IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හිරුණිකා මෛත්‍රීගේ වේදිකාවට

පසුදින පෙරවරුවේ හිරුණිකා හට කථාකළ මහින්ද රාජපක්ෂ මහතා සිය කතාව ආරම්භ කරමින් චන්ද්‍රිකාගේ ගෙදර ගියා නේදැයි විමසීය. එතැන් පටන් කැප්පෙටිපොළ මාවතේ පිහිටි හිරුණිකාගේ නිවස තුළ ඇය තම මව සමඟ නිවාස අඩස්සියට පත්වූවා සේය. එනම්, එම නිවසට සම්පූර්ණ ආරක්ෂාව දැමීය. එතැන් පටන් හිරුණිකා සබඳතා පවත්වන්නේ වයිබර් තාක්ෂණය තුළින් පමණි. මේ අතර කෙසේ හෝ හිරුණිකාව නිවසින් පිටතට ගත යුතුය. විශේෂයෙන්ම දෙසැම්බර් 7 වැනිදා සෝලංග ආරච්චිද මෛත්‍රී ඇමතිතුමාට සහයෝගය පළ කිරීමත් සමඟම හිරුණිකාට ද එම අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය.

මේ අනුව නාමයෝජනා බාරදෙන දෙසැම්බර් 8 වැනිදා තිස්ස අත්තනායක මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය දැක්වීම යම් ආකාරයකින් තුලනය කිරීමට ද අවශ්‍ය වූ තත්ත්වයක් පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය දෙසින් පැන නැගී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ කබීර් වයිබර් තාක්ෂණය මගින් හිරුණිකා සමඟ කථා කරමින් යම් උපක්‍රමික ප්‍රවේශයකට එළැඹිණි. ඒ අනුව හිරුණිකාගේ නිවසට සිරස මාධ්‍ය ආයතනයෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එමගින් කියවුණේ සිරස සුපර් ස්ටාර්ස් නර්තන තරගයේ විනිශ්චය කටයුතු සඳහා හිරුණිකා එහි පැමිණිය යුතු බවය. එම දුරකථන ඇමතුමත් සමඟ හිරුණිකා එහි සිටි පොලිස් නිලධාරීන්ට කියා සිටියේ ඔවුන් තමාව මෙසේ අත්අඩංගුවේ තබාගෙන සිටීම නිසා තම පෞද්ගලික කටයුතුවලට ද බාධා පැමිණෙන බවයි. මේ අනුව පළමුව නිවසින් එළියට පැමිණි හිරුණිකා හා මව ටික දුරක් ඔවුන්ගේ මෝටර් රථයෙන් පැමිණ පසුව කබීර්ගේ මෝටර් රථයට ගොඩවූහ. ඒ අනුව කබීර්ගේ මෝටර් රථය නැවතුණේ චන්ද්‍රිකා මැතිනියගේ නිවසෙහිය. එදින සවස 4.30 වන විට විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය වූ අතර එහිදී පෙනී සිටි හිරුණිකා මෛත්‍රී ඇමතිතුමාට සහයෝගය පළ කළාය. ඉන් අනතුරුව ඇය හා ඇයගේ මව සිරස රූපවාහිනිය වෙත ගොස් සජීවී ප්‍රකාශයක්ද ලබාදුන්හ. කෙසේ වෙතත් එදින රාත්‍රිය තම නිවසින් බැහැරව ගතකළ ඔවුන් පසුදින කබීර් සමඟ මෛත්‍රී ඇමතිතුමාගේ මහනුවර රැස්වීමට සහභාගී වී වේගවත් කථාවක් ද කළාය.

මේ අතර එම රාත්‍රියේම හිරුණිකා හා ඇගේ මව සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර ඉන් දින 3 කට පමණ පසුව ඔවුහු යළිත් පැමිණ පොදු අපේක්ෂක ඡන්ද ව්‍යාපාරයට පූර්ණ වශයෙන් කැප වූහ. මේ අතර ආරම්භයේ සිටම මෛත්‍රී ඇමතිතුමා සමඟත්, ඩඞ්ලි සිරිසේන මහතා සමඟත් ඍජු සබඳතා ගොඩනඟාගෙන සිටි ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා දෙසැම්බර් 7 වැනි දින තම නිවසේ පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක දී පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමාට සිය සහයෝගය ප්‍රකාශ කළේය. එය එසේ වුවත් ඊට දින කිහිපයකට පසුව නීති විරෝධි ගිනි අවි ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ වරෙන්තු නිකුත් කිරීම හේතුවෙන් ඔහුට පොදු අපේක්ෂක වේදිකාවට ගොඩවීමට බාධා ඇතිවිය.


දෙසැම්බර් 8 වැනිදා නාමයෝජනා බාරදීමෙන් පසුව පොදු අපේක්ෂකයා වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීමට නියෝජිතයකු නම් කළ යුතුව තිබුණි. දෛනිකව මට පැවරෙන වගකීම් ප්‍රමාණය ඉහළ යාමත්, නීතිඥයකු එම කටයුත්තට වඩාත් සුදුසු වූ නිසාත් ලක්ෂිත ජයවර්ධන මැතිවරණ කොමසාරිස්වරයා සමඟ කටයුතු කරන පොදු අපේක්ෂකයාගේ නියෝජිතයා ලෙස නම් කිරීම වඩාත් සුදුසු බව මගේ හැඟීම විය. ඒ අනුව එදින සවස මම නීතිඥ ලක්ෂිත ජයවර්ධන සමඟ මැතිවරණ කොමසාරිස්තුමා මුණගැසී කොමසාරිස්තුමාට ඔහුව හඳුන්වා දුන්නෙමි. එතැන් සිට ලක්ෂිත දිනයේ වැඩි කාලයක් ඔහුට පැවරුණු නව වගකීමත් සමඟ කටයුතු කළේය. ලක්ෂිතව හඳුන්වාදීමට මැතිවරණ කොමසාරිස්තුමා හමුවීමට ගිය අපි අවම තරමින් පැයක්වත් අදහස් හුවමාරු කරගනිමින් සිටියෙමු. මීට පෙර සඳහන් කළ පරිදිම මගේ ‘ප්‍රසන්ටේෂන්’ ඉදිරිපත් කිරීම බැලූ පළමු කිහිපදෙනා අතර එතුමා ද සිටියේය.
එහෙත් මෙවර එතුමා කීවේ අමුතු කථාවකි. පෞද්ගලික ඇසුරින් මා සමඟ ඉතා කුලුපග මැතිවරණ කොමසාරිස්තුමා ‘මල්ලි මූණ බලාගෙන මට ඔයාට මේ ටික කියන්න බෑ. ඕගොල්ලෝ පරාදයි. ඔයාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නෙට මම විසඳුමක් දෙන්නම්. මම ඒක කොමසාරිස්වරයා වශයෙන් බාරගන්නම්.’ සත්තකින්ම මෙය අප දෙදෙනා අතර වූ පෞද්ගලික මිත්‍රත්වය මතම සිදු වූ කථාබහක් පමණි. මම සිනහමුසු මුහුණින් ඊට ප්‍රතිචාර දැක්වීමි. ‘බලමුකො, එක්කෝටි පනස් ලක්ෂයක් මිනිසුන්ගේ ඡන්දයෙන්නෙ ඒක තීරණය වෙන්නේ’ යන්න පමණක් මම ඊට පිළිතුරු ලෙස ලබාදුන්නෙමි. ලක්ෂිත මැතිවරණ කොමසාරිස් ඉදිරියේ පොදු අපේක්ෂකයාගේ නියෝජිතයා වෙද්දී එ.ජ.නි.ස. හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නියෝජනය කරමින් එම සම්බන්ධීකරණ කටයුතු කළ පිරිස අනුර ජයසිංහ හා නීතිඥ චම්පානි පද්මසේකර ද සිටියහ.


නාමයෝජනා බාරගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ ප්‍රකාශ කළේය. ‘වෙලාවල් කියන කෙනෙක් හෝ වෙන කවුරුන් හෝ මට ජනාධිපතිවරණය පවත්වන දිනය කියුවේ නෑ. මම රජයේ සේවකයකු මිස ආණ්ඩුවේ සේවකයකු නොවේ. ආණ්ඩුව පෙරළීම හෝ පත් කිරීම මගේ කාර්යයක් නොවේ යනුවෙන් පැවසූ ඔහු මෙදින දක්වා නාමයෝජනා බාරදී නොතිබුණ නිසා කටවුට් හා පෝස්ටර් ඉවත් කිරීමට තමාට බලයක් නොතිබුණ බවද පැවසීය. මැතිවරණ කොමසාරිස්වරයා මෙලෙස ජනවාරි 8 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ එම දිනය සාධාරණීයකරණය කිරීමට සිදුවූයේ ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් එම දිනය යෝජනා කළ බවට වූ චෝදනාවට පිළිතුරු වශයෙනි.


මේ අතර දෙසැම්බර් 18 වැනිදා පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් පැවැත්විණි. එහි සටන්පාඨය වූයේ ‘යුක්තිය කෝ මැකෝ’ යන්නය. එය සංවිධානය කර තිබුණේ පොදු අපේක්ෂක මැතිවරණ නිරීක්ෂණ කමිටුව විසිනි. කෙසේ වෙතත් මෙම සත්‍යග්‍රහය හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා තරමක් කේන්තියෙන් පසුවිය.

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

හිරුණිකා මෛත්‍රීගේ වේදිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 180 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site