ස්වාභාවික සුන්දරත්වයෙන් අනූන ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන කිහිපයක් පාදක කර ගනිමින් ලංකාවේ විවිධ ජන කණ්ඩායම් සහ ඉවුම් පිහුම් රස රහස් කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන කොටස් පහකින් නිර්මාණය වී ඇත.

සැව් පෙරේරා නමින් ලෝකයම හඳුනන ශ්‍රී ලංකාවේ උපන් ජාත්‍යන්තර තලයේ සූපවේදිනියක වන සවින්ද්‍රි පෙරේරා සමග එක්ව ශ්‍රී ලාංකීය ඉවුම් පිහුම් කලාව සහ සංස්කෘතිය මුලික කරගෙන  හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් නිර්මාණය කළ මෙම සීමිත  වැඩසටහන් මාලාව නිල වශයෙන් විකාශය ආරම්භ කළේය. 

විවිධ ගමනාන්ත පාදක කරගෙන, ඒවාට අනූන ඉවුම් පිහුම් කලාව සොයා යන චාරිකාමය වැඩසටහනක් ලෙස නිර්මාණය කළ ‘A Week Worth Testing වැඩසටහන හරහා ශ්‍රී ලාංකීය ආහාරපාන, ලංකාවේ විවිධ ජන කණ්ඩායම් සහ ස්ථාන පිළිබඳව ගෝලීය ප්‍රජාව වෙත සන්නිවේදනය කරයි. කණ්ඩලම, කඳපොල සහ දකුණු වෙරළ තීරය යන කලාප තුන හරහා ගමන් කරන අතරේ ඒ ඒ කලාපවල අනන්‍යතාව ගොඩනගන ප්‍රාදේශීය අමුද්‍රව්‍ය, ජනතාව, සම්ප්‍රදායන් සහ අලංකාර පරිසර කලාප ගවේෂණය කරන සැව් පෙරේරාගේ ගමන මෙම වැඩසටහන් මාලාව පුරා නිරූපණය කෙරේ.

හෙරිටන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සතුව පවතින Heritance Kandalama, Heritance Tea Factory සහ Heritance Ayurveda යන ස්ථාන තුන ආශ්‍රිතව ඇති ස්වභාව සෞන්දර්ය වටිනාකම් සහ සංස්කෘතිකමය පොහොසත්කම් ඒකාබද්ධ කරමින් මෙම ව්‍යාපෘතිය දියත් වේ. මෙම එක් එක් හෝටල් ඒ ඒ කලාපවලට විවරවන දොරටු ලෙස ක්‍රියාත්මක වෙයි. එමගින් ඒ කලාපයේ ඇති දේශීය ගොවිපොළවල්, ධීවර ජනතාව, තේ වතු ආශ්‍රිත ජනතාව, ගම්බද මුළුතැන්ගෙවල්, සති පොළවල් ආදී ආහාර සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලැබෙන මූලාශ්‍ර මෙන්ම ආයුර්වේද සම්ප්‍රදායන් සියල්ල එකට කැටි කරගනිමින් අමුත්තන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන රසවත් ආහාර වේලක් බවට පත් කරන හෙරිටන්ස් හි සූප වේදින් සැව් පෙරේරා සමග එක්ව සිය අත්දැකීම බෙදා හදා ගනියි.

මෙම වැඩසටහන් මාලාවට සැව් පෙරේරා ඇගේ ප්‍රබල මෙන්ම ගැඹුරු පෞද්ගලික අත්දැකීම් මාලාවක් එකතු කරයි. ශ්‍රී ලාංකීය උරුමය සහිතව ජාත්‍යන්තර සූපවේදී වේදිකාව ජයග්‍රහණය කළ ඇය ඕස්ට්‍රේලියාවේ පැවති ලොව සුපතළ ‘මාස්ටර් චෙෆ්’ වැඩසටහන් මාලාවේ හොඳම සූපවේදීන් තිදෙනා අතරට පත්වූයේ ශ්‍රී ලාංකීය උරුමය සහිත කෑම වර්ග නව ආකාරයට ඉදිරිපත් කරමිනි. දැනට ඇඩිලේඩ් හි වාසය කරන ඇය නිරන්තරයෙන් ශ්‍රී ලාංකීය ඉවුම් පිහුම් කලාවේ උරුමය, ඒවායේ විවිධ රස ස්ථර ලෝකයට ඉදිරිපත් කරයි.

මෙම චාරිකාවේ පළමුවැන්න ආරම්භ වන්නේ Heritance Kandalama හෝටල් පරිශ්‍රයෙනි. ජෙෆ්රි බාවා නම් සුවිශේෂි වාස්තු විද්‍යාඥයා සතුව පැවති දර්ශනය ගැන මෙන්ම වැව් ආශ්‍රිත ධීවර ජනතාව, ගමේ ක්‍රමයට ආහාර පිසින ආකාරය, දර භාවිත කරමින් ඉවීම වැනි කාරණා ගැන මෙහිදී මූලික වශයෙන් කරුණු ඉදිරිපත් කරයි. භූමිය සහ එහි ආහාර සංස්කෘතිය අතර ඇති ගැඹුරු බැඳීම මෙම වැඩසටහන හරහා හෙළිදරව් කිරීම සුවිශේෂි කාර්යයක් වේ.

එයින් පසුව මෙම වාරිකාව යොමුවන්නේ Heritance Tea Factory වෙතටය. දැන් පරිසරය මීදුමෙන් වැසුණු කඳුකර පද්ධතියකට වෙනස් වෙයි. එම සීතල, මීදුම සහිත පරිසරය මේ කලාපයේ රසයට තීරණාත්මක බලපෑමක් ඇති කරයි. මෙහිදී තේ යනු හුදෙක්ම වගාවක් නොවී එය කඳපොල ජනතාව හා සැබැඳුණු ඉතිහාසයක් සහ ඔවුන්ගේ ජීවනෝපාය බවට පත්වෙයි. ඔවුන්ගේ නිෂ්පාදන මෙන්ම ආහාර පාන ගවේෂණය කරයි.

අවසාන පරිච්ඡේදය ආරම්භ වන්නේ දක්ෂිණ වෙරළ තීරය පාදක කරගත් Heritance Ayurveda හරහාය. දකුණු වෙරළ තීරයේ පවතින සුවපත් කිරීමේ හැකියාව, මානසික ඒකාග්‍රතාව සහ මුහුදේ රිද්මය වලනය මින් හැඩගස්වා ඇති කලාපයේ ආහාරවල සියුම් බව හඳුනා ගනියි. ආයුර්වේද දැනුම හරහා ආහාරවල සමබරතාව සහ පෝෂණය පවත්වාගෙන යන ආකාරය සැව් පෙරේරාගේ ජාත්‍යන්තර අත්දැකීම සමඟින් ගවේෂණය කරයි.