IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘කොමිසම ආවාට මට ඇති චෝදනා නොදැන සාක්කි දෙන්න බෑ‘

(*** මුදිතා දයානන්ද)

නිශ්ශංක සේනාධිපති යන අයගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසම හමුවට මා වගඋත්තරකරුවකු ලෙස කඳවා තිබුණත් මට තිබෙන චෝදනාව කුමක්දැයි මා දන්නේ නැහැ. චෝදනාව කුමක්ද? මෙතෙක් කොමිසමේ කැඳවූ සාක්ෂි මොනවාද යන්න සම්බන්ධයෙන් නොදැන සාක්ෂි ලබාදෙන්න බැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි විශේෂ කාර්යාලයක දී මෙම කොමිසම ඉකුත් 23 වැනිද‌ා කැඳවනු ලැබූ අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක මහතා එසේ සඳහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ලෙස රජයට පවරා ගත් බවත් එයින් තමන්ට අලාභ සිදුවූ බවත් පවසමින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක්  සාක්ෂි සඳහා කැඳවනු ලැබ සිටියහ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා -
දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ පනතේ දහසය වන වගන්තිය අනුව අපේ දෙපාර්තමේන්තුවේ සේවය කරන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා වගඋත්තරකරුවකු ලෙස කැඳවා තිබෙනවා.

කොමිසමේ සභාපති - පනතේ 26වැනි වගන්තිය අනුව නීතිපති දෙපාර්තමේන්තුවට තිබෙන්නේ සීමිත බලතල ප්‍රමාණයක්. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් විය යුත්තේ කොමිසමට සහය දැක්වීමටයි. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසමට සහය දැක්වීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය ඇතුළු කණ්ඩායමක් නම් කර තිබෙනවා. ඔවුන්ට හැර වෙනත් අයකුට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින්න බැහැ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා - මම කියන්න උත්සාහ කළේ …....
කොමිසමේ සභාපති - ඔබට මේ කොමිසමේ කරුණු දක්වන්න හැකියාවක් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට සහය දක්වන්නයි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නයි දෙකක් කරන්න බැහැ.  

මෙලෙස අවස්ථා කීපයක්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා කරුණු දැක්වීමට උත්සාහ කළත් කොමිසමේ සභාපතිවරයා ඔහුට අදහස් දැක්වීමට අවස්ථාව නොදුන් අතර තවදුරටත් කතා කරන්නට උත්සාහ කරන්නේ නම් කොමිසමේ කටයුතුවලට බාධා කරන්නකු ලෙස නම් කර අභියාචනාධිකරණයට දැනුම් දෙන බව ද පැවසීය.

අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් මෙසේ කීය.

මෙම කොමිසමට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ පැමිණිල්ලක් භාරගැනීමට නීතිමය හැකියාවක් නැතැයි නීතිපතිවරයා විසින්ම අත්සන් කරන ලද ලිපියක් කොමිසමට යොමු කර තිබෙනවා. එම ලිපිය සම්බන්ධයෙන් ඔබතුමන්ගේ නියෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.

සභාපතිවරයා - නීතිපති දෙපාර්තමේන්තුව මෙම කොමිසමට සහභාගි විය යුත්තේ කොමිසමට සහය දක්වන්නයි. දැන් ඔවුන් පල්ලම් බැහැලා අනෙක් පැත්තේ හිටගෙන කරුණු දක්වන්න උත්සාහ කරනවා නම් ඒක පනතේ විසිහය වන වගන්තියට පටහැනි ක්‍රියාවක්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා ද අවස්ථා කීපයක දී යම් කරුණක් පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඊට ඉඩ ලැබුණේ නැත.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා -  නීතිපතිවරයා තමන්ම අත්සන් කර කොමිසමට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස මම නැවතත් ඉල්ලා සිටිනවා.
සභාපතිවරයා - නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ලිපි එවන හැම වෙලාවකම නියෝග නිකුත් කරන්න බැඳී නැහැ.
හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා - මට පනතේ දහසය වැනි වගන්තිය යටතේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නොතීසි එවා තිබුණා. මම හිටපු රජයේ නිලධාරියෙක්. මගේ සේවා කාලය තුළ ඉටු කරපු රාජකාරි කිසිවක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. දැන් මා වගඋත්තරකාරයෙක් කරලා. මම කනගාටුවෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම මූලික විරෝධතාවක් ඉදිරිපත් කරනවා නිශ්ශංක සේනාධිපති වැනි රජයේ නිලධාරියකු නොවන අයෙකුගේ පැමිණිල්ලක් මෙම කොමිසම හමුවේ විභාග කිරීම සම්බන්ධයෙන්. පනතට අනුව එවැනි නීතිමය හැකියාවක් නැහැ. මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටිනවා. මාගේ විරෝධතාව සටහන් කරගන්නා ලෙස ද ඉල්ලා සිටිනවා. ඒ වගේම මාව වගඋත්තකාරයකු කළේ මොකටද කියලා මම දන්නේ නැහැ.
සභාපතිවරයා - ඔබගේ විරෝධතාවය ලිඛිතව ලබාදෙන්න.

හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා - නැහැ මම වාචිකව ලබාදෙනවා. මට වෙලාවක් දෙන්න. මම ඉල්ලා සිටින්නේ මම කලින් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදෙන ලෙසයි.
සභාපතිවරයා - නියෝගයක් අවශ්‍ය නැහැ. ඔබ කැමති නම් සාක්ෂි ලබාදෙන්න පුළුවන්. නැත්නම් නොදී ඉන්නත් පුළුවන්.
හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා - එහෙත් කොමිසම නියෝග කරනවා නම් මා ඉදිරිපත් වෙන්න සූදානම්. ඒ සඳහා මෙතෙක් මේ පැමිණිල්ලට අදාළව කැඳවූ කොමිසමේ වාර්තා පිටපත් සියල්ල ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා - මට මේ දක්වා සිතාසි ලැබී නැහැ. මම ආවේ මාධ්‍යවලින් දැනගත් තොරතුරු අනුවයි. මමත් මේ පැමිණිල්ල මේ කොමිසමේ විභාග කිරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාව දක්වනවා. ඒ වගේම ඉදිරියේ දී සාක්ෂි ලබාදීමට පෙර මෙතෙක් විභාග වූ කොමිසමේ වාර්තාවල පිටපත් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. නීතිපති දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබෙනවා. එය ද සැලකිල්ලට ගෙන කොමිසමේ වාර්තා ද අධ්‍යයනය කර ඉදිරියේ දී සාක්ෂි ලබාදෙනවා ද නැද්ද යන්න තීරණය කරනවා.


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා -
නිශ්ශංක සේනාධිපති කියන්නේ රජයේ නිලධාරියෙක් හෝ රජයේ සේවකයෙක් නෙවෙයි. මේ කොමිසම පිහිටුවීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි මෙම කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ රජයේ නිලධාරියෙක්, රාජ්‍ය සංස්ථාවක සේවකයෙක් හෝ සන්නද්ධ හමුදාවේ හෝ පොලිසියේ සේවය කළ අයෙකුට පමණයි. මේ පුද්ගලයා එයට අයත් වන්නේ නැහැ. ඒ නිසා මෙවැනි පැමිණිල්ලක් මෙතන විභාග කරන්නේ කෙසේද යන ප්‍රශ්නයක් මතුවෙනවා.

මේ පැමිණිල්ලට අදාළව මෙතෙක් විභාග වූ කරුණු සම්බන්ධයෙන් කොමිසමේ වාර්තා පිටපත් සියල්ල ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. ඒවා අධ්‍යයනය කර නීතිපතිවරයාගේ විරෝධතාවය ද සලකා බලා ඉදිරියේ දී මේ කොමිසම හමුවේ පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කරනවා.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රණරාජා සමරකෝන් මහතා - මීට කලින් අය ඉදිරිපත් කළ මූලික විරෝධතාව අපටත් තිබෙනවා. ඒ වගේම මෙම පැමිණිල්ලට අදාළව මෙතෙක් කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවේ පිටපතක් අපට අවශ්‍යයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා - දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ මේ කොමිසම පිහිටුවා තිබෙන පනතට අනුව හා ගැසට් පත්‍රයට අනුව මෙයට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ රජයේ නිලධාරියෙක් හෝ රාජ්‍ය ආයතනයක සේවකයෙක් හෝ සන්නද්ධ හමුදාවේ හෝ පොලිසියේ සේවය කළ අයකුට පමණයි. නිශ්ශංක සේනාධිපති කියන්නේ රජයේ නිලධාරියෙක් නෙවෙයි. රාජ්‍ය ආයතනයක් තමන්ගේ සමාගමට පවරාගත් අයෙක්. ඔහුගේ පැමිණිල්ලක් මේ කොමිසම හමුවේ විභාග කළ නොහැකියි. ඒ සම්බන්ධයෙන් මේ වන විට නීතිපතිවරයාගේ අදහස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙනවා. ඒ වගේම මා මෙහි වගඋත්තරකරුවෙක් වන්නේ කෙසේද? ඒ ගැන දැනුවත් කර නැහැ. එන්න කියලා නොතීසියක් ඊයේ හවස ලැබුණා. එච්චරයි. ඒ නිසා මට තිබෙන චෝදනාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පැමිණිල්ලට අදාළ කොමිසමේ වාර්තා පිටපත් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. ඒවා අධ්‍යයනය කර මාගේ නීතිඋපදේශකයන් සමග සාකච්ඡා කර ඉදිරියේ දී මෙහි පෙනී සිටිනවා ද නැද්ද යන්න තීරණය කරනවා.
සභාපතිවරයා - කැමති කෙනෙකුට මෙහි පෙනී සිටින්න පුළුවන්. ඔබලා වගඋත්තරකරුවන් විය හැකි නිසයි දැනුම් දී තිබෙන්නේ.

හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා - වගඋත්තකරුවන් කරලයි මේ සිතාසි එවා තිබෙන්නේ.
සභාපතිවරයා - ඔව්. වගඋත්තරකරුවන් ලෙස තමයි ඔබට සිතාසි යොමු කර තිබෙන්නේ. ඒ අපේ වගකීමක් ලෙසයි. එහෙත් අපට බලෙන් සාක්ෂි ලබාගන්න බැහැ. කැමති නම් සාක්ෂි ලබාදෙන්නත් අකමැති නම් නිහඬව සිටින්නත් ඔබට අයිතිය තිබෙනවා. මේ මස 26 වැනිදා නැවත පැමිණිල්ල විභාග කරනවා. එදිනට කැමති අයට එන්න පුළුවන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ලුතිනන් කමාන්ඩර් ඩබ්ලිව්.එච්.පී. විරසිංහ, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල, සහකාර පොලිස් අධිකාරි ලසන්ත රත්නායක, ගාල්ල වරාය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා, නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, පොලිස් පරීක්ෂක අලුත්ගේ සෙනරත්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එස්. ගුණවර්ධන යන මහත්වරු ද කොමිසම හමුවේ පෙනී සිටියහ.

හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනත් නඩුවක් ඇති හෙයින් මෙදින සහභාගි නොවන බව දන්වා තිබූ අතර සාක්ෂිකරුවකු ලෙස නම් කර තිබූ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා ද පැමිණීමට නොහැකි බව දන්වා තිබිණ.

විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වශයෙන් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රතිලක මහත්වරු කටයුතු කරති.
නැවත මෙම පැමිණිල්ල විභාග කිරීම අද 26 වැනිදා පෙරවරු 10ට සිදු කිරීමට නියමිතය.

 



අදහස් (4)

‘කොමිසම ආවාට මට ඇති චෝදනා නොදැන සාක්කි දෙන්න බෑ‘

සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 June 2020 12:08 PM

අහෝ.. නීතියේ දෙව්දුවනි, තෙවැනි ලොව අරුමය.. ඔබට නොපෙනේද?

:       0       161

athula Friday, 26 June 2020 07:55 PM

මේක හොරුන්ටම ගියපු රටක්.. කුමක්ද මේ වෙන්නේ..? රාජ්‍ය ආයතනයක් බලෙන් පුද්ගලික කරපු රටේ නීතියට පයින් ගහලා කරන මේ ජඩ පාලනය ලෝකයම ඉදිරියේ නිරුවත් කරනවා... ලැජ්ජා වෙන්න ඕනේ...

:       0       67

අතුල Saturday, 27 June 2020 12:18 PM

මේ ටික බැලුවාම "තීන්දුව දෙන්න කලින් අපිටම හිතාගන්න පුලුවනි ලැබෙන්නේ මොකක්ද කියලා". තීන්ඩුව ලියලා අවසානයි. තිබෙන්නේ සාක්ෂි සටහන් කරගැනීම පමණයි. නීතියේ දෙවඟන" ඉන්නවද? කොමිසමේ තීරණය වැරැදි තීරණයක් නොවේවායි සිතමි.

:       0       65

Warnakulasuriya Sunday, 28 June 2020 09:14 AM

නීතිය, බලය සහ ධනය වෙනුවෙන්ද? ධනයට සහ බලයට නීතිය මිලදීගත නොහැකිවීමට අපි ප්‍රාර්ථනා කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site