IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


චම්පික දුන් වධය

පෙරදින රාත්‍රියේ චන්ද්‍රිකා මැතිනිය මගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කළාය. එය ආචාර්ය හර්ෂගේ අවධානයට ද යොමුවන බව මම දුටුවෙමි. කෙසේ වෙතත් පසුදින ඉහත කමිටු රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා පෙරදින රාත්‍රියේ දී චන්ද්‍රිකා මැතිනිය විමසා සිටි ආකාරයෙන්ම “මලිත් ඔයාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියනවා. ඒ ගැන වහාම පියවරක් ගන්න” යනුවෙන් පැවසීය. විපක්‍ෂ නායකතුමා එවැන්නක් ප්‍රකාශ කළ ද මගේ ආරක්‍ෂාව පිළිබඳ මට සිතීමට වේලාවක් නොවීය.


මේ අතර චම්පික ඇමතිතුමා මට කියා සිටියේ වහාම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැදීමේ කාර්යය අද ආරම්භ කළ යුතුව ඇති බවයි. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ඉහත විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුව තුළ ද ඒ වන විට දින දෙක තුනක සිටම කථාබහට ලක්ව තිබුණු. ඒ පිළිබඳ සිතමින් සිටි මට පසුදින නැවත කථාකළ චම්පික ඇමැතිතුමා තිඹිරිගස්යාය ප්‍රධාන කාර්යාලයේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් වහාම සැදිය යුතු බවද කියා සිටියේය. ඒ අනුව මම ඊට ප්‍රමුඛත්වය ලබාදුනිමි. දැන් දැන් මගේ මොළය ‘ජෑම්’ වී ගෙන යයි. මේ ක්‍රියාකාරි සැලැස්ම සැදීමට මගේ නිවසට එන ලෙස හරේන්ද්‍රට දැන්වීමි. ඔහු ඒ වන විට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කළේය.


චම්පික ඇමතිතුමා බලාපොරොත්තු වූ ආකාරයටම තිඹිරිගස්යාය කාර්යාලය සඳහා පූර්ණ ක්‍රියාකාරි සැලැස්මක් අප දෙදෙනා සැකසූ අතර ්3 කඩදාසිවල එහි පිටපත් ගනු ලැබීය. ඒ සමගම මෛත්‍රි පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය ද හරේන්ද්‍රත් මමත් රාත්‍රි දෙකක් පුරා මගේ නිවසේ සිට ලිවීම මේ වන විටත් ආරම්භකර තිබුණි. ඒ සඳහා ඉහත විපක්‍ෂ නායක කාර්යාලයේ දී පැවැත්වෙන කමිටු රැස්වීමේ දී පැමිණි යෝජනා හා එකඟතාවන් ද මා හට මහෝපකාරී වූ අතර එජාප දෙසින් වූ යෝජනා සැකසීම බාරව සිටියේ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකය.


මේ අතර හරේන්ද්‍ර හා මා සැකසූ තිඹිරිගස්යාය ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ පළමු රැස්වීම පැවැත්වීමට දිනය හා වේලාව නියමවිය. ඒ අනුව ඊට සහභාගි වන සියලු දෙනාටම පළමු රැස්වීමට සහභාගි වන ලෙස ආරාධනා කළේ ද මා විසින්මය. නියමිත දිනයේ රැස්වීම යොදා තිබූ වේලාව ආසන්න වෙත්ම මාගේ දුරකථනයට කථා කළ උදය ගම්මන්පිල මහතා තිඹිරිගස්යාය කාර්යාලය පිහිටා තිබෙන ස්ථානය පිළිබඳ විමසීය. “මලිත් අවුරුදු ගාණක් රියැදුරොයි පොලිස්කාරයොයි අපේ උදව්වට ඉඳල ඒවට හුරුවෙලා හිටපු අපිට දැන් තනියෙන් ඩ්‍රයිව් කරමින් පාරවල් හොයන්න බෑ” යනුවෙන් ඔහු මට පැවසීය.


කෙසේ වෙතත් මෙම රැස්වීම සඳහා චම්පික, රාජිත ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර ඉන් බහුතරය හෙළ උරුම ක්‍රියාකාරින්ය. උදය, නිශාන්ත වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ උදහසට ලක්ව සිටි මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක ද ඒ අතර සිටියහ. අප විසින් සැකසූ ්3 පරිමාණයේ ක්‍රියාකාරී සැලැස්ම ඊට සහභාගි වූ සියලු දෙනා අතර බෙදාහැරි අතර චම්පික ඇමැතිතුමාගේ යෝජනාව වූයේ පසුදින අලුයම 5.00ට මෙම කමිටුව පළමුවරට එම කාර්යාලයේදීම රැස්විය යුතු බවයි. තවද අප ඉහත ක්‍රියාකාරී සැලැස්ම තුළ කමිටු ගණනාවක්ම යෝජනාකර තිබූ අතර එම කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීමේ දී එජාපයේ හා සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයේ නියෝජිතයින් නම්කර එවන ලෙසට එම පක්‍ෂවලට දන්වා යැවීය. නමුත් එජාපය දෙසින් ඊට සාර්ථක පිළිතුරක් නොලැබුණු අතර ඊට ප්‍රධානම හේතුව වූයේ ශිරාල්ගේ හා මෛත්‍රී ගුණරත්නගේ නම් අප යෝජනාකර තිබීම වන්නට ඇත. විශේෂයෙන්ම මෙම රැස්වීමේදී අප විසින් ඒකමතිකව උදය ගම්මන්පිල මහතා තිඹිරිගස්යාය කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරටද පත්කරගත් අතර ඔහු එම තනතුර ඉතා සතුටින් බාරගත් ආකාරයක් නිරූපණය කළේය.


මේ අනුව යොදාගත් පරිදි පසුදින උදෑසන 5.00 ට පමණ හරේන්ද්‍රත් මමත් පළමු රැස්වීම සඳහා තිඹිරිගස්යාය කාර්යාලයට ගියෙමු. එහෙත් ඊට පෙර රාත්‍රියේ අලුයම 3.00 පමණ වනතුරුම අප දෙදෙනා මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිවීමේ කටයුත්තේ නිමග්නව සිටියෙමු. එලෙස රාත්‍රිය පහන්වන තුරුම එම කාර්යයේ නිරත වූයේ චම්පික ඇමැතිතුමා පැයෙන් පැයට මා හට කථාකරමින් ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසීමේ කාර්ය අනවශ්‍ය හදිසි කටයුත්තක් බවට පත්කළ නිසාය. එහි තවත් පියවරක් ඉදිරියට යමින් අලුයම 5.00 රැස්වීම අවසන්වීමත් සමගම චම්පික ඇමතිතුමා කියා  සිටියේ දවල් 12.00 පමණ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු පිටපත රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු නිසා කෙසේ හෝ එය අවසන් කරන ලෙසය. චම්පික ඇමැතිතුමා දක්වන්නේ අනවශ්‍ය හදිසියක් බව මට හොඳින් වැටහේ. ඔහු නිවැරදි කරදීමට මට අවශ්‍ය නැත. මේ වන විට මා තුළ ඔහු කෙරෙහි සියුම් කේන්තියක් හටගෙන හමාරය. පෙරදින රාත්‍රියේ ද සම්පූර්ණයෙන්ම නිදිවර්ජිතව සිටි මා යම් මානසික විඩාවකට පත්ව සිටින බව අනුරුද්ධ ප්‍රදීප්ට ඉවෙන් මෙන් දැනුණා වැන්න. චම්පික ඇමැතිතුමාගේ අනවශ්‍ය හදිසිය පිළිබඳව මාගේ කනස්සල්ල මම අනුරුද්ධට කීවෙමි. මේ වනවිට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දළ සැකැස්ම සමග අන්තර්ගතයේ බොහෝ දේ හරේන්ද්‍රත් මමත් ගොඩනගා හමාරය.


අලුයම 5 රැස්වීම නිමවූ පසු හරේන්ද්‍ර අනුරුද්ධ හා ශිරාල් සමග මා මේ අනුව කෙළින්ම ගියේ චම්පික ඇමතිතුමාගේ පාමංකඩ නිවසටය. සන්ධාන ආණ්ඩුවේ ඇමැති ධුරයෙන් නොවැම්බර් 19 වැනිදා ඉවත් වූ චම්පික ඇමැතිතුමා මේ වන විට පදිංචිව සිටියේ පාමංකඩ නිවසකය. ඒ අනුව චම්පික ඇමැතිතුමාගේ නිවසට ගිය අපි හතරදෙනා එක්ව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩුලුහුඩුකම් හා ඒ වන විට යෝජනා වී තිබූ වෙනත් අදහස් සමග ඒ ඒ පරිච්ඡෙද සඳහා උප මාතෘකා යෙදීම ආරම්භ කෙරිණ. සියල්ල ක්ෂණිකව ටයිප්වන්නේ හරේන්ද්‍රගේ සුරතින් ඔහු සතු කුඩා ලැප්ටොප් යන්ත්‍රයෙනි. එසේ අපි වැඩ කරන අතරතුර ද වරින්වර චම්පික ඇමතිතුමා කොහේදෝ සිට මට කථාකරමින් වැඬේ ඉක්මන් කරන ලෙසට අනවශ්‍ය පීඩනයක් එල්ලකරයි. ජනාධිපතිවරණයේ දී නිසැක වශයෙන්ම ජය ලබන අපගේ අනාගත ප්‍රතිපත්තිය මෙලෙස අනවශ්‍ය හදිසියක ගිලී සිදුකිරීම මුග්ධ ක්‍රියාවක් බව මම නැවත වරක් අපගේ කණ්ඩායමට කියා සිටියෙමි. චම්පික ඇමැතිතුමාගෙන් එල්ලවන අනවශ්‍ය පීඩනය තුළ ‘මට මල පැන ඇති බව’ මම ඔවුන්ට කියා සිටියෙමි.

 

මේ අතර චම්පික ඇමැතිතුමාගේ නිවසේ සිට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික සැකැස්ම සකසමින් අප අතර සිටි අනුරුද්ධ වෙත විනාඩි කිහිපයක් තුළ දුරකථන ඇමතුම් ගණනාවක්ම ලැබුණු අතර මා අසල සිටි අනුරුද්ධගේ ජංගම දුරකථනයට ඇමතුම පැමිණියේ චම්පික ඇමතිතුමාගෙන් වියයුතු බව මට ඉවෙන් මෙන් දැනුණි. ඒ අනුරුද්ධ ඊට ප්‍රතිචාර දක්වන ආකාරයෙනි. මේ අනුව හදිසියේම අවුල් වූ අනුරුද්ධ ‘මචං මට දෙකට ලෙක්චර් එකක් තියනවා’ යැයි විදුලි වේගයෙන් අපගෙන් ඉවත් විය.


එතැන් සිට අනුරුද්ධ තම මෝටර් රථයේ උපරිම වේගයෙන් ගියේ බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලය වෙතය. එහි ගිය අනුරුද්ධ චම්පික ඇමතිතුමා සාමාන්‍යයෙන් අසුන්ගන්නා ඔහුගේ පුටුවේ ඇමතිතුමාද ඊට මඳක් ඈතින් සිටිනා ආකාරයක් දැකගත හැකිවිය. ඒ අනුව කාරයේ වූ තවත් පුටුවක අනුරුද්ධ අසුන් ගන්නවාත් සමගම ඇමති චම්පික අනුරුද්ධට කියා සිටියේ ‘අනුරුද්ධ උදය කියනව ජනාධිපතිවරණයේදී උදයට පොඞ්ඩක් නිශ්ශබ්දව ඉන්න ඕන කියල’ යනුවෙන් පැවසීය. ඉතාමත් හෘදයාංගම ආකාරයකින් සිදු වූ මෙම තීරණාත්මක සාකච්ඡාව තුළ ඉතා සංයමයෙන් කථා කළ චම්පික ඇමතිතුමා මෙසේ යෝජනා කළේය. ‘මල්ලි ඔයා දැන් හරි හිතනව නම් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දෙන්න අපි ගත්ත තීරණය වැරදියි කියල දැන් අපිට පුළුවන් ‘ප්‍රෙස්’ එකක් තියල කියන්න මේ මේ දේවල් හින්ද අපි පොදු අපේක්‍ෂකයාට සහයෝගය දෙන්නේ නෑ. අපි මේ මැතිවරණයේ දී කිසිදු පාර්ශ්වයකට සහයෝගය දෙන්නේ නෑ’ යනුවෙන් පැවසීය. තවදුරටත් කථාකළ චම්පික ඇමතිතුමා අපිට මේ මොහොතේ වැදගත්වන්නේ පක්‍ෂය එකට තියාගන්න එක පමණයි’ යනුවෙන්  අවධාරණය කළේය.


නමුත් ඊට උදයගේ පිළිතුර වූයේ ‘නෑ චම්පික අයියේ ඔයයි’ රතන හාමුදුරුවොයි ගොඩක් දුර ගිහින් තියෙන්නේ. ඕගොල්ලො ආයි හැරෙන්න ඕන නෑ. මම පොඞ්ඩක් නිශ්ශබ්දව ඉන්නම්’ යන්නය. ඒ සමගම උදය තමා අසනීපයෙන් පෙළෙන බව ඔවුන්ට ඇඟවිය. චම්පික ඇමතිතුමාටද යොදාගත් වෙනත් කාර්යයක් විය. ඒ අනුව අනුරුද්ධගේ යෝජනාව වූයේ ‘නැවත අපි රෑ 9.00 ට පමණ චම්පික අයියලාගේ ගෙදර දී මුණගැසෙමු’ කියාය.
යොදාගත් පරිදි රාත්‍රි 9.00 ට උදය, චම්පික ඇමැතිතුමාගේ පාමංකඩ නිවසට පැමිණියේය. ඔහු පැමිණි ඩබල්කැබ් රථය පැදවූයේ බිරිඳ දිනේෂා විසිනි. මෙම සාකච්ඡාව සඳහා චම්පික අනුරුද්ධ, උදය සමග නිශාන්ත ද එක් වූහ. ඊට පෙර රාත්‍රි 8.00 ට පමණ රතන හාමුදුරුවෝ උදය මුණගැසීමේ අරමුණින් ඔහුගේ නිවසට වැඩියහ.


කෙසේ වෙතත් උදයගේ බිරිඳ දිනේෂා රතන හාමුදුරුවන්ට පැවසුවේ උදය රෝගී තත්ත්වයෙන් පෙළෙන නිසාවෙන් ඔහු දැඩි නින්දට වැටී සිටින බවකි. කෙසේ වෙතත් උදය නැගිටිනු ඇතැයි සිතා රතන හාමුදුරුවෝ විනාඩි 30 කට ආසන්න කාලයක් එහි අසුන්ගෙන සිටියත් ඔහු අවදිවන බවක් නොපෙනුණු හෙයින් රතන හාමුදුරුවෝ ආපසු වැඩියහ. 


එහෙත් රතන හිමියන් පිටවී ගිය වහාම උදයත් බිරිඳත් චම්පිකගේ නිවසට පැමිණීම සඳහා පිටත් වූහ. චම්පික ඇමතිතුමාගේ නිවස ඉදිරිපිට තම රියැදුරු අසුනේ රැඳී සිටි දිනේෂාට නිවස තුළට පැමිණෙන ලෙස අනුරුද්ධ පැමිණ ආරාධනය කළ ද ඇය එය  ප්‍රතික්‍ෂේප කළාය.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

චම්පික දුන් වධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site