IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


“ඩුප්ලිකේට්” සිරිසේන මතුවෙයි

විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථානයට යන අතරතුර රූපවාහිනී කැමරා ඉදිරියේ එතුමා සිනාමුසු මුහුණින් සැරසී සිටීමට මහත් ආයාසයක් දැරුවද 2005 ජනාධිපතිවරණ දින මෙන්ම නැවත 2010 ජනවාරි 26 දින එතුමා ඡන්දය භාවිත කිරීමට පැමිණි අවස්ථාවේදී දැකගත හැකි අව්‍යාජ වූ විශ්වසනීය සිනාමුසු මුහුණ එදින එතුමා තුළින් දිස් නොවීය. ඡන්දය භාවිත කිරීමෙන් පසු එතුමා නැවත කොළඹ පැමිණියේය. 


උදාවන රාත්‍රියේ ප්‍රකාශ වීමට නියමිත ඡන්ද ප්‍රතිඵල පිළිබඳ 100%කම විශ්වාසයක් නොමැත්තා සේය. එතුමාගේ සියලු ඉරියව් පිළිබඳ පූර්ණ සවිඥානක අරලියගහ මැදුරේ ළඟ හිතවතුන්ට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මානසික වියවුල පිළිබඳ යම් ඉඟියක් ඒ වනවිටත් පෙනී ගොස් තිබිණි. කෙසේ වෙතත් දහවල් වන විට ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රකාශයට පත්වන ඡන්ද ප්‍රතිශතය හා ඉන් ජනාධිපතිතුමාට අවම වශයෙන් හිමිවන බවට ගණනය කළ ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විටින් විට විමසා බැලීය. මැතිවරණය ප්‍රකාශයට පත්වූ දින සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු බලාපොරොත්තු වූ ආකාරයට උපරිම අයුරින් සිදු කිරීමට දිගින් දිගටම බාධා ඇතිවිය. 


මහා පරිමාණ නායයෑම්, ගංවතුර, වර්ෂාවෙන් රැස්වීම් හා ප්‍රචාරක කටයුතුවලට බාධා ඇතිවීම් නිරන්තරයෙන්ම සිදුවිය. විශේෂයෙන්ම මෙලෙස ස්වාභාවික විපත් මගින් ඇතිවූ බලපෑම පොදු අපේක්‍ෂකයාට වඩා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට කළ බලපෑම අතිවිශාලය. එය එසේ වුවත් ජනවාරි 08 දිනයේදී පවා බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා වටා සිටි විශ්වවිද්‍යාල විද්වත් ප්‍රජාවගේ විශ්වාසය වූයේ වැඩි ඡන්ද මිලියන 1.5කට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජයගන්නා බවකි. 


මේ අතර මෛත්‍රී ඇමතිතුමා සිය ඡන්දය භාවිත කළේ පොළොන්නරුව ශ්‍රී විද්‍යාලෝක විද්‍යාලයේය. ඉන් අනතුරුව රැස්ව සිටි මාධ්‍යකරුවන් අමතමින් එතුමා ප්‍රකාශ කළේ ‘කිසිවකුට වෛර නොකරමි, රටේ යහපාලනය ඇති කරමි’ යන වැකියයි. කෙසේ වෙතත් එතැන් සිට එළඹෙන පැය 16 - 18 ක කාලයක් තුළ මේ දෙදෙනාගෙන් එක් අයකු ඊළඟ වසර 06 සඳහා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන මැතිවරණ ප්‍රතිඵලයේ දළ අදහසක් රටට ලැබීමට නියමිත විය. 


විශේෂයෙන්ම ජනවාරි 06 සහ 07 වනවිටත් අරලියගහ මැදුරෙන් ලැබුණු සමහර තොරතුරුවලට අනුව පරාජයට මුහුණ දීමට අවශ්‍ය යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් පැවතිණි. ජනවාරි 05 වැනිදායින් පසුව විශ්‍රාම ගිය හා සේවය අහිමිවූ පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් කිහිප දෙනක් පූර්ණකාලීනව විජේරාම නිවෙස තුළ පැය 24 පුරාම දුරකථන අතැතිව සිටියහ. ඔවුන්ට මොහොතින් මොහොත අරලියගහ මැදුරත්, එම පාර්ශ්වයේ ක්‍රියාකාරකම් පිළිබඳවත් විස්තර ලැබෙමින් පැවතිණි. ඔවුන්ට අනුව 10 වැනිදා බැසිල් රාජපක්‍ෂ මහතා රටින් පිටවීමට අදාළ ගුවන් ටිකට්පතේ ඡායා පිටපතක් එක් ස්මාර්ට් ජංගම දුරකථනයක විය. එලෙසම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හා පවුලේ සාමාජිකයන් මිලදීගෙන තිබූ මාලදිවයිනට යාම සඳහා වන ගුවන් ටිකට්පත් ද අපට දැක ගැනීමට හැකිවිය. සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් 07 වැනිදා අපට දැක ගැනීමට හැකිවූ තවත් එවැනිම ඡායාරූපයක දැක්වුණේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ දෙකක් සිංගප්පූරුව බලා යාමට නියමිත ගුවන්යානයකට පටවන ආකාරයයි. 


මෙවැනි වූ විස්තර එකින් එක අප වෙත ලැබෙමින් පැවතීම හමුවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජයට සූදානමින් සිටින බවට ඉඟි පළවීමත් සමගම අපගේ මූලික තර්කය ශ්‍රී ලංකා බිමේ යථාර්ථයක් වන බවට සෑම දෙසින්ම සේයා දිස්විය. අපගේ විග්‍රහය දහ දොළොස් වරක් බලා තිබුණු ඩිව් ඇමතිතුමා සියල්ල අවසානයේ ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසුව පාවිච්චියට මෝටර් රථයක් මිලදී ගැනීමට සැරසීම පිළිබඳ පුවතද අතිශය සුබවාදී පෙරමඟ ලකුණකි. එතුමාගේ තීක්ෂණ දැනුම, බුද්ධිය හා දේශපාලන පරිචය එක්කර ඔහු විසින්ම බැස ඇති නිගමනය කිසිදා වැරදිය නොහැක.


ජනවාරි 08 වැනිදා රටේ සෑම දෙසකින්ම ලැබුණු වාර්තා මගින් කියැවුණේ හංසයාටද ඡන්දය එකට එකක් වැටෙන බවකි. සිංහල බහුතරය වෙසෙන මැතිවරණ කොට්ඨාසවලදී අවුරුදු 18 - 40 වයස් කාණ්ඩවල ඡන්දය හංසයාට බරය. වයස 40ට වඩා වැඩි ඡන්ද දායකයන්ගේ හා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඡන්දය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට වැඩි නැඹුරුවක් දැක්වීය. සැබවින්ම සිංහල සමාජයේ කාන්තා ඡන්දයේ බහුතරය මහින්ද ජනාධිපතිතුමාටය. එය 2010 ජනාධිපතිවරණයේදී ද එලෙසමය. දේශපාලනයට වඩා එහා ගිය සාමාන්‍ය මනෝවිද්‍යාත්මක කරුණක් ඒ තුළ අන්තර්ගතය. උඩරැවුලකින් හෙබි, ආරෝහ පරිණාහ දේහධාරී, ප්‍රභාකරන් පරදා නූතන ශ්‍රී ලංකාවේ මහ රජාණන්ට ඇඳි මහින්ද මහත්තයාට මෛත්‍රී ඇමතිතුමාට වඩා කාන්තා ආකර්ෂණය ගලායාම සරල මනෝවිද්‍යාවෙන් හේතු දැක්විය හැකි කරුණකි. මීට පෙර 2010 මැතිවරණ දිනයේදී චම්පික ඇමතිතුමා කියූ කුස්සිය ඉස්සරහට ඒම පිළිබඳ කථාවද මෙයයි.


මැතිවරණ දිනයේ අප මුහුණ දුන් ප්‍රධානතම ප්‍රශ්නය වූයේ උතුරේ හා නැගෙනහිර ඡන්දය දැමීමේ ප්‍රතිශතය කුමන අගයක් ගනීද යන ප්‍රශ්නයයි. ඊට දින දෙක තුනක සිටම ලැබුණු සමහර වාර්තාවලින් කියැවුණේ උතුරේ ඡන්දය ප්‍රකාශ වීම අවම කිරීම ඉලක්ක කර ගනිමින් කඩාකප්පල්කාරී ක්‍රියාමාලාවක් හමුදාවේ යම් යම් පිරිස් සංවිධානය කරමින් සිටින බවකි. මෙහි එක්තරා ප්‍රචාරාත්මක අංගයක් ද විය. උතුරේ ඡන්ද භාවිතය අවම වීම යන පුවත මතම දකුණේ මහින්දවාදී බලවේග තෘප්තිමත්වනු ඇත.


උතුරේ ඡන්දය කඩාකප්පල් කිරීම යන කටකතාව, සමහරවිට එම අරමුණෙන් යුතුව දකුණේ ජනමතය උත්තේජනය කිරීමට ගත් මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් ද විය හැක. 


එහෙත් යුද හමුදාපතිවරයා උඩුවේ ධම්මාලෝක හිමියන් සමඟ සිවුරට හා සුදුවතට මුවාවී ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතුවල යෙදෙන රටක මෙවැනි කටකතා ද බැහැර කළ නොහැකිය. පැතිරයමින් තිබූ කටකතාවලට අනුව කියැවුණේ 08 වැනිදා උදෑසනම උතුරේ ස්ථාන කීපයක බෝම්බ පුපුරා යනු ඇති බවයි. මෙම කටකතාවලට අනුව යමින් අපද ජනවාරි 07 වැනිදා නිවේදනයක් සකස් කරමින් මෙවැනි උත්සාහයකට ආණ්ඩුව අරඅදින බව රටටත් ලෝකයටත් හෙළි කළෙමු.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

“ඩුප්ලිකේට්” සිරිසේන මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site