ගිනස් පොතට යා යුතු පුවතක් පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා විය. ඒ අනුරාධපුරය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය තුළ කොන්ක්‍රීට් කණු 4ක් සෑදීමට රුපියල් ලක්ෂ 800ක් හෙවත් රුපියල් අට කෝටියක් වැය කිරීම පිළිබඳ අරුම පුදුම සිදුවීමයි. සකල සිරින් පිරි සිරි ලංකාවේ මෙවන් සෙල්ලම් සිදුවීම අරුමයක් නොවේ. මෙය මෙසේ සිදුවූ බව රටට අනාවරණය කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුරය ශාඛාවේ සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් විසිනි. රජය වහා මේ ගැන සොයා බැලිය යුතු බව පෙන්වා දෙමින් ඔවුහු මේ සිද්ධිය මාධ්‍යයට කීහ.
වාර්තා වන ආකාරයට හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මුල්ගල් තබා ඇත්තේ වසර 2017දීය. මේ මුළු ප්‍රතිකාර සංකීර්ණයම වෙනුවෙන් රුපියල් මිලියන 342ක් වියදම් කළ යුතු බවට ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව අදාළ ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවකුට පවරා අත්තිකාරම්ද ගෙවනු ලැබීය. එහෙත් මෙතෙක් ඔහු ඉදිකර ඇති යට කී කොන්ක්‍රීට් කණු 4ට පමණක් වියදම රුපියල් ලක්ෂ 800කි. මිලියනවලින් ගතහොත් මිලියන 80කි. ඒ මුදල හදිසි ප්‍රතිකාර සංකීර්ණය සඳහා ඇස්තමේන්තු කළ මුලු මුදල වන රුපියල් මිලියන 342න් හතරෙන් එකක් පමණ වේ. කොන්ක්‍රීට් කණු 4ට මිලියන 80ක් වැයවේ නම් වෙන්කර ඇති මිලියන 342න් හදිසි ප්‍රතිකාර සංකීර්ණය හදන්නට පුළුවන්ද යන ප්‍රශ්නය කුඩා දරුවකු වුවද විමසනු ඇත.
මේ කොන්ත්‍රාත්තුව බාරගත් අරුම පුදුම කොන්ත්‍රාත්කරුට ලක්ෂ 80ක වියදමින් ඒ කණු 4 හදන්නටත් වසර දෙකක් ගතවී තිබූ බව සිහි කටයුතුය. එම වික්‍රමය සිදුකළ කොන්ත්‍රාත්කරු ඉඩම වටකොට වැටක් ගසා කණු 4 ඉදිකොට වැඩබිම හැරදමා ගොසිනි. අඩුම තරමින් තමන් රජයෙන් ගත් මුදල වෙනුවෙන් අත්තිවාරමක් හෝ දමා නැතැයි අනුරාධපුර වෛද්‍ය සංගමය චෝදනා කළේය. එම වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසුවේ මේ ගැන වගකිවයුත්තන් නිසි ලෙසට දැනුම්වත් කළත් කිසිම පියවරක් ගෙන නැති බවකි.
මෙලෙස මහා මූල්‍ය වංචාවක් සම්බන්ධව කරුණු හෙළිදරව් කර තිබියදීත් කොන්ත්‍රාත්කරු විසින් සිදුකරන ලද මහා විනාශයට එරෙහිව පියවරක් නොගැනීම සැකයට තුඩු දෙයි. කිසියම් බලවත් හස්තයක ආරක්ෂාව කොන්ත්‍රාත්කරුට ලැබේදැයි සිතන්නට අප පොළඹවයි. එම බලවත් හස්තය දේශපාලන හස්තයක් විය යුතු යැයි අනුමාන කිරීමටද පිළිවන.
රජයේ සංවර්ධන කටයුතුවලට වැය කරන්නේ මහජන මුදල්ය. ජනතාව රජයට ගෙවන බදු මුදලින් කොටසක් සංවර්ධන කාර්ය සඳහා ප්‍රාග්ධන වැය ශීර්ෂයට බැර කෙරේ. ආණ්ඩුවේ මුදල්වලට ඍජු අයිතිකාරයෝ නැත. පෞද්ගලික ව්‍යාපාරයක නම් ව්‍යාපාරිකයා තමන් වැයකරන අන්තිම ශතයත් හරියට වැය කරනවාදැයි ඇස ගසාගෙන සිටී. මෙවැනි තත්ත්වයක් තුළ වංචාකාරයන්ට ආණ්ඩුවේ මුදල් රෙගුලාසි අතරින් රිංගා යාම ඉතා පහසුය. මෙතැන සිදුවී තිබෙන්නේද එවැන්නකි. ඛේදයට කරුණ නම් මේවා ගැන සොයන්නට බලන්නට වගකිවයුත්තකු නොමැතිවීමයි.
කිසියම් අමාත්‍යාංශයකට අදාළ ටෙන්ඩරයක් හෝ කොන්ත්‍රාත්තුවක් කාට හෝ පැවරුවහොත් ඒ ගැන ඍජු අධීක්ෂණ වගකීම පැවරෙන බලධාරියෙක් සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින එවන් බලධාරියා කවුද? ඔහු මේ ගැන කළේ කුමක්ද? පියවරක් නොගත්තේ නම් ඊට හේතු කවරේද? පුළුල්ව බැලුවොත් මෙහි වගකීම අමාත්‍යංශයේ ලේකම්වරයාද දැරිය යුතුය. අප දන්නා පරිදි රජයේ අමාත්‍යාංශයක ප්‍රධාන ගණන් දෙන නිලධාරියා නැතහොත් ගිණුම් නිලධාරියා වන්නේ ලේකම්වරයාය. කොන්ත්‍රාත්කරුවන්ගේ වේශයෙන් එන ඇවිත් මෙලෙස රාජ්‍ය සම්පත් කොල්ලකන තෙක් ඔහු ඇස් කන් පියාගෙන සිටියේ මන්ද කියා එම විෂය බාර අමාත්‍යවරයා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුය.
රජයේ ටෙන්ඩර් පටිපාටි මූල්‍ය රෙගුලාසි හා පරිපාලන රෙගුලාසි ආදී වශයෙන් නීති රීති සමුදායක් ක්‍රියාත්මකය. දුප්පත් මිනිසකු සමෘද්ධිය ඉල්ලාගෙන ගිය විට කෝටියක් ප්‍රශ්න අසන නිලධාරීන් මෙවැන්නන් ගැන නොසොයන්නේ මන්ද යන්න අපට නම් ප්‍රහේළිකාවකි. යට කී කොන්ක්‍රීට් කණු 4 හදන්නට වැඩිම වශයෙන් රුපියල් ලක්ෂ 25ක් වැය වූවා යැයි අනුමාන කළහොත් ඉතිරි රුපියල් ලක්ෂ 775ම කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්කුවේය. ඒ දැවැන්ත මුදල ඔහුට පරම්පරා දෙක තුනක් ජීවත් කරවන්නට සෑහෙන තරම්ය.
ගමේ භාෂාවෙන් කිවහොත් මහජන මුදල් යනු ‘පිං සල්ලිය’. මේ ‘පිං සල්ලි’ වංචාවෙන් ගසාකන තැනැත්තා පව්කාරයෙකි. මේ පව්කාර තක්කඩින්ගේ වංචාව අනුමත කරන්නා ඊටත් වඩා පව්කාරයෙකි. මේවා මේ ආකාරයට නිදැල්ලේ සිදුවන්නට ඉඩ හැරියහොත් ශ්‍රී ලංකාව නීතියක් හෝ විධානයක් නැති රටක් බවට පත්වෙයි. වත්මන් ආණ්ඩුව 2015 දී වේදිකා ගානේ අලෙවි කළ යහපාලන සංකල්පයට මේ වැඩ කොතරම් ගැළපේද යන්න සිහිනුවණින් කල්පනා කරන අයට ප්‍රශ්නයකි. මෙබඳු වංචා දූෂණවලදී සිවිල් සමාජයද වඩා ශක්තිමත්ව පෙරට ආ යුතුය. ආසියාවේ සෙසු රටවලත් යුරෝපා ආදී රටවලත් වංචා දූෂණ පසුපස හඹා යන්නේ සිවිල් සමාජයයි.
ආණ්ඩුවේ වග කිවයුත්තන් අතින් එම යුතුකම හරිහැටි ඉටු නොවේ නම් සිවිල් සමාජය හෝ යුක්තිය සාධාරණය උදෙසා සටන් කළ යුතුය. වෙනදාටත් වඩා යුතුකම් හා අයිතිවාසිකම් ගැන කතා කරන මේ යුගයේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගත යුත්තේ ජනතාව විසින්මය. ප්‍රකට අප්‍රිකානු පිරුළකට අනුව ‘අප අපේ හතර මායිම් ආරක්ෂා කර නොගතහොත් මායිම් අප ළඟට පැමිණෙනවා ඇත.’ එහෙයින් අප පමා නොවී මේ කොන්ක්‍රීට් කණු 4ට රුපියල් ලක්ෂ 800ක් වැය කළ කොන්ත්‍රාත්කරුවා අල්ලාගෙන ඔහු නීතිය හමුවට පැමිණවිය යුතුය. එසේ නොකළොත් ශ්‍රී ලංකාව නීතියක් නැති අවනීතිය රජකරන රටක් බවට පත්වෙයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රෝහලේ කොන්ක්‍රීට් කණු හතරට රුපියල් ලක්‍ෂ 800 යි
himal Wednesday, 10 July 2019 03:41 PM
ලංකාවේ දැන් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මකයිනේ. ඉතින් ඇයි හරියට හොයලා බලලා මේ කොන්ත්‍රාත්කරු කවුද? මොකක්ද මෙතන මේ වෙලා තියෙන්නේ කියලා හොයලා කියන්නේ නැත්තේ..?
ජබිර් කන්ස්ට්‍රක්ෂන්ස් බේරුවල Sunday, 14 July 2019 05:36 AM
මෙතන ප්‍රශ්න කරන්න ඔහෙලා කව්ද? මේක මමයි සෞඛ්‍ය ඇමැතියි අතරේ ගිවිසුමක්. මේ සල්ලිවලින් ඇමතිතුමාගේ අලුත් ගෙයකුත් හදන්න කීවා.මම හැදුවා .මේවා ආණ්ඩුවේ සල්ලි. ඔයගොල්ලන්ගේ සල්ලි නොවෙයි හරිද..
somapala Friday, 12 July 2019 05:00 AM
මෙය ජී එම් ඕ නම් මම විස්වාස කරන්නේ නැහැ. මේකත් කුරුනෑගල ගබ්සා කතාව වගේ එකක් වෙන්න ඇති. කොහොම උනත් සම්පූර්ණ පරීක්ෂණයක් කල යුතුයි.
ET Friday, 12 July 2019 05:32 PM
මං හිතන්නේ මේක 25% ක මොබිලයිසේෂන් ඇඩ්වාන්ස් එකක් වගෙයි. මේක තේරෙන්නේ නැහැනේ. අපේ වෙලාව කනවා....
සිසිල් සුදේශ් Sunday, 14 July 2019 04:40 AM
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොඩනැගිලි වැඩ කරන්නේ නැහැ. ඔවුන් මෙය රජයේ වෙනත් අංශයට - සීඊසීබී වැනි ආයතනයකට පවරන්න ඇති. කොන්ත්‍රාත් කරු අත්තිකාරම් ගෙන මගදී අත්හරින්න ඇති.