IMG-LOGO

පළාත් සභා ඡන්දය තවත් පමාකරනු එපා

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැති ජාතික වප්මඟුල් උළෙලේදී ප්‍රකාශ කළේය. නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස පළාත් සභා මැතිවරණය කඩිනම් කරන බවද අද හෙටම මැතිවරණ කොමිසම හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයාගේ කතාවේ සඳහන් විය. මෙය යහපත් පියවරක් වශයෙන් අපි දකිමු. එය වචනයට සීමානොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි ද ඒ සමඟ බලාපොරොත්තු වෙමු. 

ඇත්ත වශයෙන්ම පළාත් සභා සම්බන්ධයෙන් දැන් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක නොපැවැතිය යුතු තත්ත්වයකි. පළාත් සභා කිහිපයක්ම වසරකට ආසන්න කාලයක් පවතින්නේ දේශපාලන නායකත්වයකින් තොරවය. තවත් පළාත් සභා තුනක කාලය පසුගිය සති කිහිපය තුළදී අවසන් විය. මේ පළාත්වල වෙසෙන ජනතාවට තමන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට කිසිදු නායකත්වයක් මේ වනවිට නැත. ඒවායේ නිලධාරීහු ද ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කළ නොහැකිව අසරණව සිටිති. එහි බලපෑම් විඳවන්නේ ජනතාවයි. 

නිසි කලට ඡන්දය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ හොඳම පිළිවෙතය. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑම ජාතියකට ඉතාම වැදගත්ය. තමන් විශ්වාස කරන, අගය කරන පුද්ගලයන් තමන් නියෝජනය කිරීම සඳහා පළාත් සභාවලට පත්කරගැනීමේ අයිතිය ඔවුන්ට ප්‍රකාශ කළ හැකිවන්නේ ඡන්දයක් හරහා පමණි. ජනතාවට තමන්ගේ හඬ ජනමතය බවට පෙරළා ගත හැකි වන්නේත් වැඩිදෙනාගේ කැමැත්තට අනුව පළාතේ තීරණ ගත හැකි වන්නේත් නියම කාලය තුළදී පැවැත්වෙන ඡන්දයකදීය. එය කල්ගත වනවිට විවිධ දුෂ්කරතා මතුවන අතර පළාත් සභාවෙන් අවශ්‍ය සේවා ඉටුනොවන තත්ත්වයක් තුළ ජනතාවට සිදුවන්නේ හූල්ලමින් බලාසිටීම පමණි. දැන් සිදුවෙමින් පවතින්නේ එයයි. 

තවත් අතකින් බැලුවොත් පළාත් පාලන ඡන්දය සහ පළාත් සභා ඡන්දය යනු මහමැතිවරණ දෙකක් අතරතුර තමන්ගේ වැඩපිළිවෙළ ජනතාව අනුමත කරන්නේද යන්න පිළිබඳ සොයාගැනීමට රජයකට ලැබෙන අන්තර්කාලීන මිනුම් දණ්ඩකි. එය හරියට වෙලාවට භාවිත කිරීම වැරැදි හදාගැනීමට ආණ්ඩුවකට ලැබෙන මහඟු අවස්ථාවක්ද වන්නේය. පහුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය ආණ්ඩුව නිවැරැදි කිරීමට ජනතාව ලබාදුන් තීන්දුවක් වශයෙන් තමන් දකින බව ජනාධිපතිවරයා පහුගිය ඉරිදා (28) ජාතිය අමතමින් කළ ප්‍රකාශයේදී ද සඳහන් කර තිබිණි. වසර තුනක කාලය තුළ තමන්ගේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව ජනතාව රජයට පාඩමක් උගන්වා ඇති බව රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අවස්ථාවේ දැනුම් දුන් බවත් ජනාධිපතිවරයා කියා තිබිණි. මෙහිදී අපට පෙන්වාදිය හැකිවන්නේ එම පළාත් පාලන ඡන්දය පැවැත්වූයේ වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද කිරීමෙන් පසුව බවය. එම ප්‍රමාදයට හේතු වූයේ කුමක්දැයි සෙවීම මේ අවස්ථාවට අදාළ නැත. එහෙත් පළාත් සභා ඡන්දය ද ඒ ආකාරයටම දිගින් දිගටම ප්‍රමාදවීම තුළ තවදුරටත් අහිතකර බලපෑම් සිදුවිය හැකි බව සඳහන් කිරීම අවශ්‍යය. පැහැදිලිවම එය ජනතාවගේ සැකයට භාජනය වීම නොවැළැක්විය හැකිය.

 මේ සමඟ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණේ මාස දෙකක් තුළ ඕනෑම මැතිවරණයකට සූදානම් වීමේ හැකියාව කොමිසම සතු බවය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව කියන පළාත් සභා මැතිවරණයට අදාළ නිලධාරී සංගණන වාර්තා සැකසීමේ කටයුතු දැනටම ආරම්භ කර ඇති බවද ඒ මහතා කියා තිබිණි. මේ අනුව පෙනෙන්නේ මැතිවරණය පැවැත්වීමේ තීන්දුව රජය මගින් ගනු ලබන්නේ නම් මැතිවරණ කොමිසම ඒ සඳහා උපරිම සූදානමකින් සිටින බවය. ලබන ජනවාරියෙන් පසුව පැවැත්වීමට හැකි නම් සියලු පළාත් සභාවල ඡන්ද එකවර පැවැත්විය හැකි බවද සභාපතිවරයා කළ ප්‍රකාශයේ සඳහන් විය. එයද වැදගත් කාරණාවකි. කඩින් කඩ පළාත් සභා ඡන්ද පවත්වනවාට වඩා එකවර පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීය. 

පළාත් සභා ඡන්දය තවදුරටත් ප්‍රමාද නොකෙරෙනු ඇතැයි යන්න ජනතාවගේ ලොකුම බලාපොරොත්තුව බව යළි යළිත් පැවසීම අවශ්‍ය නැත. ඒ සඳහා තීන්දුව ගත යුත්තේ මැතිවරණ කොමිසම නොව රජය බවද පැහැදිලිය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අපට පැහැදිලි වන්නේ එම තීරණය ගැනීමට රජය සූදානමින් සිටින බවය. දැනට රට තුළ පවතින දේශපාලන උණුසුම් බව සමනය වූ වහාම පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

සියලු දේශපාලන පක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. නිසි වෙලාවට මැතිවරණ පැවැත්විය යුතු බවයි. එජාප - ශ්‍රීලනිප, ද්‍රවිඩ සංගමය, ජවිපෙ යන ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂ පළාත් සභා මැතිවරණයේ අවශ්‍යතාව ගැන පුන පුනා කියන්නේය. එසේ නම් දැන් සියලුම පක්ෂ එකතු වී පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා නොපමාව ක්‍රියාත්මක විය යුතුය.



අදහස් (0)

පළාත් සභා ඡන්දය තවත් පමාකරනු එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site