පැමිණිල්ලේ සාක්ෂි 5   : නෑ මාධ්‍යවේදිනිය ඡායාරූප ගන්නවා මම දුටුවේ නෑ

නීතිඥ : එපමණයි ස්වාමීනි

ඉන් අනතුරැව හයවන සාක්ෂිකරු වන පොලිස් සැරයන්  (43590) ජයලත් මහතා විමසීය.

නීතිඥ : ඔබට මේ සිදුවීම වූ දවස මතකද? 

පැමිණිල්ලේ සාක්ෂි 6   : ඔව් මතකයි. මම සැකකරු පැන යාමේ සිදුවීමේ කාර්යයේ නියැලිලයි හිටියේ

නීතිඥ : ඔබ මේ ඡායාරූප සිද්ධිය ගැන පරීක්ෂණ කළාද?

පැමිණිල්ලේ සාක්ෂි 5   : නෑ මට ඒ ගැන අවබෝධයක් නෑ. මම සැකකරැ පැන ගිය සිදුවීමට අදාළ රාජකාරියේ හිටියේ.

නීතිඥ : එපමණයි  ස්වාමීනි

සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා හතරවෙනි සාක්ෂිකාරියට සිතාසි නිකුත් කරන ලෙසත් නඩුව මැයි 31 වන දින වැඩිදුර විභාගයට  ගන්නා ලෙසත් නියෝග කළේය.



අදහස් (0)

මාධ්‍යවේදිනිය ඡායාරූප ගත්බව දුටුවේ නැතැයි සාක්කිකරු කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site