IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හමුදා කුමන්ත්‍රණ මැද අලුත් පත්වීම්

ගමෙන් රජ ගෙදරට පැමිණි පළමු ජනපතිවරයා

02 වැනි කොටස

 

 

චීනයේ තැන්පත් කොට ඇති බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවන ලද්දේ ද විලියම් ගොපල්ලව මහතාගේ යුගයේදීය. පීකිං නුවර ලංකා තානාපති ධුරය හෙබ වූ ගොපල්ලව මහතා වසර තුනක නියමිත කාල සීමාව අවසන් වීමෙන් පසුව මොස්කව් නුවර ලංකා තානාපති ලෙස යැවීමට බලාපොරොත්තු වන බව සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් කලින්ම දන්වා තිබුණි. රුසියානු භාෂාව පිළිබඳව අවබෝධයක් නොමැතිව මොස්කව් නුවර ජීවත් වීම අපහසු නිසා ගොපල්ලව මහතා රුසියානු භාෂාව ඉගෙනීමට යොමු වී සූදානම්ව සිටියේ මොස්කව් නුවරට යාමටය. 


නමුත් 1961 සැප්තැම්බර් මුල් සතියේ ලංකාවේ විදේශ කටයුතු බාර අමාත්‍යංශයෙන් පීකිං නුවරට විදුලි පණිවුඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ ගොපල්ලව මහතා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර ලංකා තානාපති ලෙස පත් කළ බවය. 1961 සැප්තැම්බර් 7 වෙනිදා ගොපල්ලව මහතා ධවල මන්දිරයට ගොස් ජනාධිපති ජෝන් කෙනඩි මහතා මුණගැසී ලංකා තානාපති ලෙස අක්තපත්‍ර බාර දුන්නේය. වොෂිංටනයේ පදිංචිව සිටින අතරම තමාට මෙක්සිකෝවෙත්, කියුබාවේත් ලංකා තානාපති ලෙස කටයුතු කළ යුතුව ඇති බවද ප්‍රකාශ කළේය. ඒ අනුව මෙක්සිකෝවේ තානාපති ලෙස අක්තපත්‍ර බාර දීමට විලියම් ගොපල්ලව මහතා මෙක්සිකෝ නගරයට 1962 පෙරබාරි මස අග සතියේ දී පිටත් විය. එහි පිටත්ව දිනකට පසු වොෂිංටනයෙන් දුරකථන ඇමතුමක් මගින් දැනුම් දුන්නේ, වහාම ආපසු ලංකාවට පැමිණෙන ලෙස ලංකාවෙන් උපදෙස් ලැබී තිබුණු බවය. 
1962 ජනවාරි මස අග සතියේ ලංකාවේ පමණක් නොව ලොව පුරා පැතිර ගිය ප්‍රවෘත්තියක් විය. එනම් ජනවාරි 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පාලනය බලහත්කාරයෙන් පෙරළා දමා රටේ බලය අල්ලා ගැනීමට කර තිබුණු කුමන්ත්‍රණයක් හෙළිදරව් වීම නිසා එම කුමන්ත්‍රණයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් ප්‍රමුඛ පිරිසක් සිරබාරයට ගනු ලැබූ බවය. මෙම කුමන්ත්‍රණය පසුපස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ද සිටි බවට රජය සැකකරන ලද අතර, ඔහු එම තනතුරින් ඉවත් කර විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කිරීමට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පියවර ගත්තාය. 


ආපසු ලංකාවට පැමිණි විලියම් ගොපල්ලව මහතාට සර් ඔලිවර් ගුණතිලක වෙනුවට තමා පත් කිරීමට යන බව අගමැතිනිය විසින් දන්වන ලදී. එහෙත් ගොපල්ලව මහතා බණ්ඩාරනායක මැතිනිය හමු වී තම අවංක හැඟීම ප්‍රකාශ කර සිටීමට අමතක නොකළේය. එහිදී අග්‍රාණ්ඩුකාර තනතුර ප්‍රතික්ෂේප කිරීමට ගොපල්ලව මහතා කරුණු දැක්වීය. එහෙත් බණ්ඩාරනායක මැතිනිය ගොපල්ලව මහතාගේ අදහසට එකඟ වූයේ නැත. අලුත් පත්වීමට තමා යෝජනා කරන්නේ ආණ්ඩුවේ සියලු දෙනාගේම අනුමැතිය ඇතිව බවත්, ඒ අවස්ථාවේ හැටියට ඉතාමත් විශ්වාස කෙනෙකු ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ යුතු බවත් මැතිනිය පැහැදිලි කර දුන්නාය.


අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අත්සනින් යුතුව 1962 පෙබරවාරි 26 වැනිදා රාත්‍රී 11.30ට නිකුත් කරන ලද විශේෂ නිවේදනය ඉන් ස්වල්ප වේලාවකට පසු ලංකා ගුවන් විදුලි සේවය මගින් ප්‍රචාරය කරන ලදී. එහි මෙසේ කියැවිණි. සර් ඔලිවර් ගුණතිලක උතුමාණන්ගෙන් පසු ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයට විලියම් ගොපල්ලව උතුමාණන් පත් කිරීමට, ලංකාවේ පිහිටි මහරාජිණියගේ ආණ්ඩුව මගින් පත් කරන ලද යෝජනාව මහ රාජිණිය විසින් කරුණා පෙරදැරිව අනුමත කර ඇති බවත්, මෙම පත්වීම මාර්තු 2 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්ය. එදිනම එම වේලාවට මේ හා සමාන නිවේදනයක් ලන්ඩනයේ බකිංහැම් මාලිගයෙන් ද නිකුත් කළ බව රොයිටර් ප්‍රවෘත්ති සේවය මගින් වාර්තා කරන ලදී. 
විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාර ධුරයෙහි දිවුරුම් දීම යෙදී තිබුණේ 1962 මාර්තු 02 වැනි දින පෙරවරු 8.57ට යෙදෙන සුබ මොහොතේය. ඒ අනුව රජගෙදර සමාධි බුද්ධ ප්‍රතිමාව අබියස දී විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් අගවිනිසුරු හේම බස්නායක මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. විලියම් ගොපල්ලව උතුමාණන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි ආග්‍රාණ්ඩුකාර සහ මහා සේනාධිපති ධුරයෙහි වැඩ බාරගත් බව රජයේ නිවේදනයක් ලෙස බාහිර ලෝකයට දැනුම් දීමෙන් පසු පෙරවරු 9.30ට අභිනව අග්‍රාණ්ඩුකාරතුමාගේ ඓතිහාසික මංගල පණිවුඩය ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ රට පුරා පැතිර ගියේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත් වී මහනුවර ගොස් දළදා වහන්සේ වැඳ, මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ ආශිර්වාද ලබාගෙන ආපසු කොළඹ පැමිණ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයකට කන්දී පසු දින මහා දානමය පුණ්‍යකර්මයකට ද සහභාගි වූ ගොපල්ලව මහතාගේ ප්‍රථම නිල පොදු කටයුත්ත වූයේ, ක්ෂය රෝගය මර්දනය සම්බන්ධයෙන් දිවයිනටම විශිෂ්ට සේවයක් කළ වෛද්‍ය ජේ. එච්. එෆ්. ජයසූරිය මහතාට පොදු රාජ්‍ය මණ්ඩලීය උපකාර ත්‍යාගය පිරිනැමීම පිණිස ක්ෂය රෝග මර්දනය පිළිබඳ ලංකා ජාතික සංගමය මගින් පවත්වන ලද උත්සවයට සහභාගි වීමය. 
විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාර ධුරය බාර ගැනීමෙන් පසු මුහුණදුන් ඉතාමත් බරපතළ තත්ත්වය එළැඹියේ 1965 දීය. නිදහස් ශ්‍රී ලංකාවේ සවෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පිණිස 1965 මාර්තු 22 වැනිදා මහ මැතිවරණය පවත්වන ලදී. මෙම මැතිවරණයේ දී කණ්ඩායම් දෙකක් තරග කරන ලදී. අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය යන හවුල් කණ්ඩායම එක් පැත්තකින් ද මෙම කණ්ඩයාමට එරෙහිව ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය ද තරග කරන ලදී. මහ මැතිවරණයෙන් අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරාජය වූ අතර ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේය. මාර්තු 25 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාණ්ඩුකාර වෙත භාර දීමෙන් පසු ඩඞ්ලි සේනානායක මහතා රජ ගෙදරට කැඳවා ඊළඟට ආණ්ඩුවක් පිහිටු වන ලෙස ගොපල්ලව මහතා උපදෙස් දුන්නේය.

 

මතු සම්බන්ධයි


එම්. තාරික්
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

හමුදා කුමන්ත්‍රණ මැද අලුත් පත්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site