IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගමන වෙනස් කළ “මහින්ද සුළඟ”

 

කෙසේ වෙතත් ‘මහින්ද සුළඟ’ හා ‘මහින්ද සමඟ නැගිටිමු’ නමින් වූ රැස්වීම් මාලාව නුගේගොඩින් පටන්ගෙන රටේ ප්‍රධාන නගර කිහිපයක් දක්වා ගමන් කිරීමේදී ගොඩනැඟුණු දේශපාලන ප්‍රවාහය ඉදිරියේ ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් සමහර ඇමතිවරු එම ඇමතිධුරවලින් ඉවත් වී මහින්ද රාජපක්ෂ ජන ප්‍රවාහයටම තම පක්ෂපාතීත්වය ප්‍රකාශ කළහ. මහින්ද යාපා අබේවර්ධන, තිස්ස කරල්ලියද්ද, ඩිලාන් පෙරේරා හා පවිත්‍රා වන්නිආරච්චි යන අය එලෙස ජාතික ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූ අයයි. 


‘මහින්ද සුළඟ’ රත්නපුර රැස්වීම පැවැති දා පවිත්‍රා ඇමතිතුමිය තම ස්වාමිපුරුෂයා වූ සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සමග ශ්‍රී ලංකා පදනම් ආයතනයට පැමිණියාය. ඒ වන විට මම එම ආයතනයේ සභාපතිවරයාය. අවම තරමින් පැය දෙකක්වත් ඔවුහූ මා සමග ගත කළහ. වේදිකාවේ බොහෝ කථිකයෝ පවිත්‍රා ඇමතිතුමියට පහරපිට පහර දුන්හ. එම සම්පූර්ණ කාලයම එතුමිය ගත කළේ යම් මානසික ආතතියකින් තැතිගත් ස්වරූපයකිනි. තම පියාගේ පටන් ගොඩනඟාගත් සමස්ත දේශපාලන පෞරුෂයම කළු ගඟේ ගසාගෙන යන ආකාරයක් එතුමියට දැනුණා සේය. ප්‍රතිඵලය වූයේ ඊට දින කිහිපයකට පසුව පවිත්‍රා ඇමතිතුමිය සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමය. මෙම රැස්වීම් මාලාවේ දෙවන රැස්වීම පැවැතියේ මහනුවර දීය. ඊට සහභාගි වූ මන්ත්‍රීවරු පිරිස ඉතා අවමය. එම රැස්වීමෙන් පසු බොහෝ දෙනකු මෛත්‍රී ජනාධිපතිතුමාට යෝජනාකර සිටියේ මහනුවර රැස්වීම සංවිධානය කිරීමට මුල් වූ දෙතුන් දෙනකුට එරෙහිව විනය පරීක්ෂණ අරඹණ ලෙසයි. එහෙත් එවැන්නක් සිදු නොවීය.


පෙබරවාරි මාසයේ සිට ඉදිරියට ශ්‍රී ලංකා පදනම් ආයතනය අභිනව ජනාධිපතිවරයාගේ දේශපාලන ක්‍රියාවලියේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්විය. නිතර නිතර ශ්‍රී.ල.නි.ප යේ රැස්වීම් හා සම්මන්ත්‍රණ සංවිධානය වූ අතර මෛත්‍රී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ සියල්ලම පැවතියේ පදනම් ආයතනයේදීය. ශ්‍රී.ල.නි.පයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව මෙන්ම සන්ධානයේ නායකයන්ගේ රැස්වීම් සහ සියලු දේශපාලන රැස්වීම් පදනම් ආයතනය තුළ පැවැත්වීම හා ජනාධිපතිතුමා සහභාගිවන වෙනත් උත්සව දිගින් දිගටම පදනම තුළ පැවැත්වීමට නව අර්ථකථනයක් සැපයූ මහාචාර්ය නලින් ද සිල්වා මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම් සඳහා රටපුරා යමින් කියා සිටියේ ‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිතරම පදනම් ආයතනයට යනවා. ඒකට හේතුව ශ්‍රී ලංකාවේ රෝ නියෝජිතයා වන මලිත් ජයතිලක එම ආයතනයේ සභාපතිවරයා යනුවෙන් පැවසීමය. මහාචාර්යතුමා වරක් ‘මහින්ද සුළඟේ’ රැස්වීමක් සඳහා බණ්ඩාරගමට පැමිණ එම කථාවම කියා තිබුණ අතර රෝ නියෝජිතයා වන මලිත් ජයතිලක මේ ප්‍රදේශයේ ම අයකු බවද පැවසීය.


මේ අතර 2015 පෙබරවාරියේ සිට මහ මැතිවරණය පැවැති අගෝස්තු 17 වැනිදායින් පසු වත් පදනම් ආයතනයේ මගේ කාර්යාලය මූලික කරගනිමින් දේශපාලන තීරණ ගැනීම් හා සාකච්ඡා ගණනාවක්ම සිදුවිය. විශේෂයෙන්ම මෙම කාල වකවානුව තුළ ශ්‍රී.ල.නි.පයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධාන දේශපාලන සාකච්ඡා මණ්ඩපයක් බවට මගේ කාර්යාලයද පත්ව තිබුණේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.


ශ්‍රී.ල.නි.ප.යේ සභාපතිධුරය භාරගත් ජනාධිපතිතුමා ආරම්භයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන නිල නිවේදනය නිකුත් කරනතුරුම ශ්‍රී.ල.නි.ප ආසන බල මණ්ඩල හා දිස්ත්‍රික් සම්මේලන සඳහා ඉතා උනන්දුවෙන් සහභාගි විය. ඒ බොහෝ අවස්ථාවලදී ජනාධිපතිතුමා සිටින රැස්වීම් තුළ දී වෙනත් කථිකයන් මහින්ද රාජපක්ෂ යන නම කියනු ලබන වාරයක් පාසා අත්පුඩි ගැසීම සංවිධානාත්මකව සිදු කළේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජයට පත්වී නැවත පෙබරවාරියේ සිට සුප්‍රසිද්ධ පන්සල් යාම ආරම්භ කළේය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ගමන වෙනස් කළ “මහින්ද සුළඟ”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site