IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තිස්සගේ හුදකලාව

ජනාධිපතිවරණයට සමගාමීව එජාප සම්මේලනයක් දෙසැම්බර් 6 වැනිදා සිරිකොතදී පැවැත්විණි. එහිදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් තිස්ස අත්තනායක මහතා කථා කරන අතරතුරදී බාධා කිරීමට හා අවශ්‍ය නම් උසුළු විසුළු කිරීම සඳහා 250 ක පමණ පිරිසක් උතුරු කොළඹ ප්‍රදේශයෙන් පැමිණ සිටින බව විපක්ෂ නායකතුමාගේ ආරක්ෂක නිලධාරියකු හදිසියේම පැමිණ එතුමාට පැවසීය. ඒ වන විට එම ස්ථානයේ තිස්ස අත්තනායක මහතා ද සිටියේය.

මෙම සිද්ධිය අසා තිස්ස අත්තනායක මහතාද තරමක් කලබලයට පත්වූ අතර මේ පිළිබඳ වික්‍රමසිංහ මහතා රවී කරුණානායක මහතාගෙන් විමසූ කල රවි එවැනි පිරිසක් තමා මෙම රැස්වීමට ගෙනා බවත් එලෙස ඔවුන් ගෙන ආවේ හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් යම් සහයෝගයක් ලබාගැනීම වෙනුවෙන් බවත් විවෘතවම පිළිගත්තේය.


විශේෂයෙන්ම මෙම සම්මේලනයේදී ද පොදු අපේක්ෂකයාගේ අභිමානය, ගෞරවය හා විශ්වාසය පළුදුවන ආකාරයෙන් තිස්ස අත්තනායක මහතා යම් ප්‍රකාශයක් කරනු ඇති බවට මේ වන විට පොදු අපේක්‍ෂක ව්‍යාපාරයට පූර්ණ වශයෙන් කැපවූ පිරිස අතර යම් සැකයක් මතුව තිබිණි. කෙසේ වෙතත් තිස්සගේ කථාවට කිසිවකුත් බාධා කළේ නැත. සම්මේලනය සාමකාමීව අවසන්විය.
මෙම සිදුවීමත් සමග තිස්ස අත්තනායක මහතා පක්ෂය තුළ හුදකලා වී ඇති ස්වාභාවයක් ඔහුටම දැනෙන්නට ඇත. තවද, පක්ෂයත් රටත් ප්‍රශ්න කිරීමකින් තොරව ඒකාත්මිකව පොදු අපේක්ෂකයා වැලඳ ගනිමින් සිටින ආකාරය පක්ෂ සම්මේලනය තුළින් ඔහුට දැකගත හැකිවිය. මෙවන් සන්දර්භයක් තුළ තිස්ස අත්තනායක මහතා එදිනම එනම් දෙසැම්බර් 6 වැනිදා සවස මහනුවර තම නිවස බලා පිටත්විය. ඒ වන විටත් ඔහු තම තීරණය ගෙන හමාර සේය. විශේෂයෙන්ම පොදු අපේක්ෂක ව්‍යාපාරයට අකමැති වූ තිස්ස හා පොදු අපේක්‍ෂක ව්‍යාපාර යථාර්ථයක් බවට පත්කළ රවී, මංගල ඇතුළු පිරිසගේ සීතල යුද්ධයෙන් තිස්ස සමස්ත රට ඉදිරියේම පරාජයට පත්වෙමින් සිටින පැය කිහිපයකි මේ. මේ අතර 7 වැනිදා රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතා තිස්සට කථාකොට නාමයෝජනා බාරදෙන  අවස්ථාවට තිස්ස ඔබ සහභාගි විය යුතු යැයි පැවසීය. එවිට තිස්සගේ පිළිතුර වූයේ ‘සර් මට ඇතුළට යන්න පාස් එකක්වත් දීල නෑ. මම පක්ෂයේ ලේකම් වුණාට’ යනුවෙන් පවසද්දී වික්‍රමසිංහ මහතාගේ පිළිතුර වූයේ ‘ඕක කරන්නේ රවි, මටත් එවල තිබුණේ නෑ. මම දැන් කියන්නම් ඔයාට පාස් එකක් ලැබෙන්න සලස්වන්න කියල’ යනුවෙන් පැවසීය. එහෙත් තිස්ස කියා සිටියේ තමා 8 වැනිදා මහනුවරම  සිටීමට තීරණයකර ඇති බවයි. ඉන් සුළු වේලාවකට පසුව මෛත්‍රී ඇමතිතුමාද තිස්සට කථා කළේය. එතුමා තිස්සට කියා සිටියේ හෙට පෙරවරුවේ මැතිවරණ ලේකම් කාර්යාලයට තමා සමග එක්ව යාමට පැමිණෙන ලෙසයි. නමුත් එම ආරාධනයද අසාර්ථක විය. මේ දෙසැම්බර් 7 වැනිදා රාත්‍රියයි. ඊට පෙර දින රාත්‍රියේ එනම් 6 වැනිදා රාත්‍රියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා තිස්ස අත්තනායක මහතා අතර තීරණාත්මක දුරකථන සංවාදයක් සිදුවී අවසන්ය.


සැබවින්ම ජනාධිපතිවරණය ජයගැනීමට එජාපය සතුව කිසිදු ප්‍රායෝගික වැඩ පිළිවෙළක් නොමැති බව හොඳින්ම දැන සිටියේ තිස්ස අත්තනායක මහතාමය. ඔහු පක්ෂයේ මහ ලේකම්වරයාය. ඒ වනවිට පක්ෂය තුළ වික්‍රමසිංහ මහතාට සිටි ප්‍රබලම ජ්‍යෙෂ්ඨ හිතවතා ඔහුය. තමා වෙනුවෙන් වගකීමෙන් වැඩක් පැවරීමට වික්‍රමසිංහ මහතාට සිටි එකම විශ්වාසවන්තයා ද තිස්ස පමණක් බඳුය. මෙවන් සන්දර්භයක් තුළ තිස්සගේ ඇගැයීම වන්නට ඇත්තේ තමන් නොමැති එජාපය ජනාධිපතිවරණයක් නොව ප්‍රාදේශීය සභාවකින්වත් දිනීමට සමත් නොවනු ඇති බවයි.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමෙන් පසුව තම කාර්යාලයේ සිටි තිස්ස අත්තනායක මහතා අතට ලිපියක් පත්විය. එය කියවා බැලූ ඔහුට එය මැතිවරණයට වැඩ ගතහැකි ලියවිල්ලක් බව ක්ෂණිකව තේරුම් ගියේය. එම ලිපිය නම් මෛත්‍රී ඇමතිතුමා හා රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග අත්සන් කළ එකඟතා ගිවිසුමක ඡායා පිටපතකි. මෙම ඡායා පිටපත අතට ගත් තිස්ස අත්තනායක මහතා හැකි ඉක්මනින් මාධ්‍ය හමුවට ගොස් තමා මහ ලේකම් ධුරය දැරූ අවස්ථාවේදී තමා ඉදිරිපිට අත්සන් කළ ගිවිසුමක පිටපතක් බවට එය හුවාදක්වමින් මාධ්‍ය ඉදිරියෙහි කථා කළේය. සැබවින්ම තිස්ස අත්තනායක මහතා සතුව තිබූ මේ හා සම්බන්ධ එකම ලියවිල්ල වූයේද එම ඡායා පිටපත පමණි.


විශේෂයෙන්ම සම්බන්ධන් මහතා සමග පැවති සාකච්ඡාවල දී වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක මහතාව ඊට සම්බන්ධ කරගත්තේ නැත. එනම්, එවැනි සාකච්ඡා වට කිහිපයක්ම දෙමළ ජාතික සන්ධානයත් සමග ඔක්තෝබර් මාසයේ සිට පැවති අතර වික්‍රමසිංහ මහතා හා මලික් සමරවික්‍රම මහතා පමණක් එජාපය දෙසින් ඊට අමතරව චන්ද්‍රිකා මැතිනිය ද සහභාගි වූහ. මේ අනුව දෙවරක් නොසිතාම තිස්ස අත්තනායක මහතාගේ සිතට නැගුණේ තමා මගහැර පැවැත් වූ සාකච්ඡාවලදී මෙම ගිවිසුමට එළැඹෙන්නට ඇති බවයි. කෙසේ වෙතත් තමාගේ අතට අහම්බෙන් මෙන් පත් වූ මෙම ඡායා පිටපත රැගෙන මාධ්‍ය ඉදිරියට ගොස් ඇතිකළ අවුල පිළිබඳ තිස්ස අත්තනායක මහතා ඉන්පසු කලෙක පවා එය දකින්නේ තමා කළ තවත් අත්වරදක් ලෙසටය.

 

 

 

 

 


සකස් කළේ : 

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

තිස්සගේ හුදකලාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site