මේ වනවිට සමස්ත ලාංකික ජනතාවට නැතිවන්නට දෙයක් නැත. සියල්ල නැති වී හමාරය. එවැනි මොහොතක මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රංගය මට අර්ථකථනය කිරීමට සිදුවන්නේ පටාචාරා ආර්ථිකයක කිසාගෝතමියගේ රංගනයක් හැටියටය. ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතර ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය කඩාවැටී අවසන්ය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටී අවසන්ය. සේවා අංශවලදී ප්‍රවාහන, රක්ෂණවල නිරත වූ සේවකයන්ගේ ජීවන පැවැත්ම ද කඩා වැටී අවසන්ය. වසර 17කට පසුව හෙවත් 2001න් පසුව ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය වන 3% ද වාර්තා විය.
පොලී අනුපාත කරටි කඩාගෙන යන්නට ඉහළ නැගලාය. ගත් ණයවල පොලී අනුපාත වාරික ගෙවාගත නොහැකිව මිනිසුන්ගේ දේපළ, ඉඩකඩම් බැංකුවලට සින්නවන තත්ත්වයක් නිර්මාණය වෙලාය. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසාගන්නා තැනට මිනිස්සු පත්ව සිටිති. අලුතින් රක්ෂා බිහිවීම වෙනුවට මෙතෙක් කලක් කර්මාන්තශාලාවල රක්ෂා කරමින් සිටි ජනතාවටද රක්ෂා අහිමි වෙමින් තිබේ. මේ නිසා විරැකියා පෝලිම දස දහස් ගණනින් තවත් දිගුව ඇත.
මහ බැංකුවේ මහ දවල් සිදු වූ මහා කොල්ලය නිසා බැංකු ක්‍රමය පිළිබඳ විශ්වාසනීයභාවය අහිමි වී තිබේ. විදේශිකයන් මේ දිනවල සිය මුහුණු පොත්වල හාස්‍යට ලක් කරමින් බෙදාහදාගන්නා පින්තූරයකි. එහි සඳහන් වන්නේ සොරු දෙදෙනකු විසින් අස්සන් කරන ලද මුදල් නෝට්ටුවක් ගෙන වෙළෙඳසලකට ගොස් භාණ්ඩ මිලදීගන්නා ජනතාව වෙසෙන රට කුමක්ද කියාය. උත්තරයට දෙන්නේ ශ්‍රී ලංකාවය. අසරණ වූ පටාචාරා නිර්වස්ත්‍රව විසඳුමක් සොයාගෙන ගියේ බුදුරජාණන් වහන්සේ හමුවටය. මෙහි වෙනස නම් මංගල සමරවීර ටයිකෝට් ඇඳ වොෂිංටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමය. එහෙත් මංගල සමරවීරට උත්තරයක් හොයාගැනීමට හැකිවුණේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කීවේ තමන් සමඟ ලංකා ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන ගිවිසුම තවත් වසරකට දීර්ඝ කරන්නේද නැද්ද යන්න ගැන උත්තරයක් දෙන්නම් කියාය. එනිසා අද දවසේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා කළේ නැවතත් කිසාගෝතමියගේ චරිතය නිරූපණය කිරීමය. මළ බව නොදන්නා නමුත් මුළුමනින්ම මළ ආර්ථිකයක් කරේ තබාගෙන පැමිණි මුදල් ඇමැතිවරයා මේ පාර්ලිමේන්තුවෙන් උත්තර සෙවීම හරියටම නොමළ ගෙයකින් අබ සෙවීමකට මිස අන් කවරකට සමවේද?
වෙළෙඳපොල ක්‍රමය තවදුරටත් ප්‍රසාරණය කිරීම හරහා ආර්ථිකය මුළුමනින්ම ලිහිල්කරණයෙන් ද පෞද්ගලීකරණයෙන් ද ගෝලීයකරණයට නතුවීමෙන් ද රටේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය යන ආචීර්ණකල්පිත විශ්වාසය එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙළයි. මූල්‍ය අරමුදලේ ප්‍රධානතම කොන්දේසිය නම් අයවැය පරතරය 2020 වනවිට 3.5% දක්වා ගෙන ඒමය. ඊට ඇත්තේ ප්‍රධානතම ක්‍රම දෙකකි. ඒ ආදායම වැඩිකිරීම හා වියදම අඩුකිරීමය. මේ අයවැය ලේඛනයෙන් ආදායම වැඩිකිරීමට ඇති පහසුම ක්‍රමය නම් අසාමාන්‍ය ලෙස ජනතාව මත බදු පැනවීමය. සැබැවින්ම මෙය බදු පැනැවීමක් නොව බදු දඩයමකි. විසර්ජන පනතින් වෙන්කර ඇති මුදල්වලින් ප්‍රාග්ධන වියදම් මිලියන ගණනක් කපා හැර ඇත.
ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වන විට කලින් ආණ්ඩුව ගත් ණය ගෙවිය යුතු බව දනී. එය නොදන්නේ නම් එය ආණ්ඩුවක් විය නොහැකිය. එහෙත් මේ ආණ්ඩුව බලයට පත් වූ දින සිට ණය ගැන කතා කරනු හැර වැඩ නැත. ලංකා ඉතිහාසයේ නිදහසෙන් පසු විශාල වශයෙන් දරාගත නොහැකි ණය අර්බුදය පැමිණෙන්නේ 2025දීය. මහින්ද රාජපක්ෂ මහතාට බාරගැනීමට සිදුවුණේ දැවැන්ත ණය අර්බුදයක් සහිත පාලනයකි. දළ දේශීය නිෂ්පාදිතය 100 යැයි උපකල්පනය කළහොත් රාජපක්ෂ ආණ්ඩුව පාලනය බාරගන්නා විට රාජ්‍ය ණය 3% කි. ලංකා ඉතිහාසයේ විශාලතම ණය අර්බුදය තිබුණේ 2001, 2002, 2003 හා 2004 යන වසරවලදීය. එවිට අගමැතිවරයා රනිල් වික්‍රමසිංහය. ඒ අර්බුදය යටතේ මහින්ද රාජපක්ෂ මහතා රට බාරගන්නා විට නොගෙවූ ණය ට්‍රිලියන දෙකක් තිබුණේය. ඒවා ද මහින්ද රාජපක්ෂ ගත් ණය නොවේ. ඊට පෙර ගත් ණයයි. මහින්ද රාජපක්ෂ යුගයේදී උතුරු නැගෙනහිර යුද්ධය, ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය, රාජ්‍ය ණය අර්බුදය ආදී සප්ත මහා අභියෝගයකට මුහුණ දුන්නද 2014 වනවිට ණය ප්‍රමාණය වූයේ ට්‍රිලියන 7කි. අවුරුදු ගණනාවකට වැඩි වී තිබුණේ ට්‍රිලියන 5කි. එනම් බිලියන 500 කි. දැන් එය ට්‍රිලියන 12කට ආසන්නය. එසේ බලද්දී මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ වසර 10කදී ගත් ණය ප්‍රමාණ වසර තුනකින් ගෙන තිබේ.
රුපියල බාල්දු වීම නිසා නොපියවූ ණය මිලියන 10,000කට වඩා වැඩි වී තිබේ. ඒ ආකාරයට රුපියල් මිලියන දාහකට වඩා ණය පැටව් ගසා ඇත. සැබැවින්ම මේ අර්බුදය තිබෙන්නේ මේ ආණ්ඩුවට නොවේ. අපටය. ඊළඟ වාරයේදී අප ආණ්ඩුව බලය ගත්විට මූලික අවධානය දෙන්නේ ණය ප්‍රතිසැකැසුම්වලටය. කෙටි කාලයක් තුළ විදේශ වෙළෙඳපොළෙන් ගිනි පොලියට වැඩිම ණය ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. චීනයෙන් පැන්ඩා බැඳුම්කරවලින් ද ජපානයෙන් සමුරායි බැඳුම්කරවලින් ද ලෝක වෙළෙඳපොළෙන් ස්වෛරීත්ව බැඳුම්කරවලින් ද ආදී වශයෙන් මේ ආණ්ඩුවට තිබෙන්නේ පුදුමාකාර වෙළෙඳපොළ ණය ගැනීමේ දැඟලිල්ලකි.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, කොළඹ පෝට් සිටිය, සුපිරි අධිවේගී මාර්ග, නෙළුම් කුලුන, නෙළුම් පොකුණ රඟහල, මහින්දෝදය පාසල් දහස, තාක්ෂණ පීඨ 251 වශයෙන් උපනූපන් පරම්පරාවලට දැනෙන පළල් සංවර්ධන ක්‍රියාදාමයක් දියත් වුණේය. එහෙත් රටට දැනෙන දැවැන්ත පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් මේ පාලන කාලයේදී සිදුවුණේ නැත. යමක් සිදුවුණේ නම් ඒවාද මහින්ද රාජපක්ෂ කාලයේ ආරම්භ කළ දේය. මධ්‍යම අධිවේගය ගත්තත් මොරගහකන්ද ගත්තත් එසේය. නොඑසේව අලුතින්ම නිර්මාණාත්මකව කිසිවක් නොකළ වසර හතරකි. මේ අයවැය සැලකිය හැක්කේ එකී නිර්මාණශීලී බංකොලොත්භාවයේ ශේෂ පත්‍රය හැටියටය.
සටහන - බිඟුන් මේනක ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාස කරලා තිබෙන විධියට පාරේ බැහැලා යන්න ජනතාව ඉඩදීලා තිබීම පෙර පිනක් ...
අනුන්ගේ අය-වැය ගැන කියවනවට වඩා හොඳයි නේද , , තමන්ගේ අය-වැය හරියට කරගත්තනම් .
අනේ ඔබතුමා දන්නා 2500 යේ ආර්ථිකේ
උගස්කරය කියන එක නොදන්න මිනිහෙක් අයවැය අර්ථ නිරූපනය කරන්ට යෑම විහිළුවකි.
තමන්ගේ නිවාස වෙන්දේසියේ විකුණන්න නියම වූ පසුයි දන්නේ ජනතාවගේ හැමදෙයක්ම නැතිවී යන හැටි.. අද බලයේ හිටිය නම් ඔය කියන බැංකු මනේජර්ට දෙවියන්ගේම පිහිටයි. ඔබෙන් ඉගෙනගත් දරුවෝ ඔවුන්ගේ රාජකාරිය හරියට කරනවද? නැතිනම් ඔබ වගේ අනුන්ගේ දේපල වලට ඇප කාරයන් හැටියට.... ඔබ වගේ වැඩ කරනවද කියලා. මහින්දගේ නඩේ හොරකම් කෙරුවේ මුදල් නෙමේද? ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? ඒ හොරකම් සිදු වෙනකොට නොදැක්ක ගානට ඉඳලා අලුත් ආණ්ඩුවේ හොර අල්ලන්න. හදනවා නැෂනල් අදින උන් කරන්නෙම හොර වැඩ කොට. කලිසමක් ගහල ඉන්න. කොල්ලෝ කරන්නේ නැහැ මෙවැනි අසික්කිත වැඩ... මුළු ලෝකෙම දන්නවා. මහින්දගේ හොර වැඩ රනිල්ගේ උගත්කම...
2500 කින් මාසයක් පවුලක් ජීවත්වෙන්න පුළුවන් කියපු කටින් තමයි මේවත් කියන්නේ
ගොඩඒමක් නැති ආර්ථිකයෙන් රට ගොඩනැඟීමට තමන්ට භාර දෙන්නැයි ඉල්ලන්නේ පෑන් ඒෂියා බැංකුවට එක් කෝටි විසි ලක්ෂයක් පොලු තබා, එම ණය නොගෙවන්නේ නම් දේපළ වෙන්දේසි කරන ලෙස අධිකරණ නියෝග ලැබූ බන්දුලය
මේවා කලේ වැඩි හරියක් ණය වලින් කියල කියන්න බැරි මොකද?
මේ වනවිට සමස්ත ලාංකික ජනතාවට නැතිවන්නට දෙයක් නැති බව ඇත්ත. ඔක්කොටම මහජනතාවත් තව පරම්පරා ගානකුත් ප්‍රකෝටි ගණන් ණය කන්දරාවක් ගෙවන්න වෙලා තියෙන්නේ. මේ බන්දුල මහත්තයල තමයි නිර්මාණශීලී බංකොලොත්භාවයේ ශේෂ පත්‍රය හැදුවේ.
මහින්දගේ කාලයේදී හදපු හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, කොළඹ පෝට් සිටිය, සුපිරි අධිවේගී මාර්ග, නෙළුම් කුලුන, නෙළුම් පොකුණ රඟහල, මහින්දෝදය පාසල් දහස, තාක්ෂණ පීඨ යන සියල්ලමත් කලේ ණයට යයි කියා කියන්නේ නැත්තේ ඇයි? මොවුන් ජාත්‍යන්තරයෙන් ලබා ගත් බොහෝ ණය වසර 5 ක සහන කාලයක් ඇති ණය වන අතර, දැන් ගෙවී යන්නේ මහින්දගේ කාලේ ගත් ණයයි. මේ අය දැන් කරන්නේ විපක්ෂයේ ඉඳගෙන, ජනතාව මෝඩයට අන්දවමින්, තමන් සුදනුන් යයි කියා මොර දෙමින් ආණ්ඩු පක්ෂයට ඇඟිල්ල දික් කිරීමයි.