IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකා කැලඹූ මහින්ද විරෝධය

2013 වසරේ සැප්තැම්බර් 27 වැනිදා බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා අභාවප්‍රාප්ත විය. බර්ටි ඇමතිතුමාගේ මරණයත් ඊට සමගාමී අවමඟුල් උත්සවයක් ඉහත දේශපාලන වටපිටාව තවදුරටත් ගොඩගැනීමට අවැසි මහඟු පිටුබලයක් ඒ වන විට නිර්මාණය කර තිබුණි. බර්ටි ඇමතිතුමා අභාවප්‍රාප්තවීමට දින දෙකකට පෙර චන්ද්‍රිකා මැතිනිය ‘සෙන්ට්‍රල්’ පෞද්ගලික රෝහලට පැමිණියාය.

 

ඒ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බර්ටි ඇමතිතුමා චන්ද්‍රිකා මැතිනිය දැකීමෙන් මහත් සතුටට පත්ව ඇඳෙන් නැගිටීමට පවා උත්සාහ දැරීය. එතුමාගේ දෑස කඳුළින් තෙත්විය. චන්ද්‍රිකා මැතිනිය බර්ටි ඇමැතිතුමාගේ අවමඟුල් උත්සවයට ගියේ රාත්‍රියකය. ඒ අවස්ථාවේදී එහි සිටි පිරිස චන්ද්‍රිකා මැතිනිය වටා රොක්වෙමින් නැවත දේශපාලනයට පැමිණ ශ්‍රීලනිපය බේරාගන්නා ලෙස මහ හඬින් ඇයගෙන් අයැද සිටියහ.


වෛද්‍යවරියක නොවූවද පොතපත පරීශීලනයෙන් ලද දැනුමෙන් සන්නද්ධ චන්ද්‍රිකා මැතිනිය බර්ටි ඇමැතිතුමාගේ බිරිඳ අමතමින් ඇය සිතන ආකාරයට බර්ටි ඇමැතිතුමාගේ රෝගී තත්ත්වය විග්‍රහ කළාය අනුරටත් වුණෙ ඔය දේමයි. යම් කෙනෙක් මානසිකව අධික ලෙස බිඳවැටුණු විට ඒ හේතුවෙන් උදරයේ යම් අවයව ඉදිමෙනවා. ඒ තත්ත්වය දිගින් දිගටම පැවතීම තුළ එය වෙනත් රෝගී තත්ත්වයක් බවට වර්ධනය වෙන බව වෛද්‍ය විද්‍යාවේ නවතම සොයා ගැනීමයි යනුවෙන් සවිස්තරාත්මකව ඇය එහිදී පැවසුවාය.
මේ අතර අවමඟුල් උත්සවයේදී කථාකළ දුමින්ද දිසානායක ඇමතිතුමා ‘ඉස්පිරිතාලේ දී චන්ද්‍රිකා මැඩම්ව දැක්ක අපේ තාත්තට යළිත් පණ ආව’ යැයි පැවසීය. කෙසේ වෙතත් මෙම අවස්ථාව වනවිට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සිටියේ විදෙස්ගතව බ්‍රසීලයේය. එතුමා බ්‍රසීලයේ සිට දුරකථන මගින් සම්බන්ධ කළ තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් අවමඟුල් සභාව ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළ ද ඊට දිසානායක පවුලෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.


බර්ටි ප්‍රේමලාල් මැතිතුමාගේ අවමඟුල් උත්සවය අවසන්වී අනුරාධපුර නගරයේ සිටි දිසාට එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන ඇමැතිතුමා මුණගැසුණි. ඔහු දිසාගෙන් එකවරම අසා සිටියේ ‘දැන්වත් මැඩම් එන්නේ නැද්ද එළියට. මට මොනව වුණත් රාජපක්‍ෂලාට විරුද්ධව මම එළියට එනවා’ යනුවෙන් ඔහු පැවසීය. තවද ඊට පෙර 2013 දී මෛත්‍රී ඇමතිතුමාගේ මව අභාවයට පත්වූ අතර ඒ වන විට චන්ද්‍රිකා මැතිනිය සිටියේ විදේශගතවය. එහෙත් ලන්ඩනයේ සිටි එතුමිය දිසා අමතමින් තමා වෙනුවෙන් මල්වඩමක් අවමඟුල් උත්සවයට රැගෙන යන ලෙස දිසාට දැන්වීය. සැබැවින්ම එම අවමඟුල් උත්සවයට ගෙනගිය චන්ද්‍රිකා මැතිනියගේ නමින් යුත් මල්වඩම දෙසද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට හිතවත් පිරිස බලා සිටියේ රකුසු ඇස් ඇතිවය.


2014 මාර්තු මාසයේ දී දකුණු හා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති අතර ඒ තුළ දේශපාලනය දන්නා විපක්‍ෂයේ බොහෝ දෙනෙක් අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තු ගොඩනඟා ගනිද්දී චන්ද්‍රිකා මැතිනිය යළිත් පී. දිසානායක මහතාට කියා සිටියේ මෛත්‍රීගේ අදහස කෙසේදැයි බලන ලෙසයි. ඒ අනුව නැවත දිසා මෛත්‍රී ඇමතිතුමා මුණගැසුණු අතර එහිදී කියා සිටියේ එයා සභාපති, මම ලේකම් ඕක කොහොමද කරන්නේ’ යනුවෙනි. ඊට වඩා වැඩි අදහසක් එහිදී ද ප්‍රකාශ නොවුණි.


එය එසේ වුවත් නැවතත් 2014 පොසොන් පොහොය දිනයේ දී ශෂිමාල් හා පී. දිසානායක මහතා මෛත්‍රී ඇමැතිතුමා මුණගැසීමට පොළොන්නරුව නිවසට ගියේ චන්ද්‍රිකා මැතිනියගේ පණිවුඩයක් රැගෙනය. ඔවුන් එහි යන විට මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද මෛත්‍රී ඇමතිතුමාගේ නිවසේ සිටීම හේතුවෙන් මහාචාර්යතුමා යනතුරු එම පියා සහ පුතු ඔහු මගහැර සිටියහ. මන්දයත් මහාචාර්යතුමාගේ සංජානනයට අනුව දිසා මෛත්‍රී ඇමතිතුමාගේ නිවසේ සිටීම තුළ චන්ද්‍රිකා මැතිනිය සමග කෙරෙන ගනුදෙනු පිළිබඳ මහාචාර්යතුමාට ඉව වැටිය හැකි නිසාය. මහාචාර්ය කාලෝ යනු දිවංගත විජය කුමාරතුංග මහතාගේ මාමා වන අතර ඒ වන විට මහාචාර්යතුමා මහින්ද රාජපක්‍ෂ සරණ ගොස් සිටි බව චන්ද්‍රිකා මැතිනිය විහිළුවට මෙන් කීවාය.


කෙසේ වෙතත් එම අවස්ථාවේදී මෛත්‍රී ඇමැතිතුමා කියා තිබුණේ සියලුදෙනාම සහයෝගය දෙනවා නම් පමණක් තමාට ඒ ගැන සිතා බැලිය හැකි බවයි. දිසා වහාම පැමිණ චන්ද්‍රිකා මැතිනියට එය දන්වා සිටියේ “මේ පාර නම් මෛත්‍රී ඇමතිතුමා හොඳ තැනක ඉන්නවා” යනුවෙනි. එතැන් පටන් පී. දිසානායක මහතා සහ ශෂිමාල් මෛත්‍රී ඇමතිතුමා මුණගැසීමට අවස්ථා කිහිපයකදීම පැමිණි අතර මෛත්‍රීපාල ඇමැතිතුමා දිසා එතුමාගේ විජේරාම නිවසට පැමිණෙනවාට වඩා සවස 5.30ත් පසුව අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දැන්වීය. මන්ද, මෙම වේලාව වනවිට අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රංජිත් ජයතිලක බැසිල් ඇමැතිතුමාගේ අමාත්‍යාංශයටද අනෙකුත් සාමාන්‍ය සේවකයන් නිවෙස් බලා ද යන නිසාය. තවද කොතරම් මිත්‍රත්වයක් තිබුණද ආරම්භයේදී දිසා තමා විසින් චන්ද්‍රිකා මැතිනියගේ යම් යම් පණිවුඩ මෛත්‍රී ඇමැතිතුමා වෙත ගෙනයන බව කිසිවකුටත් නොකීමට වගබලා ගත්තේය.
ඒ රහස රහසක් වශයෙන් තබාගත යුතු බවට චන්ද්‍රිකා මැතිනිය දිසාට තරයේ අවවාදකර තිබිණි.


මේ අතර සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම 2014 මාර්තු මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වීමට තීරණය වී තිබිණි. මේ පිළිබඳ චන්ද්‍රිකා මැතිනියගේ අදහස වූයේ තමන්ට හොඳ අවස්ථාවක් මේ තුළ උදාවන බවකි. නමුත් මෙම රැස්වීම අමාත්‍යාංශය තුළ පැවැත්වීමට අදාළ තීරණය අමාත්‍යාංශ ලේකම්ගේ හුදු තීරණයකි. අමාත්‍යාංශ ලේකම්ගේ මෙම තීරණය මෛත්‍රී ඇමැතිතුමා නොදැන සිටි අතර මෙවැනි රැස්වීමක් අමාත්‍යාංශයේ දී පැවැත්වෙන බවත් ඊට චන්ද්‍රිකා මැතිනිය ද සහභාගිවන බවත් මෛත්‍රී ඇමතිතුමා දැනගත්තේ ඊට පෙරදාය. කෙසේ වෙතත් ඇමැතිතුමා යොදාගත් කටයුත්තක් වෙනුවෙන් එදින කුරුණෑගලට ගොස් සිටි අතර අතිරේක ලේකම්වරයකුට දන්වා තිබුණේ චන්ද්‍රිකා මැතිනිය පැමිණි විට දුරකතන ඇමතුමක් ලබාදෙන ලෙසයි.


මේ අනුව නියමිත පරිදි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් සමග චන්ද්‍රිකා මැතිනිය සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණියාය. එහිදී අතිරේක ලේකම්වරයා මෛත්‍රී ඇමතිතුමා කියා තිබූ පරිදි ඔහුගේ දුරකථනයෙන්ම ඇමතුමක් ගෙන මෛත්‍රී ඇමැතිතුමා හා චන්ද්‍රිකා මැතිනිය සම්බන්ධ කරන ලදී. සංවාදය අරඹමින් මෛත්‍රී ඇමතිතුමා කියා සිටියේ ‘මැඩම් ඔය රැස්වීමට එන බව මම දැනගෙන හිටියේ නෑ’ යනුවෙනි. එයට පිළිතුරු දුන් චන්ද්‍රිකා මැතිනිය  ‘ඒකනෙ මම හිතුවේ ඔබතුමා රතු පලස් දාලා බෙර ගහල මාව පිළිගනී කියල’ යනුවෙනි. මෛත්‍රී ඇමතිතුමාගේ දෙසින් නැගුණේ මහත් සිනාවකි. කෙසේ වෙතත් එදින සංවාදය විනාඩි 2ක් පමණ කාලයකින් අවසන් වූයේ ‘පසුවට හමුවෙමු’ යන වැකියෙනි.


මේ අතර උපක්‍රමික දෘෂ්ටියකින් මේ දෙස බැලූ චන්ද්‍රිකා මැතිනිය මින්පසුව අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම අමාත්‍යාංශයේම පවත්වමු යැයි යෝජනා කළාය. එහි ඇති යටි අරමුණ වූයේ ඒ අවසරයෙන් මෛත්‍රී ඇමතිතුමා මුණගැසීමට අවස්ථාව ලබාගැනීමයි. ඒ අනුව මේ ආකාරයෙන් පැවැත්වූ තුන්වන අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම වන විට මෛත්‍රී ඇමතිතුමා කියා තිබුණේ එම රැස්වීම තම නිල කාමරයේම පවත්වන ලෙසයි. ඒ සමගම ‘මමත් ඕකට එන්නම්’ යනුවෙන්ද එතුමා පවසා තිබිණි. ඇමැතිතුමා ප්‍රකාශ කළ පරිදිම එම අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම සඳහා එතුමාද සහභාගි වූ අතර රෝහල් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුන අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමක් බවටද එය පත්විය.


කෙසේ වෙතත් මෙම රැස්වීම අවසන් වනතුරු නොඉවසිල්ලෙන් සිටි කුමාරතුංග මැතිනිය රැස්වීම අවසන් වූ වහාම අනෙක් පිරිස ඇමතිතුමාගේ කාමරයෙන් පිටමං කරවීමට උත්සුක වූවාය. ඒ අනුව එතුමිය අන් අයටත් පෙරම තම පුටුවෙන් නැගිට්ටාය. විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයතිලක හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා පළමුව කාමරයෙන් පිටමං කරගත යුතුය. ‘ඔයගොල්ලො යමු මම එන්නම්’ යන වැකිය නිතැතින්ම ඇයට කියවුණාය. ඊට අනුව ක්‍රමයෙන් සියලුදෙනාම ටික වේලාවක් තුළ කාමරයෙන් පිටවන අයුරු ඇය දුටුවාය.


ඒ සමගම ක්‍රියාත්මක වූ එතුමිය ‘ඇමතිතුමා මට පොඞ්ඩක් කථාකරන්න පුළුවන්ද?’ යන ප්‍රශ්නය ඇසුවේ උගුරටත් හොරා තරම් ඉතා පහත් ස්වරයකිනි. ක්ෂණිකව මෛත්‍රී ඇමතිතුමාගේ ප්‍රතිචාරය වූයේ ‘ඔව්., මැඩම්, මැඩම් ඉඳගන්නකො’ යන්නය. මම ඉඳගෙන ඔයා එක්ක කථාකළොත් හෙට උදේ වෙනකොට ඔයාගෙ ජොබ් එක ඉවරයි. ඒක හින්ද මම ඉඳගන්නෙ නෑ. හිටගෙනම කථාකරමු. අර ඔයාට පණිවුඩ ගේනවනෙ දිසා. ඒ පණිවුඩ 100% ක්ම ඇත්ත. මම දැන් පොදු පෙරමුණක් හදාගෙන යනව. අපි ඔයාව පොදු අපේක්ෂකය කරනව’ මීට මෛත්‍රී ඇමතිතුමා දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය වූයේ ‘ීඛත්‍ඡ. එකෙන් කී දෙනෙක් එනවාද? එවිට චන්ද්‍රිකා මැතිනිය කියා සිටියේ හතළිහක් විතර වෙයි කියලා දල අදහසක් තියෙනව. කොහොමටත් අන්තිමේදී 20ක් විතරක් ගන්න පුළුවන් වෙයි. ‘මුහුණට මුහුණ සිටගෙනම සිදුවූ මෙම සංවාදය අවසන් වූයේ ‘මම ඔයාව මොනම විදිහකටවත් පාවල දෙන්නේ නෑ. මම දිසා අතේ එවන පණිවුඩ ගැන සැලකිල්ලෙන් ඉන්න’ යනුවෙනි.


පෙරදින චන්ද්‍රිකා මැතිනිය මෛත්‍රී ඇමතිතුමාට ප්‍රකාශ කළ පරිදිම පසුදින උදෑසන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. “චන්ද්‍රිකා ආවලු නේද මිනිස්ටි්‍ර එකට?’ මීට මෛත්‍රී ඇමතිතුමා ලබාදුන් පිළිතුර වූයේ ‘ඔව් සර් විජය කුමාරතුංග රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ආවා. ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්න වගයක් විසඳන්න. මං ඒව විසඳල දුන්නා. එහෙත් තවදුරටත් කථාකළ ජනාධිපතිතුමා’ “මොකද එයා කියන්නේ ඔයත් එක්ක ඉඳගෙන කථා කළාලු නේද?” යනුවෙන් විමසා එම සංවාදය අවසන් විය. එම දුරකථන ඇමතුමට අනුව පෙනී යන්නේ නිහාල් ජයතිලක ඔහු දුටු සියල්ල ‘හැටරියන් අසූරියන්’ කර කියා ඇති ආකාරයකි.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

චන්ද්‍රිකා කැලඹූ මහින්ද විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site