නාමයෝජනා බාරදීමෙන් පසුව අපේක්ෂකයෝ පිටියට පිවිස සිටිති. එකිනෙකා අරභයා මඩ ප්‍රහාර චෝදනා යෝජනා ආදිය ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් බවට පත්වී තිබේ.
 
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක් නාමයෝජනා පත්‍ර ලබාදී ඇතත් සටන ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරය. ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු අරඹා ඇත්තාහ. මෙවර ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් නාමයෝජනා භාරදී තිබීමෙන් මැතිවරණ කොමිසමට බරපතළ වැඩ කොටසකට අතගැසීමට සිදුව තිබේ. රාජ්‍ය සේවකයන්ට මැතිවරණ කොමිසමට පමණක් නොව භාණ්ඩාගාරයටද මේ නිසා අතිරේක බරක් දැරීමට සිදුව තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ රුපියල් කෝටි සියයක අමතර එහෙත් විශාල මුදලක වියදමක් දැරීමට සිදුව ඇති බවය.
 
මෙවර ජනාධිපතිවරණයේ සමස්ත වියදම ලෙස ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් කෝටි පන්සියයක් පමණ වන බවය. අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව වැඩිවීම නිසා ඡන්ද පත්‍රිකාවේ දිග ද අඩි දෙක ඉක්මවා තිබේ. ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරණය නිම වනතෙක් මැතිවරණ කොමිසමට දිවා රෑ නොබලා රාජකාරී කටයුතුවල නිරතවීමට සිදුව තිබෙන බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණ යන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ දිනවල දැඩි උත්සාහයක නිරතවන්නේ එකිනෙකාගේ බලය පෙන්වීමටය. හැකිතාක් සෙනඟ ඡන්ද රැස්වීම්වලට ගෙන්වා ගැනීමට එම පක්ෂ දෙකම ඉතා දැඩි උත්සාහයක නිරතවන බවක් පෙනේ.

පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේ ඉකුත් 2018 වසරේ පෙබරවාරි මස 10 වැනි දිනය. රටපුරා පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වෙද්දී අධිකරණමය තීන්දුවක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට සිදුවිය. නඩු කටයුතුවලින් පසුව වසරකටත් වැඩි කාලයක් ගතවූ තැන අද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වේ. “අපි ඇල්පිටිය දිහා බලාගෙන ඉන්නවා. ඇල්පිටිය ඡන්දය තීරණාත්මකයි. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ඇල්පිටියෙන් පෙන්නුම් කරනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයෝ ප්‍රකාශ කරමින් සිටියහ. එහෙත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ මෙවර තම පක්ෂය ඇල්පිටිය ඡන්දයට එතරම් බලයක් නොයොදවන බවය. “ඇල්පිටිය එජාපයට බර ආසනයක් නෙවෙයි. ඇල්පිටිය කියන්නේ මුළු රටමත් නොවෙයි. උතුරු නැගෙනහිරත් තියෙනවා” යැයි එජාපයේ ප්‍රබල දේශපාලනඥයෙක් සඳහන් කළේය.
 
ඌව පළාත් සභාවේ නිල කාලය ඉකුත් අඟහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් නිමාවට පත්විය. සියලුම පළාත් සභාවල නිල කාලය ඉකුත් අවුරුද්දකට වැඩි කාලයක් තුළදී විටින් විට නිමාවට පත්විය. ඉතිරිවී තිබුණේ ඌව පළාත් සභාව පමණි. උතුරු පළාත් සභාවේ නිල කාලය නිමවූයේ ඉකුත් 2018 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදාය. එම පළාත් සභාවේ නිල කාලය අවසන්වී වසරකටත් වැඩි කාලයක් ගත වී තිබේ. මධ්‍යම පළාත් සභාවේද නිල කාලය එම වසරේම ඔක්තෝබර් මස 18 වැනි දින නිමාවට පත්විය. වයඹ පළාත් සභාවේ කාලය නිමවූයේ 2018 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදාය. සබරගමුව පළාත් සභාවේද එම වසරේම සැප්තැම්බර් මස 26 වැනි දින නිල කාලය අවසන් කෙරිණ. නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් මස 30 වැනිදාත් උතුරුමැද පළාත් සභාවේ නිල කාලය එම වසරේ ඔක්තෝබර් මස 01 වැනිදාත් අවසන් විය. දකුණු පළාත් සභාව, බස්නාහිර පළාත් සභාව සහ ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ මේ වසරේදීය. දකුණු පළාත් සභාවේ නිල කාලය ඉකුත් අප්‍රේල් මස 10 වැනිදාත් බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාත් නිමාවට පත් විය. ඒ අනුව දිවයිනේ පළාත් සභා නවයම මේ වනවිට අක්‍රිය වී තිබෙන අතර ඒවායේ පාලන බලතල ආණ්ඩුකාරවරුන් අතට පත්වී තිබේ. “අද මේ රටේ ආණ්ඩු තුනක් තියෙනවා. එකක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුකාරවරුන් අත තිබෙන බලය. ඊට පස්සේ ඇමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මගින් පවතින බලතල. ඊටත් පස්සේ තියෙනවා විපක්ෂ නායකවරයාගේ පක්ෂයට අයත් පළාත් පාලන ආයතනවල බලතල. හරියට ආණ්ඩු තුනක් වගේ” යි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. එහෙත් මැතිවරණ කොමිසම දිගින් දිගටම සඳහන් කරනුයේ පළාත් සභා අක්‍රියවීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නොවන බවය. “පළාත් සභා ආණ්ඩුකාරවරයාගේ සහ නිලධාරීන්ගේ පාලනයට යටත් කිරීම පිළිගන්න බැහැ. එතන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම ඉක්මනින් ජනාධිපතිවරණය නිමවූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි” යැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ජනාධිපතිවරණයක් ගැන කතා බහ වුණ මුල් මාස කීපයේදී ඡන්ද පත්‍රිකාවට අලුත් අදහසක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ගැන ද ඉඟි පළ විය. ඒ ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමේදී අප්‍රසාදය පළ කිරීමේ අවස්ථාවක් සලසාදීමය. පවත්නා දේශපාලන ක්‍රමය පිළිබඳව බහුතර ජනතාව තුළ ඇතිවී තිබෙන අප්‍රසාදය, කළකිරීම හේතුවෙන් එය සටහන් කිරීමේ ක්‍රමයක් පළමු වරට මෙවර ජනාධිපතිවරණයේදී හඳුන්වාදීමට අවශ්‍ය බවට කතාබහක් පැතිර ගියේය. මැතිවරණ කොමිසම සඳහන් කළේ “ඡන්ද විමසීමකදී අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වන සියලු දෙනා හා සියලුම පක්ෂ ප්‍රතික්ෂේප කිරීම උදෙසා ඡන්ද පත්‍රිකාවේ ‘ඉහත සඳහන් කිසිවකු නොවේ’ යන්න තීරයක් ඇතුළත් කළ යුතු බවට යෝජනාවක් තියෙනවා. කිසියම් ඡන්ද දායකයකුට අවශ්‍ය නම් ඔහුගේ නොකැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් තිබිය යුතුයි. ඒක ඔවුන්ගේ අයිතියක්. ඉන්දියාව ඇතුළු සෙසු නොයෙකුත් රටවල ද මෙම අවස්ථාව තිබෙනවා. එහෙත් මේ සඳහා මැතිවරණ නීතිය පාර්ලිමේන්තුව මගින් කළ යුතුයි. එහෙම නැත්නම් ඉන්දියාව කළ ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් කරන්න පුළුවන්” යනුවෙනි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට නිශ්චිත තීරණයක් ගත නොහැකි බවය. එහෙත් ඡන්ද අයිතිය භාවිත කිරීමේ අවස්ථාව පුළුල්වීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක විය යුතු යැයි ද මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
 
ජනාධිපතිවරණයේ නීති රීති අනුව කිසියම් අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගත යුතුය. එසේ නොමැති වුවහොත් නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදු වනු ඇතැයි ද යන්න සම්බන්ධයෙන් බොහෝ පිරිසක් මැතිවරණ කොමිසමෙන් ප්‍රශ්න කර තිබිණ. “කිනම් අපේක්ෂකයකුට ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහක් ගන්න බැරිවුණා ද හැකිවුණා ද කියා ප්‍රශ්නයක් නැහැ. නැවත ඡන්දයක් තියන්න අවශ්‍ය නැහැ. එවිට පළමු හා දෙවන තරගකරුවන් අතහැර තෙවැනි ස්ථානයට මනාප ලබාගත් අපේක්ෂකයාගේ දෙවන හා තෙවන මනාප සලකා බලා ඒවායේ එකතුව ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් දෙදෙනාට එකතු කරනවා. එසේ එකතු කළ පසුව වැඩිම මනාප ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කළ බවට සැලකෙනවා. කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයකු දෙවැනි මනාපයක් ලබා නැත්නම් ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස තීන්දු කරනවා. මීට අමතරව අපේක්ෂකයින් දෙදෙනාම සමාන ඡන්ද ලබා ඇත්නම් කුසපත් ඇදීමකින් හෝ කාසියක් උඩ දැමීමෙන් පසුව ජයග්‍රාහකයා තෝරා ගන්නවා” යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී දෙවන හා තෙවැනි මනාප ලකුණු කරන්නේ නම් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හින්දු අරාබි ඉලක්කමෙන් එක, දෙක හා තුන ආදී වශයෙන් මනාප ලකුණු කළ යුතු බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි. කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුපුරුදු පරිදි කතිරය ලකුණ වුවද භාවිත කළ හැකිය. එවැනි අවස්ථාව කතිරය සමග දෙක, තුන ආදී ලෙස මනාප සලකුණු කළ නොහැකිවන බව ද මැතිවරණ කොමිසම කියයි. ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක වර්ගයක සලකුණු කිරීමක් පමණක් වන අතර එය කතිරය හෝ ඉලක්කම් හෝ දෙකෙන් එකක් පමණක් විය යුතුයැයි මැතිවරණ කොමිසම පැහැදිලි කරයි.

ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත්වූ ජාතික ජන බල ව්‍යාපාරය වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබිණි. දේශපාලන පක්ෂ හා සංවිධාන 30කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත එම සංවිධානය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ ලියාපදිංචි නොවන දේශපාලන පක්ෂ කාණ්ඩය යටතේය. එබැවින් නාම යෝජනා පිළිගැනීමෙන් පසු ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සමඟ මැතිවරණ කොමිසම විසින් ලබා දෙන ඡන්ද ලකුණු තෝරා ගැනීමේ අවස්ථාවට සම්බන්ධ වන්නට අනුර දිසානායකට සිදුවිය. මෙහිදී ජාතික ජන බල ව්‍යාපාරය තමන්ගේ ඡන්ද ලකුණ ලෙස තෝරා ගැනීමට කල් ඇතිවම තීරණය කර තිබුණේ මාලිමාවය. මැතිවරණ සලකුණ ලෙස මෙය ලබා දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමට මීට පෙර ලිපියකින්ද ඉල්ලා තිබූ බැවින් මේ පිළිබඳව ඔත්තු බලමින් සිටි ඇතැමුන් දැන සිටින්නට ඇත.
ජාතික නිදහස් පෙරමුණේ සමන්සිරි හේරත් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටි අතර ඔහු ඡන්ද ලකුණු තේරීමේදී අනුර දිසානායක විසින් තෝරාගත් මාලිමාව සලකුණ තමන්ට අවශ්‍යයැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දන්වා සිටියේය. සභාපතිවරයා එකඟතාවයෙන් වෙනත් සලකුණක් ලබා ගත හැකිදැයි විමසා සිටියද ඔහු එයම ඉල්ලා සිටියේ අනුරට මෙය අවශ්‍ය බව පූර්වයෙන් දැන සිටි නිසා විය යුතුය. කෙසේ වුවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමන්ගේ ඊළඟ පියවරට ගියේ දෙදෙනා අතර තුණ්ඩු දමා තෝරාගැනීමට අවස්ථාව ලබා දෙමිනි. මේසය මත තිබූ තුණ්ඩු දෙකින් එකක් සමන්සිරි වහා අතට ගත්තේය. එහෙත් එහි වූයේ බින්දුවය. අනුර දිසානායකට ඉතිරි වූ තුණ්ඩුව දිගහැරි සභාපතිවරයා එහි එක ලකුණ පෙන්වා මාලිමාව අනුර කුමාර දිසානායකට හිමි වූ බව ප්‍රකාශයට පත් කළේය.
 
තංගල්ලේදී හා බේරුවලදී ජනතා ජන රැලි පවත්වා තිබුණද නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ පළමු රැලිය යෙදී තිබුණේ පසුගිය 08වැනි දින තඹුත්තේගම නගරයේදීය. එහි විශේෂත්වය වූයේ තඹුත්තේගම ඔහුගේ ළමා විය ගත වූ ගම් පළාත වීමය. “මට මගේ ගම කියන්නෙ දේශපාලනයේ අමිහිරි අත්දැකීම් වගේම උකහා ගත යුතු අත්දැකීම් රැසක් ඉතිරි කරපු ගමක්. ඒ අත්දැකීම් දුන්න මේ ගමට අපි ආවෙ එක්දහස් නමසිය හැත්තෑ දෙකේ, මාසෙකට රුපියල් විස්සක කුලියකට මැටි ගෙදරකට. එතැන සිට දශක ගණනාවක් මේ ප්‍රදේශයේ සෑම ගමකම, සෑම පාරකම අපි ඇවිදල තියෙනවා. ඒ පරම්පරාවන් මුහුණ දුන්නු අත්දැකීම් අපි ඇති තරම් අත්දැක තියෙනව. අපේ ගම්වල මිනිස්සු මිය ගියේ කොහොමද, අපේ දරුවන්ට අත්වුණු ඉරණම මොකක්ද කියන එක අපි දන්නවා. කවුද ඒ ජීවිතය අපිට උරුම කර දුන්නෙ?” අනුර දිසානායක තම කතාව අතරතුර පැවසීය.
 
මේ අතර රැලියේ ඉදිරිපෙළ අසුනකට බර දී සිටි වියපත් මවක් කෙරෙහි බොහෝ මාධ්‍යවේදීන්ගේ කැමරා ඇස යොමු වී තිබිණි. ඒ, අනුර දිසානායක ළමා විය සම්බන්ධ අත්දැකීම්ද සහිත කතාවට සාවධානව කන්දී සිටි සීලවතී මාතාවය; අනුර දිසානායකගේ මවය. මේ රැස්වීමේ අසුන් ගෙන සිටි මවගේ ඡායාරූප රැසක් මුහුණු පොතේ සංසරණය වී තිබුණේ පරිශීලකයින්ගේ හැඟීම් බර සටහන්ද සහිතවය. මෙම රැස්වීම සඳහා පැමිණි අතිවිශාල ජනතාව අතර අනුර දිසානායකගේ වැඩිමහල් සහෝදරිය, ඥාතීන්, ළමා වියේ මිතුරු මිතුරියන් මෙන්ම ගම්වාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ. තවත් විශේෂත්වයක් වූයේ අනුර දිසානායක සහෝදරයාට පාසලේ උගන්වා තිබූ ගුරුවරයෙකු රැස්වීම් වේදිකාවේ අසුන්ගෙන සිටීමය. ඔහු ඒ පිළිබඳ මතකය අවදි කළේ මෙසේය. “අසූ දෙකේ ජනාධිපතිවරණෙදි මෙතැන රැස්වීමක් තිබුණා. මමත් පොඩි කාලෙදි ඒ රැස්වීම බලන්න ආවා. ඒ රැස්වීමෙ මුලසුනේ හිටියෙ අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය ගුරුතුමා වුණු පෙරේරා සර්. ඔහු අදත් මේ වේදිකාවෙ ඉන්නවා.”

ජනාධිපතිවරණය හේතුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායකගේ කාලසටහන අතිශය කාර්ය බහුල වී තිබේ. එහෙත් ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය විසින් පසුගිය 09වැනි දින සූදානම් කර තිබූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමරුවේ දේශනයක් පැවැත්වීමට ඔහු වේලාව වෙන් කරගෙන තිබිණි. මේ අවස්ථාවේ ආරාධිතයන් අතරට සෙසු දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබ තිබුණේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකරටය. අසූ හතර හැවිරිදි ඩිව් ගුණසේකර වේදිකාවට ගොඩවෙද්දී අනුර දිසානායක ඔහු නොවැටෙන ලෙසට අල්ලා ගෙන ගොඩකර වීම අතිශය හැඟීම් බර අවස්ථාවක් විය.
“මම අනුර සහෝදරයගේ කරේ එල්ලිලා වේදිකාවට ආවෙ. මගෙ වම් ඇහැ පේන්නෙ නැහැ. මගෙ යාළුවෙක් කිවුවා, ‘මචෝ වැටෙන්න එපා. ඔය වයසට වැටුණොත් අවුරුද්දක් ඇඳේ’ කියලා. ඩිව් කතාව අතරතුර තමන්ගේ වියපත් බව පිළිබඳව කීවේ අවංකවය. “මීට සතියකට පෙර ජෝතිෂ්‍ය සඳහා සංස්කෘතික අමාත්‍යංශයේ කොටසක් වෙන් කරන බවට එක ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙක් පොරොන්දු වී තිබුණා. අද ප්‍රධාන ධාරාවේ සමහර දේශපාලන පක්ෂවල මිත්‍යාව දේශපාලන දුෂ්ටිවාදයක් වී හමාරයි. මිත්‍යාව දැන් දේශපාලනයටද උඩින් තියන සංස්කෘතියක හැඩය ගෙන තියනවා. එනිසා එම සංස්කෘතියට එරෙහි සංස්කෘතියක් වෙනුවෙන් අපි අරගල කළ යුතුව තියනවා. අද මිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් කරගත යුතුයි. ඒ සඳහා මිත්‍යාවට එරෙහිව මැදිහත්වන අය සහ දේශපාලනය අතර සංවාදයක් අන්තර් සම්බන්ධයක් ඇති කළ යුතුයි. අපේ ව්‍යාපාරය මිත්‍යාවට එරෙහිව නොනවතින අරගලයක් කරන බවට අපි සහතික වෙනවා.” අනුර කුමාර දිසානායක පැවසීය.
           
පසුගිය සෙනසුරාදා බැසිල්ට හදිසියේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඇමතුමක් ලැබුණේය. ඔහු කතා කර තිබුණේ බැසිල්ගෙන් යම් කරුණක් දැනගැනීමටය.

“දැන් ඔබතුමා සපෝට් කරන්නේ අයියටද මල්ලිටද? සභාපතිවරයා ඇසුවේය.

“චමල් කියන්නේ මගේ ලොකු අයියා නම් තමයි. ඒත් මට පක්ෂයක් තියෙනවානේ. ඉතින් මට පක්ෂෙට වැඩ කරන්න වෙනවානේ සභාපතිතුමා“ බැසිල් කීවේය.

“එතකොට චමල් මන්ත්‍රීතුමා නාමයෝජනා දෙනවද? සභාපතිවරයා ඇසුවේ පුදුමයෙනි.
 
“ඔව් ඔව්. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද චමල් අයියට නාමයෝජනාව අත්සන් කරන්න නැකත තියෙන්නේ 11.20ට. නාමයෝජනා භාරගැනීම 11ට ඉවරනේ. ඉතින් ඔබතුමා පොඩි වෙලාවක් දෙන්නකෝ අපිටත් නාමයෝජනා දෙන්න“ බැසිල් ඉල්ලා සිටියේය.

බැසිල්ගේ කතාව ඇසූ සභාපතිවරයාට සිනාව නතර කර ගත නොහැකි විය. “ඔය කියන්නේ චමල් නාමයෝජනා දෙන්නේ නැහැ කියලනේ. මම දන්නවා ඔබතුමාගේ හැටි. ඔබතුමා තමයි දවසකට හරි මිනිහා“ කී සභාපතිවරයා දුරකතනය විසන්ධි කළේය.

ගෝඨාභය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමට නියමිතව තිබුණේ පසුගිය ඉරිදාය. සැමට දැනුම් දී තිබුණේ උදෑසන 8.30 වන විට ගෝඨාභයගේ නිවසට පැමිණෙන ලෙසය. ඒ අනුව මහින්දත් නියමිත වේලාවට එහි ආවේය. එහෙත් නාමයෝජනා අත්සන් තැබීමට නියමිතව තිබුණේ පෙරවරු නමයකුත් ගාණටය.
 
නැකතට තවත් වේලා තිබුණු නිසා මහින්දට කදිම අවස්ථාවක් පෑදුණේ කලකින් හමු වූ සිය ඥාති මිත්‍රාදීන් සමඟ නිවිහැනහිල්ලේ කල්ගෙවීමටය. ගෝඨාභයගේ නිවසේ මුළුතැන්ගෙයි බංකුවක් තබා ගත් මහින්ද සියලුදෙනා සමඟ කතාබහ කරමින් සැහැල්ලු වෙන් සිටින අතර මහින්දලාගේ පවුලේ දරු මුණුපුරන් ඔහුගේ ඔඩොක්කුවේ සහ කරේ නගමින් කරන සෙල්ලම්ද හේ සිනාමුසුව බලාසිටියේය. ආගමික ආශිර්වාද මැද නාමයෝජනාව අත්සන් තැබුණේය. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිසක් ද එහි පැමිණ සිටි අතර සියල්ලෝ සතුටින් සිටියේ තවත් එක කඩුල්ලක් පැන ගැනීමට හැකිවීම නිසාය. පසුදින එනම් සඳුදා නාමයෝජනා භාරදීමට ගෝඨාභය පිටත්ව ගියේ ආගමික ආශිර්වාද මැදය.
 
නිවසින් පිටතට පැමිණි ගෝඨාභයට මුලින් මුණගැසුණේ වතුර වීදුරුවක් අතේ තබාගත් බිරිය සහ නැගණියය. කෙළින්ම මැතිවරණ කොමිසම වෙත පැමිණි ගෝඨාභය සිය නාමයෝජනා පත්‍රය භාරදුන්නේය. මහින්ද එතැනට ආවේ නාමයෝජනා භාර දීමෙන් අනතුරුවය.
 
නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ගෝඨාභය පිළිගැනීම සඳහා වේදිකාවක් ඉදිකර තිබුණි. ගෝඨාභයට සහය පළ කරන අතිවිශාල ජනකායක් එතැන එක්රොක්ව සිටි අතර ඔවුන් අතරින් ඒ දෙදෙනා වේදිකාවට නැංවීම ගැටලු තිබුණි. ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශයේ සහායට ආවේ ප්‍රසන්නය.

මහින්දට පෙර ගෝඨාභය වේදිකාවට ගොඩවිය. දහස් සංඛ්‍යාත ජනකාය මැද්දෙන් පෙරමුණේ ගමන් කළ ප්‍රසන්න මඟ පාදමින් මහින්ද කෙසේ හෝ වේදිකාවට ගෙන ආවේය. අනතුරුව වේදිකාවට නැංග මහින්ද ජනතාවට ආචාර කිරීමෙන් පසුව නැවත වාහනයට නැංවූයේ ද ප්‍රසන්නය.

කස්තුරි