IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘පක්ෂ නායක රැස්වීමේ ගාලගෝට්ටි - තීරණයක් නැතිව අවසන්’


ඉහතින් දක්වා තිබෙන්නේ අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන සිරස්තලය වේ. පවතින දේශපාලන තත්ත්වය හා ලබන 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් පසු වාර්තා කළ ප්‍රවෘත්තියේ ප්‍රධාන සිරස්තලය එපරිදිය.

මෙබඳු සිරස්තලයක් ගමේ ප්‍රජා ශාලාවේ පැවැත්වෙන මරණාධාර සමිතියක් හෝ සුබ සාධක සංගමයක රැස්වීමක් අවසානයේ පළ වූයේ නම් අමුතු විමතියක් ඇතිවන්නේ නැත. එහෙත් මෙම සිරස්තලය පළ වන්නේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් සම්බන්ධයෙනි. සිරස්තලය බැරෑරුම්ව ගත යුත්තේ එහෙයිනි.

මෙහි පක්ෂ නායකයෝ යනු පක්ෂවල නායකයෝම පමණක් නොවෙති. ඔවුහු රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ වෙති. කෝටි දෙකද ඉක්මවා ගිය මෙරට ජනයාගේ ඉරණම විසඳීමේ බාරගත් නායකයෝ වෙති. ඒ අර්ථයෙන් ගත් කල්හි ඔවුහු සුවිශේෂී වෙති. ඔවුහු පරමාදර්ශී චරිත වෙති. කෝටි දෙකද ඉක්මවූ ජනයාගේ අනුත්තර නායකයෝ වෙති.

එබඳු නායකයන්ට සාකච්ඡාවෙන් යම්කිසි ප්‍රශ්නයක් නිරාකරණය කරගත නොහැකි නම් ඔවුන් වෙතින් පළවන පරිණතභාවය, විචක්ෂණ බව කුමක්ද යන්න විමසිය යුතුය. මම ඔබගේ මතයට එකඟ නොවෙමි. එහෙත් ඔබගේ මතය ප්‍රකාශ කිරීමට ඔබට තිබෙන අයිතිය මම පිළිගනිමි යන්න නූතන ශිෂ්ටත්වය තුළ උත්කර්ෂයට නැංවූ ජනකාන්ත අදහසකි. ‘අප බැලිය යුත්තේ කවුරු හරිද? යන්න නොව කුමක්ද හරි’? යන්නද එබඳුම සම්භාවනාවටම පාත්‍ර වූ අදහසකි.

ශිෂ්ටත්වය මැනිය යුත්තේ වාගාලාපවලින් නොව ආදර්ශයෙනි. ක්‍රියාකාරිත්වයෙනි. කෝටි දෙකක් ඉක්මවූ මෙරට පුරවැසියන්ගේ පරමාධිපත්‍යයේ බලය නියෝජනය කරන රටේ උත්තරීතරම ආයතනය හොබවන ජනතාවගේ නියෝජිතයන් වෙතින් එබඳු බලගතු පරමාදර්ශ ප්‍රදර්ශනය නොවෙන්නේ නම් එය ඉතා බරපතළ ඛේදවාචකයකි. එහෙත් ශ්‍රී ලංකාව යනු විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා ඛේදවාචක කැඳවා ගැනීමම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරමින් සිටින රටක්ය යන්න ඇත්ත තත්ත්වයකි. එබඳු රටක පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අවසානයේ ඉහත වර්ගයේ සිරස්තල පළවීම සම්බන්ධයෙන් විමතියක් ඇතිකර ගත යුතු නැත.

රටේ ඉතාම බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය. මෙම තත්ත්වය රටේ පැවැත්මට මෙන්ම රටේ අනාගතයට ද ඉතාම අහිතකර බවද සත්‍යයකි. මෙම දේශපාලන අර්බුදය රටේ ආර්ථිකයට මාරාන්තික බවද එපමණටම සත්‍යයකි. එහෙයින් අවශ්‍ය වන්නේ මෙම දේශපාලන අර්බුද සුළිය නොපමාව මැඬපවත්වන දියුණු වියත් මෙහෙයුමකි. අර්බුදය තීව්‍ර වන්නට ඉඩ හැරීම මුළු රටටම මුහුණදීමට සිදුවන බරපතළ ඛේදවාචකයක්වීම වැළැක්විය නොහැකිය.

එහෙත් මේ මොහොතේද දක්නට ලැබෙන්නේ නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය එයට හිමි නිසි බරින් නිසි පැහැයෙන් හඳුනා ගැනීමකින් තොරව තම තමන්ගේ මනසේ දිග පළලට අනුව සිදු කෙරෙන විග්‍රහ කිරීම්ය. අර්ථ නිරූපණය. එම අර්ථ දැක්වීම් කෙළවර වන්නේ තමන්ට අවශ්‍ය පරිදි මෙම අර්බුදය නිමාවිය යුතුය යන අදහසෙනි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීම අවසානයේ ඉහත වර්ගයේ සිරස්තලයක් යෙදීමට සිදුවී තිබෙන්නේ පෙර දක්වා ඇති තත්ත්වයේ තාර්කික අන්තයක් වශයෙනි. මෙබඳු සිරස්තලවලින් මෙරට ක්‍රියාත්මක දේශපාලන සංස්කෘතියේ දරිද්‍රතාව මනාව පිළිබිඹු වෙයි. ජන නායකයන්ගේ ඇත්ත තත්ත්වය ප්‍රදර්ශනය වෙයි.

මෙම තත්ත්වය රටට වැඩක්ම නැත. මේ රට මේ වැටී තිබෙන තැනින් අඟලක් හෝ ඔසොවා තැබීමට මෙයින් නොහැකිය. එහෙයින් ජනනායකයන් මෙයට වඩා රට ගැන බැරෑරුම්ව කල්පනා කර කළමනා කටයුතු සංවිධානය කිරීමට පෙරමුණ ගත යුතුය.



අදහස් (0)

‘පක්ෂ නායක රැස්වීමේ ගාලගෝට්ටි - තීරණයක් නැතිව අවසන්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site