IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක කවුන්සිලය දිනපතාම රැස්වුණා

(*** මුදිතා දයානන්ද)

ඉකුත් 2019 පෙබරවාරි මාසයෙන් පසු පාස්කු ඉරුදින ප්‍රහාරය වන තෙක් නොකැඳ වූ ආරක්ෂක කවුන්සිලය එම ප්‍රහාරයෙන් පසු දිනපතා රැස්වන තත්ත්වයක් මතු වූයේ යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙරේදා (24) පැවසීය.

හිටපු පොලිස්පතිවරයා ආරක්ෂක කවුන්සිලයට 2018 ඔක්තෝබර් මාසයෙන් පසු නැවත සම්බන්ධ වූයේ 2019 අප්‍රේල් 22 වැනිදා පැවති රැස්වීමට බවද ඔහු පැවසීය.  

ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ ජයවර්ධන මහතා මෙසේ සාක්ෂි දුන්නේය.

ප්‍රශ්නය- 2019 අප්‍රේල් 22 පැවති ආරක්ෂක කවුන්සිලයේ දී ඔබ බුද්ධි ප්‍රධානි ලෙස රාජකාරිය කළේ නැතැයි දොස් පැවරීමක් වුණා ද?
පිළිතුර - නැහැ. මට දොස් පැවරීමට පෙර මම 2018 සිටම තොරතුරු වාර්තා කළ ආකාරය ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කළා.

ප්‍රශ්නය- ඔබට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දොස් පැවරුවේ නැද්ද?
පිළිතුර - එතුමා මුලින්ම මගෙන් ඇහුවා මේවා ගැන දැනගෙන සිටියේ නැද්ද? කියලා. මම සියලු විස්තර කිව්වා. ඒ වගේම ප්‍රහාරයට පෙර මම සර්ට කතා කරන්න උත්සාහ කළා. ඒත් බැරිවුණා කියලත් කිව්වා. ඉන්පසු මගේ මූණට නම් කිසිවෙක් දොස් කිව්වේ නැහැ. විවිධ මාධ්‍යවලින් නම් අපිව විවේචනය කර තිබුණා. දැන් මේ කොමිසම පටන් ගත්තාට පස්සේ මේ තොරතුරු කොමිසමට කිව්වා කියලත් ඇතැමුන් දොස් පවරනවා. ඒ හැර කලින් කවුරුවත් දොස් කිව්වේ නැහැ.

ප්‍රශ්නය- ඔබ ආගමික අන්තවාදින් ගැන දිගින් දිගටම වගකිව යුත්තන් වෙත වාර්තා කළ බව මීට පෙර සඳහන් කළා. ඒවා බොරු කියලා කාගෙන්වත් විවේචනයක් එල්ල වුණා ද?
පිළිතුර- නැහැ.

ප්‍රශ්නය- එහෙම නම් ඔබ රාජකාරිය හොඳින් කළ බවට ප්‍රශංසාවක් ලැබුණා ද?
පිළිතුර- නැහැ.

කොමිසමේ සභාපති - ඔබ ඉදිරිපත් කළ තොරතුරු සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් හෝ ක්‍රියා මාර්ගයක් නොගත් බව ද ඔබ කියන්නේ?
පිළිතුර - ඒ අය මොනවා කළාද කියන්න මම දන්නේ නැහැ. රාජ්‍ය බුද්ධි අංශයෙන් අපි අපට කළ හැකි උපරිම දේ කළා. අපට ආයුධ අරන් පාරට බහින්න පුළුවන්කමක් නැහැ. ඒ හැර සියල්ල අපි කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් - අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව අප්‍රේල් 24 වැනිදා ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකළ ලිපියේ අඩංගු වන්නේ මොනවාද?
පිළිතුර- ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ ඔහුගේ සමීපතමයන් පිළිබඳ තොරතුරු.

ප්‍රශ්නය - මේ වෙනකොට ප්‍රහාරය සිදුවී අවසන්. එසේ තිබියදී ඇයි මේ වෙලාවේ ඔවුන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න හිතුවේ ?
පිළිතුර- පාස්කු දින ප්‍රහාරය අවසන් වුණත් දෙවැනි ප්‍රහාරයක් ගැනත් තොරතුරු වාර්තා වෙමින් තිබුණා. ඒ නිසා ඔවුන්ගේ ජාලය කඩා දැමිය යුතුයි කියන අදහසේ සිටයි මා මේ වාර්තාව යොමු කළේ.

ප්‍රශ්නය- ඔබ මෙහි කිසියම් විශේෂ පුද්ගලයෙක් ගැන සඳහන් කර තිබෙනවා ද?
පිළිතුර- මොහොමඩ් සහරාන් ෆස්ලූල් රහුමාන් නමැති සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙක් ගැන සඳහන් කර තිබෙනවා.

ප්‍රශ්නය- ඔහු ගැන විශේෂයෙන් සඳහන් කර තිබෙන්නේ ඇයි?
පිළිතුර- ඔහු සහරාන්ලාගේ නිල මාධ්‍ය ඔස්සේ අයිඑස් මතවාදය ප්‍රචාරය කළ පුද්ගලයෙක්. ඒ නිසා සහරාන් හෂීම් මිය ගියත් මොහුට එම මතවාදය ගෙන  යා හැකියි.

ප්‍රශ්නය- අප්‍රේල් 24 වැනිදා පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂට යොමුකරන ලද මේ ලිපිය ඔබට හඳුනාගන්න පුළුවන් ද?
පිළිතුර- පුළුවන්. මුස්ලිම් අන්තවාදින් ගැන වැදගත් තොරතුරු රැසක් ලබාදී තිබියදීත් ඒවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයිද? යන්න මෙමගින් විමසා තිබෙනවා.

ප්‍රශ්නය- ඔබ විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට යම් තොරතුරු ලබාදී තිබුණා ද?
පිළිතුර- සහරාන් හෂීම්, ඔහුගේ ක්‍රියාකාරිකයන් වන ආමි මොහිදින්, රිල්වාන්, ආදීන් ජීවත් වන ප්‍රදේශ යන එන තැන් ගැන සම්පූර්ණ විස්තරයක් ලබා දී තිබුණා. එහෙත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත් බවක් මා දන්නේ නැහැ.

ප්‍රශ්නය- කවුද ඒ කාලේ හිටපු අධ්‍යක්ෂ?
පිළිතුර - ඒ වෙනකොට වරුණ ජයසුන්දර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබුණේ. නැත්නම් ඔහු තමයි අධ්‍යක්ෂ.

ප්‍රශ්නය - පොලිස්පතිතුමා අප්‍රේල් 24 වැනිදා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තවත් ලිපියක් යොමු කරනවා. ඔබටත් එහි පිටපතක් ලැබුණා ද? ලැබුණා නම් මොනවද එහි තිබෙන්නේ?
පිළිතුර- මටත් පිටපතක් ලැබුණා. එහි තිබෙන්නේ අයිඑස්අයිඑස් මතවාදය දරන්නන් විසින් ලංකාව තුළ ඉදිරියේදී තවත් ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ප්‍රශ්නය- ඔබ ඒ ගැන සොයා බැලුවා ද?
පිළිතුර- ඔව්. මේ තොරතුර ලැබි තිබුණේ ගුවන් හමුදා බුද්ධි අංශයෙන්. එය ලබාදුන් අයගෙන්ම මම විස්තර සොය බැලීමේ දී එයට නිශ්චිත පදනමක් ඔවුන්ට තිබුණෙත් නැහැ.

ප්‍රශ්නය- ඔබ ඒ ගැන පොලිස්පතිතුමා ලිඛිතව හෝ වාචිකව දැනුවත් කළා ද?
පිළිතුර- ලිඛිතව නම් දැනුවත් කළේ නැහැ. ඒ දවස්වල නොයෙකුත් දෙනාගෙන් නොයෙකුත් ආකාරයට අන්තවාදීන් ගැන විවිධ තොරතුරු වාර්තා වුණා. ඒ සියල්ල ගැන ලිඛිතව වාර්තා කිරීම අපහසුයි. එසේම වාචිකව දැනුවත් කළා ද යන්නත් ඒ කාලයේ තිබුණ කාර්ය බහුල කමත් සමග සිදුකළාදැයි මතක නැහැ.

ප්‍රශ්නය- ඒ කාලේ මුස්ලිම් පල්ලි ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට යම් තොරතුරක් වාර්තා වුණා ද?
පිළිතුර- ඔව්, එවැන්නක් වාර්තා වුණා. ඒ ගැන ඉතාමත් ප්‍රවේසමෙන් වැඩකළ යුතු වුණා. සමාජ කැළඹීමක් ඇති නොවන පරිදි පල්ලිවල මවුලවිවරු හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුවත් කළ යුතුයි. ඒ ගැන කළ සොයා බැලීමේදීත් නිශ්චිත තොරතුරු ලැබුණේ නැහැ.

ප්‍රශ්නය - ජාතික බුද්ධි ප්‍රධානී විසින් පොලිස්පතිවරයාට අප්‍රේල් 26 වැනිදා යොමු කළ ලිපියේ පිටපතක් ඔබට ලැබී තිබෙනවා ද? මොනවද එහි සඳහන් වන්නේ?
පිළිතුර- එහි දැක්වෙන්නේ අන්තවාදින් දහතුන් දෙනෙක් මීගමුවට පැමිණ ඇති බවත් ඔවුන් සතුව පුපුරන ද්‍රව්‍ය කිලෝ තුන්සිය පනහකට වැඩිය තිබෙන බවත් එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජලාල් කිලාල් නමැති අයෙක් බවත් එහි සඳහන් වෙනවා. ජලාල් කිලාල් කියන්නේ සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන්ගේ අන්වර්ථ නාමයයි.

ප්‍රශ්නය - පොලිස්පතිරයා ඉන්පසුව යොමුකළ ලිපියක ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට දැඩිව අවවාද කර තිබුණා ද?
පිළිතුර- ඔව්. ඉහත තොරතුර ගැනත් පොලිස්පතිතුමා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කළා. එවැනි තොරතුරු ලැබුණාම ඒ දවස්වල තිබුණ තත්ත්වය නිසා ඇතැම් නිලධාරීන් ඒවා ජංගම දුරකථයෙන් ඡායාරූප ගතකර තමන්ගේ හිතුවතුන්ට යවනවා. එසේ කිරීම වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා ලිපියේ දක්වා තිබුණා විනය විරෝධිව කටයුතු කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට.

ප්‍රශ්නය - පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 30 වැනිදා පොලිස්පතිවරයා ඔබට ලිපියක් යොමු කර තිබුණා ද?
පිළිතුර - ඔව් ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යොමු කළ ලිපියක පිටපතක් මටත් ලැබුණා.

ප්‍රශ්නය - මොකක්ද මේකේ අන්තර්ගතය?
පිළිතුර - අප්‍රේල් 28 හා 29 දෙදින තුළ රටේ විවිධ ස්ථාන පහකදී සහරාන්ලාගේ දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව එහි සඳහන් වුණා.

ප්‍රශ්නය - පොලිස්පතිවරයා මෙම ලිපියේ දැක්වෙන තොරතුරු කුමක් පදනම් කරගෙන ද ඉදිරිපත් කර තිබුණේ?
පිළිතුර- වෙනත් බුද්ධි අංශයක් විසින් ආරක්ෂක අමාත්‍යංශයට ලැබී ඔවුන්ගෙන් ජාතික බුද්ධි ප්‍රධානි වෙත ලැබී නැවත පොලිස්පතිවරයා වෙත ලැබුණ තොරතුරක් තමයි අපට ලැබුණේ.

ප්‍රශ්නය - ප්‍රහාරය සිදුවන බව දක්වා තිබෙන්නේ අප්‍රේල් 28 - 29. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යොමුකළ ලිපිය ඔබට ලැබෙන්නේ 30 වැනිදා. ඒ කියන්නේ ප්‍රහාරය සිදුවන බව සඳහන් දිනයටත් දිනකට පසුවයි.
පිළිතුර - පොලිස්පතිවරයා ලිපිය යොමු කර තිබෙන්නේ 29 වැනිදා. මට ලැබුණේ තිස්වැනිදා. මේ තොරතුර ආරක්ෂක අමාත්‍යංශයට ලැබී තිබෙන්නේ 27 වැනිදා. එය විසිඅට වැනිදා ජාතික බුද්ධි ප්‍රධානීට ලැබී එතනින් තමයි පොලිස්පතිට ලැබෙන්නේ. කාර්යාල මගින් ලිඛිතව තොරතුරු හුවමාරු කරගැනීමට යාමෙන් මෙවැනි හදිසි දැනුම්දීම් පවා ප්‍රමාද වී ලැබෙනවා.  මම පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන දැනගත් වහාම වට්ස්අප් මගින් අදාළ බලධාරීන් දැනුවත් කළේ ඒ නිසයි.

රාත්‍රි දොළහටත් අපට බුද්ධි තොරතුරු ලැබෙනවා. ඒවා කාර්යාලයක සේවය කරන නිලධාරින් කැඳවා ලිපි මගින් ලබාදෙන්නට ගියහොත් අනවශ්‍ය ප්‍රමාදයන් සිදුවෙනවා. ඇතැම් විට දැනුවත් කළ යුතු කාලය පසුවී දින ගණනාවකට පසු අදාළ අංශ වෙත යොමුවිය හැකියි. ඒ නිසා බුද්ධි තොරතුරු හුවමාරුව සඳහා රහසිගත හා වේගවත් භාවිතාවකට ගැලපෙන නව තාක්ෂණික ක්‍රම යොදාගත යුතුව තිබෙනවා.



අදහස් (0)

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක කවුන්සිලය දිනපතාම රැස්වුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site