IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


දයාසිරිගේ ඉල්ලුම

ශිරාල් මට ලබාදුන් උපදෙස් වූයේ මෛත්‍රී ඇමතිතුමාගේ නිසැක ජයග්‍රහණය පිළිබඳ අප තුළ තිබෙන විශ්වාසය වැනි විශ්වාසයක් දයාසිරි සතුව නොමැති බැවින් ඕනෑම කෙටි දැනුම්දීමකින් ඔහු රැඳී සිටින කොල්ලුපිටියේ යම් ස්ථානයකට පැමිණීමට සූදානමින් සිටින ලෙසටය. එමඟින් ශිරාල්ට අවශ්‍ය වූයේ මෛත්‍රී ඇමතිතුමාගේ ජයග්‍රහණය පිළිබඳ අපගේ විග්‍රහය තුළින් දයාසිරි තවදුරටත් අභිප්‍රේරණය කරවීමය. 


කෙසේ වෙතත් 2014 දෙසැම්බර් 31 දින රාත්‍රිය පුරාම විජේරාම නිවසේ සිට ශිරාල්, පරණවිතාන හා මම ජනවාරි පළමුවැනිදා ගම්පහ නගරයේ පැවැත්වෙන පොදු අපේක්ෂක වේදිකාවට දයාසිරි කැඳවීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කරමින් සිටියෙමු. ශිරාල්ගේ අදහස වූයේ එදිනම මධ්‍යම රාත්‍රියේ වුවද මෛත්‍රී-දයාසිරි හමුවක් සිදුවිය යුතුම බවය. ඒ අනුව එදිනට නියමිත රැස්වීම් සියල්ල නිමවා මෛත්‍රී ඇමතිතුමා විජේරාම නිවසට එනතුරු අපි තිදෙනා ඉස්පාසුවක් නොමැතිව සිටියෙමු. දිනට නියමිත සියලු රැස්වීම් නිමවා මෛත්‍රී ඇමතිතුමා නිවසට පැමිණෙන විටත් රාත්‍රී 11.50 පමණ විය. නව වසර උදාවීමට ඇත්තේ තවත් විනාඩි 10ක් පමණි. ඉතාමත් වෙහෙසකර ස්වරූපයකින් නිවසට පැමිණි එතුමා උඩුමහලේ ඔහුගේ නිදන කාමරයට ගියවිට යළිත් සාකච්ඡාවක් සඳහා පහළට ගෙන්වා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තකි. ශිරාල්ගේ බලකිරීම හා පීඩනය මතම මා හට එම වගකීම පැවරුණි. මෛත්‍රී ඇමතිතුමා වාහනයෙන් බැස ඉහළ මහලට යාමට වැටී ඇති මාර්ගයේ පරණවිතාන හා මම රැඳී සිටිමින් අත්‍යවශ්‍ය කරුණක් සාකච්ඡා කිරීමට ඇති බැවින් අප මෙසේ රැඳී සිටින බව පැවසීමු. ඊට එකඟ වූ එතුමා එයට විනාඩි 10 කට පසුව ප්‍රධාන කාර්යාලයට පැමිණියේය.


ඒ වන විට 2015 වසර උදාවෙමින් පැවතුණි. අදාළ සාකච්ඡාව සඳහා ශිරාල්, අශෝක අබේගුණවර්ධන, පරණවිතාන හා මා සහභාගිවීමු. එම සාකච්ඡාවේදී ශිරාල් විසින් තමා දයාසිරි සමඟ පැමිණි එකඟතාවන් හා ඔහුගේ ඉල්ලීම් එකින් එක විස්තර කරද්දී දයාසිරිගේ ඉල්ලීම්වලටත් එහා ගිය මෛත්‍රී ඇමතිතුමා තමාගේ නිසැක ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී.ල.නි.ප.යේ නායකත්වය තමාට හිමිවන බවත් ඉන්පසුව පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දයාසිරිට පිරිනැමීමට වුවද තමා සූදානම් බවත් පැවසීය. ඊට අමතරව මහාචාර්ය රජීව සමන් පරණවිතාන කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ඔහු විසින් ඉදිරිපත් කළ අතර ජයග්‍රහණයත් සමග දයාසිරි පාර්ලිමේන්තුවට ඇතුළත්වීමෙන් පසුව කැබිනට් ඇමති ධුරයක් ලබාදීමටද මෛත්‍රී ඇමතිතුමා එකඟතාව පළ කළේය. ඒ අනුව දයාසිරි වෙනුවෙන් එකඟ වූ මෙම පැකේජය සහතික කරනුවස් එදිනම එනම් ජනවාරි පළමුවැනිදා උදෑසන 7.00ට දයාසිරිගේ නියෝජිතයන් දෙදෙනකුට විජේරාම නිවසට පැමිණෙන ලෙස ශිරාල් දුරකථනයෙන් දැන්වීය. මෙම රැස්වීම අවසන් වන විට මධ්‍යම රාත්‍රී 12.45 පමණ වී තිබුණ අතර මේ අනුව අප සියලු දෙනාටම 2015 වසර උදාවූයේම විජේරාම නිවස තුළය.


එය එතැනින් අවසන් නැත. උදෑසන 7.00ට රහසිගතව එන දයාසිරිගේ නියෝජිතයන් දෙදෙනා අන්‍යයනට හෙළි නොවන අයුරින් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළතට ගැනීම මෙන්ම පෙරවරු 7.00ට මෛත්‍රී ඇමතිතුමාව ඉහළ මහලේ සිට රහසිගතව සාකච්ඡාව පැවැත්වෙන පහළ මාහලට කැඳවීම යන වගකීම් සියල්ලම මා සතුය. ඒ අනුව පසුදින උදෑසන එනම් ජනවාරි පළමුවැනිදා පෙරවරු 6.30 වන විට මම නැවත විජේරාම නිවසට ගියෙමි. සියල්ල පෙර සැලසුම් කරගත් පරිදි අකුරටම සිදුවිය. මෛත්‍රී ඇමතිතුමාව ද සාකච්ඡාවට නියමිත වේලාවට කැඳවා ගත්තෙමු. පෙරදින රාත්‍රියේ කතිකා කරගත් දයාසිරිගේ පැකේජය එකින් එක මෛත්‍රී ඇමතිතුමා නියෝජිතයින් දෙදෙනාට විස්තර කළේය. සවස 4.00ට ඇරඹෙන ගම්පහ ප්‍රධාන රැස්වීමට දයාසිරි කැඳවීමට දෙපාර්ශ්වයම එකඟවීමෙන් අනතුරුව සියලුදෙනා සතුටින් විසිර ගියහ. එහෙත් නිමේෂයකින් තවත් ප්‍රශ්නයකි. ශිරාල්ගෙන් මට දුරකථන ඇමතුමකි. ‘මලිත්, දයාසිරි කුරුණෑගල ගියාලු. පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ සේවකයන්ගේ නව වසරේ කිරිබත් කෑමට තමන් හදිසියේ එහි ගිය බව දයාසිරි ශිරාල්ට දන්වා ඇත. ශිරාල්ගේ මෙම දුරකථන ඇමතුමත් සමඟ අපි දෙදෙනාම යම් බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පත්වෙමින් සිටියෙමු. මාගේ යෝජනාව වූයේ දයාසිරි සිටින තැනකට වහාම ශිරාල් යා යුතු බවයි. එසේ නොවුණහොත් දයාසිරිගේ අදහස වෙනස්වීමට හෝ නොඑසේ නම් රාජපක්ෂවරුන්ගේ අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බව අප දෙදෙනාගේම අදහස විය. සැබවින්ම ශිරාල් එම මොහොතේම නුවර පාර ඔස්සේ කුරුණෑගල දෙසට ගමන් කරන්නට විය. වරකාපොළට ආසන්නයේදී ඔහු යළිත් මට කථා කළේය. ඒ වන විට වේලාව පෙරවරු 11.00ට පමණය. ‘මලිත් වැඬේ මිස් වුණා’ යනුවෙන් ශිරාල් බලාපොරොත්තු සුන් වූ ලෙස පැවසීය.


සත්තකින්ම ජනවාරි පළමුවැනි දින උදෑසන මෛත්‍රී ඇමතිතුමාගේ පළමු කාර්යය වූ දයාසිරිගේ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවට අනුව එදින සවස ගම්පහ රැස්වීමට දයාසිරි පැමිණියේ නම් එතැන් සිට ජනාධිපතිවරණයේ අවසන් පතිඵල දක්වා වන සියලු දේ ඊට වඩා ‘යූ ටර්න්’ එකකින් වෙනස්වීමට ඉඩ තිබිණි. එසේ වූවා නම් ඒ මොහොතේ සිටම ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය පොළොව පළාගෙන භූගත වීමට ඉඩ තිබිණි. ‘දයාසිරිත් මෛත්‍රීපාල සිරිසේනට එකතු වී ඇත’ යන ප්‍රවෘත්තිය එදා බිහිවූවා නම් එතැන් සිට තවත් අඟලක්වත් මහින්ද පාර්ශ්වයේ මැතිවරණ ව්‍යාපාරයට ගමන් කළ නොහැකි බව යළිත් පැවසිය යුතුය. තනි පුද්ගලයකු ලෙස ගත්විට දයාසිරි ඉතා ජනප්‍රිය මෙන්ම තීරණාත්මක සාධකයකි. සමහරවිට දයාසිරි එසේ පැමිණියේ නම් ආණ්ඩුවේ මැතිවරණ යාන්ත්‍රණය හා සන්ධානයේ පාක්ෂිකයන්ගේ බිඳවැටෙන මානසිකත්වය හමුවේ මෛත්‍රී ඇමතිතුමාගේ ජය තහවුරුවීම හාරලක්ෂ හැට දහසට වඩා එහා ගිය ජයග්‍රහණයක් වීමට ඉඩ තිබුණි. අනෙක් අතට අප සියලු දෙනාම ඒ මොහොතේ අත්විඳිමින් සිටි දේශපාලන අවදානමට දයාසිරි ද මුහුණ දීමට තීරණය කළේ නම් හෙවත් මෛත්‍රී පිලට ඔහු පැමිණියේ නම් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මෛත්‍රී ජනාධිපතිතුමාගේ පාර්ශ්වයේ දෙවැනි ප්‍රබල චරිතය බවට නිසර්ගයෙන් පත් වන්නේ ඔහුය. සැබවින්ම එය එසේ වී නම් දයාසිරි ශ්‍රී.ල.නි.ප.යේ අවිවාදාත්මක අනාගත නායකයාය.


වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර අප සමග එක් නොවූ එදින ශිරාල්, පරණවිතාන හා මම යම් උකටලී බවකින් පසුවුණෙමු. විශේෂයෙන්ම ශිරාල් හා පරණවිතාන දයාසිරිගේ ළඟම මිතුරන් වූ අතර 1994 ආණ්ඩුවේ ජී.එල්. පීරිස් මහතාගේ පළමු පරපුරේ ගෝලයෝ වූහ. දිනයේ වැඩකටයුතු බොහොමයක් බලාපොරොත්තු වූ ආකාරයට සිදු නොවීමේ අතෘප්තිකර හැඟීමෙන් විජේරාම නිවසේ සිටි පරණවිතාන හා මම පොඩි වෙනසක් හා විවේකයක් ලබා ගැනීමට හදිසියේම තීරණය කළෙමු. ඒ අනුව එදින මෛත්‍රී ඇමතිතුමා සහභාගිවීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීම් කිහිපයක් නැරඹීමට අපි දෙදෙනා තීරණය කළෙමු. ඒ අනුව දයාසිරි නොමැති ගම්පහ රැස්වීම බැලීමට අපි ගියෙමු. ශ්‍රීලනිප බළකොටුවක් වූ ගම්පහ නගරය වැනි ස්ථානයක පොදු අපේක්ෂකයාට තිබූ උනන්දුව දෙස බැලූ අපගේ ඇඟේ හිරිගඩු පිපුණා වැනිය. එතැනින් උද්දාමයට පත් අපි මීගමුවේ ප්‍රධාන රැස්වීමද බැලීමට තීරණය කළෙමු. ගම්පහ සිට මීගමුවට අපි ගමන් කරන අතරවාරයේ චරිත හේරත් මහතාට සම්බන්ධ පාර්ශ්වයකින් මා හට දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියවුණේ මේ මොහොත වන විට සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ජනාධිපති මන්දිරයේ සිටින බවකි. ගම්පහ රැස්වීම දැක සතුටට අපේ ඇඟේ පිපුණු හිරිගඩු සීතල වී ගිය ආකාරයක් ඒ අතරින් දැනුණි. මම ඒ බව පරණවිතානට ද කීවෙමි. වහාම අපි ශිරාල් ඇමතීමු. සජිත් ප්‍රේමදාස හා ශිරාල් හොඳ මිතුරන්ය. විනාඩි දෙක තුනකින් ශිරාල් අපිට තහවුරු කරන ලද්දේ මේ මොහොතේ සජිත් සිටින්නේ හම්බන්තොට බවයි. අපේ ඇඟට යළි ලේ ඉනුවා සේය. 


එදින පමණක් නොව දෙසැම්බර් මස අවසන් දින කිහිපය පුරාම යම් මොහොතක සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ එකතුවන බවට වන කට කථාව ඉතා ප්‍රබල ලෙස රට වටා පැතිරයන්නට විය. 


මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 30 - 31 වන විට මෛත්‍රී ඇමතිතුමාද යම් සැකයකින් හා බියකින් පසුවිය. මෛත්‍රී ඇමතිතුමාට ලැබී තිබුණු තොරතුරකට අනුව කියවී තිබුණේ ජනවාරි පළමුවැනි දින උදෑසන අරලියගහ මැදුරේ කිරිබත් මේසයේ දී සජිත් ප්‍රේමදාස මහතා සිටිය හැකි බවයි.


සරලව පවසතොත් සජිත් ප්‍රේමදාස මහතාටම ප්‍රශ්නයක් වන ලෙසට මෙම කට කථාව දේශපාලන අංශ තුළ පැතිරී යද්දී එක් අතකින් මෛත්‍රී ඇමතිතුමා සජිත් සමග ඉතා හොඳ සබඳතාවක් ගොඩනගාත් අතර අනෙක් අතට මෙම කට කථාවලින් බේරීමේ එක් උපක්‍රමයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද කොළඹින් බැහැරව හම්බන්තොට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලම නිමග්න විය.


කෙසේ වෙතත් සජිත් ආණ්ඩුවට එක්වීමට යන බවට වූ ප්‍රබල කට කතාව හමුවේ දෙසැම්බර් 27 වැනි දින සජිත් ප්‍රේමදාස මහතා ශිරාල්ගේ බත්තරමුල්ල ජයන්තිපුර නිවසට පැමිණියේය. මෛත්‍රී ඇමතිතුමාගේ පාර්ශ්වයෙන් පරණවිතාන එහි ගියේය. 


පැතිර යන මෙම කට කථාව පොදු අපේක්ෂක මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ගෙන දෙන බාධාව පිළිබඳව ඔවුහු එහිදී සාකච්ඡා කළහ. තවද, එහිදී සජිත් ප්‍රේමදාස මහතා තමා මෙම අවස්ථාවේද එවැනි අඥාන තීරණයක් ගැනීමට සිහිනෙකින්වත් සිතා නොමැති බව පවසා තිබුණි.

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

දයාසිරිගේ ඉල්ලුම

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 429 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1345 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 344 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site