IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගෝඨා ළඟ මෛත්‍රී - රාජිත රහස් කතා

 

මෙම සිදුවීම තුළ තවත් සැඟවුණු සුවිශේෂී කතාවක් තිබුණි. එනම් මීට පෙර බොහෝ අවස්ථාවලදී ආණ්ඩුවේ යම් මතවාදයකට එරෙහිව රාජිත ඇමතිතුමා කථා කළ වහාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙසේ හෝ රාජිත ඇමතිතුමා සිටින ස්ථානයට පැමිණ රාජිත ඇමතිතුමාගේ කරේ අත දමා ගනිමින් බඩට ගසමින් හා ඉතිහාස කථා කියමින් “මතකයි ද රාජිත ඒ කාලේ” කියමින් අනෙක් ඇමතිවරුන් පුදුම කරවන ලෙසට මිත්‍රත්වයක් දක්වයි. මෙම තත්ත්වය කලක් පුරා පැවති අතර මෛත්‍රී ඇමතිතුමා දිනක් ඉහත මෙම සිදුවීම වනතුරුම සිතා සිටියේ රාජිත සේනාරත්න යනු ජනාධිපතිතුමාගේ ඉත්තකු බවය. එනම් ආණ්ඩුවට හා ජනාධිපතිතුමාට විරුද්ධ මතවාදය එළි දක්වා ඊට අනෙක් මැති ඇමතිවරුන්ගේ ප්‍රතිචාරය සොයා බැලීම මේ තුළින් සිදු වෙතැයි මෛත්‍රී ඇමතිතුමා වැනි බොහෝ දෙනක්ම සිතූහ. එහෙත් එදින සිදුවීම හමුවේ සියල්ල අලුතින් ඇරඹුණා වැනිය. රාජිත මෛත්‍රී සැකහැර මිතුරු වූයේ එදිනය.

මේ අතර එදින රාත්‍රියේ මහින්ද අමරවීර ඇමතිතුමාට කථා කළ මෛත්‍රී ඇමතිතුමා “මහින්ද මට පුදුම හිතුණා රාජිතගේ ආත්ම ශක්තිය පිළිබඳ තමාට එරෙහි මුළු සභාවක්ම අන්තිමේදී තමන් අතට ගත්තා. තමන්ගේ පළමු ස්ථාවරයේ අඟලක්වත් මහින්ද රාජපක්ෂ ඉදිරියේ වෙනස් වුණේ නෑ. රාජිතගේ කථාව අසා සිටින විට මට මං ගැනම ලජ්ජාවක් ඇති වුණා. 13 අකුලන යෝජනාව ගේන්න ඕන මමමයි කියලා ඊයේ රෑ මගේ ගෙදරට ඇවිල්ලා බැසිල්, ජී. එල්. ඩලස් හා මහින්දානන්ද මට බල කළා. පක්ෂෙ ලේකම් හැටියට මේ යෝජනාව මම විසින්ම ගේන්න ඕන කියලා මම ඩලස්ට ඒ යෝජනාව ගේන්න කියලා යෝජනා කළ විට ඩලස් මගේ ඇඟේම මේක ගැහුවා” යනුවෙන් සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කර තිබූ අතර “ඔයා රාජිතට මේ කතාව කියන්න. ඒ එක්කම මගේ ස්ථාවරයත් ඩොක්ටර්ගේ ස්ථාවරයම බව දන්වන්න.” යැයි ද පැවසීය. 


මේ අතර ඉන් දින කිහිපයකට පසුව 2013 ජුලි මාසයේදී සුසිල් ප්‍රේම ජයන්ත ඇමතිතුමාගේ දියණියගේ විවාහ උත්සවය පැවැත්විණි. එම අවස්ථාවේ දී ප්‍රධාන මේසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අසුන්ගත් අතර ජනාධිපතිතුමාගේ දකුණු පසින් මෛත්‍රී ඇමතිතුමාද වම් පසින් රාජිත ඇමතිතුමාද අසුන් ගෙන සිටි අතර රාජිත ඇමතිතුමාගේ වම් පසින් එතුමාගේ බිරිය වෛද්‍ය සුජාතා සේනාරත්න ද ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ ද අසුන්ගෙන සිටියහ. කෙසේ වෙතත් විවාහ මංගල උත්සවයේදී අත්සන් තැබීමෙන් විනාඩි 20කට පමණ පසුව ජනාධිපතිතුමා දිවා ආහාරයට නොසිටම ඉන් ඉවත්ව ගියේ “රාජිත මං මෙතන කන්න ඉන්නේ නෑ. මම යනවා යන්න” කියමිනි. මන්දයත්, එම දිනවල ජනාධිපතිතුමා සුසිල් ඇමතිතුමා සමග යම් විරසකයකින් සිටියේය. මේ අනුව ජනාධිපතිතුමා ඉවත්ව යාමෙන් හිස් වූ අසුනට මෛත්‍රී ඇමතිතුමා පැමිණ අසුන් ගත් අතර ඒ අවසරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අසුන හා රාජිත ඇමතිතුමාගේ අසුන අතර එක් අසුනක දුරක් ඇති විය. මේ වන විට මංගල උත්සවය සඳහා සැපයෙන සංගීතය එහි උපරිම ධාරිතාවෙන් ශබ්දය නංවයි. ඒ අතරතුර මෛත්‍රී ඇමතිතුමා හා රාජිත ඇමතිතුමා කථාව ඇරඹූහ. පළමුව 13 වැනි සංශෝධනය පිළිබඳ රාජිතගේ කථාවට ස්තූතිවන්ත වූ මෛත්‍රී ඇමතිතුමා තමාට එම යෝජනාව ගෙන එන ලෙසට ඉහත කණ්ඩායම විසින් කළ බලපෑම යළි ආවර්ජනය කළේය. ඒ සමගම තමාව ඝාතනය කිරීමට අවස්ථා 5 කදී උත්සාහ කර ඇති බවත් ඉන් අවස්ථා දෙකක්ම අරලියගහ මැදුර විසින් සැලසුම් කර ඇති බවත් මෛත්‍රී ඇමතිතුමා රාජිත ඇමතිතුමාට පැවසීය. 


එවිට ඒ හා සම්බන්ධ යටගිය මතකයන් අවදි කළ රාජිත ඇමතිතුමා “මෛත්‍රීට මතකද ඔයයි මමයි ජනාධිපතිතුමයි විතරක් ඉන්න අවස්ථාවක එක පාරටම ජනාධිපතිතුමා ඇහුව ඇයි මෛත්‍රී දැන් මේ පැත්තේ එන්නේ නැත්තේ කියලා. එවිට ඔයා එක පාරටම කිව්වේ “කොහොමද සර් එන්නේ සමහරු මාව මරන්නනෙ ලෑස්ති කරලා තියෙන්නේ” කියලා. එහෙම කියපු ගමන්ම මහින්ද ඊළඟ ප්‍රශ්නෙ වන “කවුද මරන්න ඉන්නේ කියලා ඇහුවේ නෑ නේද?” යනුවෙන් පැවසීය. කෙසේ වෙතත් පැයක් පමණ පුරා මේ ආකාරයට දෙදෙනා අතර සිදු වූ මෙම සාකච්ඡාවේ කිසිවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට නොඇසුණේ සංගීතයද ඊට වඩා ඉහළ ස්වරයකින් වාදනය වූ නිසාය. තවද එම කාලය අතර තුර රාජිතගේ බිරිඳ වෛද්‍ය සුජාතා සමග ගෝඨාභය රාජපක්ෂ මහතා දොඩමලු වුවත් දැන් එතුමිය ද එම අසුනේ නැත. එහෙත් ඉහත සතරකන් මන්ත්‍රණය සිදුවන්නේ ආරක්ෂක ලේකම්තුමාට එක් අසුනක පරතරයක් ද සහිතවය. කෙසේ වෙතත් මෙම කතා බහ අවසන් වූයේ මේ දෙදෙනා අතර පූර්ණ අවබෝධයක් ගොඩනගාලීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම ඇමති රාජිත හා ගෝඨාභය රාජපක්ෂ මහතා යන දෙදෙනාම එකම පාසලේ එකම පන්තියේය. 


ඉන් අනතුරුව මෛත්‍රී ඇමතිතුමාගේ පාර්ලිමේන්තු දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් පොළොන්නරුවේදී උත්සවයක් සංවිධානය විය. එහි ප්‍රධාන දෙසුම පවත්වන ලද්දේ රාජිත ඇමතිතුමා විසිනි. ආරම්භයේ සිටම ඉතාමත් වේගවත් කථාවක් කළ එතුමා එදින මූලික වශයෙන් මාතෘකාව බවට පත් කර ගත්තේ සමාජ අසාධාරණයයි .ඒ අනුව තම කථාව අවසන් කරමින් රාජිත ඇමතිතුමා කියා සිටියේ ‘මෙන්න මේ වැනි සමාජ අසාධාරණයන්ට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා නැගී සිටිනවා නම් එදිනට මම එතුමා ළඟ අගසව් වගේ සිටිනවා’ යනුවෙන් පවසා කථාව අවසන් කළේය. මෙම වේගවත් කථාවේ ප්‍රතිඵලයක් ලෙස ඉන් අනතුරුව මෛත්‍රී ඇමතිතුමා සිය කථාව නොකිරීමට තීරණය කළේය. කෙසේ වෙතත් පොළොන්නරුවේදී රාජිත ඇමතිතුමා කළ කථාව දිනපතා “ලංකාදීප” පුවත්පතේ පළ වු අතර ඒ පිළිබඳව විශේෂ යමක් නොවිමසීමට ජනාධිපතිතුමා වග බලා ගත්තේය.

 

ඉතිරිය ලබන සතියට... 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ගෝඨා ළඟ මෛත්‍රී - රාජිත රහස් කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site