IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සංස්ථා ප්‍රකාශයක ඇත්තේ මොනවාද?

කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර- 6 වැනි කොටස 
මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද්දකි.
කොටස් වෙළෙඳපොළ ආයෝජනය සාර්ථක ආයෝජනයක් බවට පත් කර ගැනීමට සලකා බැලිය යුතු කරුණු රාශියක් තිබේ. පළමුව ආයෝජනය ගැන දැනුමක් ලබා ගත යුතුය. කොටස්, ලාභාංශ, ආයෝජන කළඹ, අවදානම (risk) වැනි මූලික අංශ හඳුනා ගෙන තම ආයෝජන අරමුණ තීරණය කර ගත යුතුය. ඔබ කොටස් මිලදී ගන්නේ දිගුකාලීන ආයෝජනයටද? එසේ නැතහොත් කෙටි කාලීන ගනුදෙනු (trading) සඳහාද?, එසේත් නැතහොත් විශ්‍රාම දිවිය සැලසුම් කර ගැනීම හෝ ආදායම වැඩිකර ගැනීමටද? යනාදී වශයෙන් අරමුණු තීරණය කිරීම වැදගත්ය. හදිසි මුදල් (එදිනෙදා ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය මුදල්) කොටස් වෙළෙඳපොළ ආයෝජනයට යොමු කිරීම සුදුසු නොමැති බව, කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් ලාබ ලැබිය හැකි වගේම අලාභ ලැබීමටත් ඉඩ ඇති බව, තම මුදල් එකම සමාගමක කොටස් මිලදී ගැනීමට නොයොදවා අවදානම අවමකර ගැනීමට ආයෝජන විවිධාංගීකරණය වැනි ක්‍රම තිබෙන බව  (Diversification)  ආයෝජකයන් තේරුම් ගත යුතුය. 
තවද, කොටස් මිල නිරන්තරයෙන් වෙනස් වන බව සහ සමාගම් පිළිබඳව පර්යේෂණ සිදුකර වටිනාකමක් සහිත (strong fundamentals) කොටස් තෝරා ගැනීම ඉතා වැදගත් බව (උදා: සමාගමක ලාබය,ණය, පාරිභෝගික ඉල්ලු‍ම, කළමනාකරණය වැනි කරුණු පරීක්ෂා කිරීම), වෙළෙඳපොළ ඉහළ යන විට සහ පහළ යන විට හදිසි ආයෝජන තීරණ ගනිමින් කොටස් විකුණා දැමීමට යාම හෝ දැඩි තණ්හාවෙන් යුතුව අධික ලෙස කොටස් මිලදී ගැනීම නවත්වා ගැනීමට කටයුතු කළ යුතුය. බුද්ධිමත්ව තම ආයෝජන තීරණ ගනිමින් කොටස් ගනුදෙනු කිරීමට හොඳ මානසික පාලනයක් අත්‍යවශ්‍යය. කෙටි කාලීන මිල වෙනස්වීම්වලට ඉක්මන් ප්‍රතිචාර නොදක්වා, දිගුකාලීනව හොඳ සමාගම් තෝරාගෙන, වසර කිහිපයකට ආයෝජනය කළහොත් සුදුසු ලාබයක් කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් ලැබිය හැකිය.
කොටස් මිලදී ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි බලපත්‍ර ලාභී කොටස් තැරැව්කාර ආයතනයක (licensed stockbroker), ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකු (Registered Investment Advisor) තෝරාගෙන කොටස් මිලදී ගැනීමට කටයුතු කළ යුතුය. වර්තමාන වෙළෙඳපොළ හොඳින් අධ්‍යයනය කරන විට පෙනී යනු කරුණක් වන්නේ සමාජ මාධ්‍ය භාවිතය ඉතා ඉහළ ගොස් ඇති බවකි. එම සමාජ මාධ්‍යය හරහා විවිධ පුද්ගලයන් ලබාදෙන ආයෝජන උපදෙස් හා නිර්දේශ මත පදනම්ව තම ආයෝජන තීරණ ගැනීමේදී ඉතා පරෙස්සම් විය යුතුය. ඔවුන් නියම සුදුසුකම් සපුරා ඇති අයද යන්න තහවුරු කර ගත යුතුය. ඔවුන් පිළිබඳ තොරතුරු  www.sec.gov.lk  යන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි List of RIAs  හී අන්තර්ගත කර ඇත. තවද යම් අවස්ථාවක ඔබ විසින් මිලදි ගත් කොටස් පහළ මිලකට විකිණීමට සිදු වුවහොත් ඔබට පාඩුවක් විඳීමට සිදු වුවහොත් එයද අත්දැකීමක් විදිහට ගත යුතුය. නව දැනුමක් විදිහට ගත යුතුය. කෙටිකාලීන උච්චචාවනවලට බිය නොවී දිගුකාලීන ආයෝජන වෙත යොමු විය යුතුය. කොටස් වෙළෙඳපොළ යනු නිරන්තරයෙන් වෙනස්වෙන ක්ෂේත්‍රයකි. මේ නිසා නව තොරතුරු, ආර්ථික ප්‍රවණතා හා වෙළෙඳපොළ පරිසරය ගැන ඉගෙන ගැනීම හා යාවත්කාලීන වීම අනිවාර්යය. එසේ යාවත්කාලීන වෙමින් කටයුතු කළහොත් කොටස් වෙළෙඳපොළ ඔබගේ හොඳම ආයෝජනය බවට පත් කර ගැනීමට ඉතා පහසුය.  
එසේ හොඳම ආයෝජනය බවට කොටස් වෙළෙඳපොළ ආයෝජනය පත් කර ගැනීමට ආයෝජකයන්ට මගපෙන්වීමක් වශයෙන් අප කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර විස්තර කරදීමේ ලිපි මාලාවක් පසුගිය සති කිහිපයේදී ඉදිරිපත් කළෙමු. ඒ අනුව අපගේ පසුගිය ලිපියෙන් පැහැදිලි කර දුන්නේ, බොහෝ පාර්ශවවලට කොටස් වෙළෙඳපොළ වැදගත් බවත්, ප්‍රාථමික වෙළෙඳපොළ අවස්ථාව හරහා සමාගමක් කොටස් නිකුත් කරන්නේ ඇයිද යන්නත්, මූලික කොටස් නිකුතුවක පියවර මොනවාද, සංස්ථා ප්‍රකාශයක (Prospectus) වැදගත්කම සමාගමකට සහ ආයෝජකයා බලපාන ආකාරය සහ කොටස් සඳහා අයදුම් කිරීම යනාදී කරුණු පිළිබඳවයි. මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ මූලික කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගැනීමේදී වැදගත්ම ලියවිල්ල වන සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ඔබට අවබෝධයක් ලබාදීමයි. 


සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත කරුණු
මූලික කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගැනීමේදී සමාගම පිළිබඳව සත්‍ය සහ නිවැරදි තොරතුරු ලබාගත හැකි ප්‍රධානම මූලාශ්‍රය වන්නේ සංස්ථා ප්‍රකාශයයි.  එහි සඳහන් කරුණු සියල්ල නිසි පරිදි කියවා අවබෝධයක් ලබා ගැනීමෙන් කොටස් මිලදී ගැනිම ගැටලු‍වකින් තොරව සහ සාර්ථකව අවසන් කරගැනීමට වැදගත් වේ.  
සංස්ථා ප්‍රකාශයක මුලින්ම සඳහන් කරනු ලබන්නේ කොටස් නිකුතුව ගැන කෙටියෙන් හැඳින්වීමකි. එනම්, නිකුත් කිරීමට අපේක්ෂා කරන කොටස්/ණයකර සංඛ්‍යාව, කොටස් නිකුත් කරන ආකාරය සහ කොටස් වර්ගය සාමාන්‍ය කොටස්ද (ඡන්ද බලය සහිත/ඡන්ද බලය රහිත) නැතහොත් වරණීය කොටස්ද යනාදී කරුණු මුලින්ම සඳහන් කරයි. උදාහරණ ලෙස XYZ නැමති සමාගම ඡන්ද බලය සහිත කොටස් 51,000,000 ක මූලික කොටස් නිකුතුවක් එක් කොටසක් රු. 11.00 බැගින් නිකුත් කරන්නේ නම් සමාගම රැස්කර ගැනීමට අපේක්ෂිත අරමුදල රු. මිලියන 561,000,000.00කි. එසේම සමාගමක් අවම දායකත්වය දැක්විය හැකි කොටස් ප්‍රමාණයද සඳහන් කරන අතර ඒ අනුව ඉහත කී සමාගම අවම කොටස් 1,000කට  දායකත්වය දැක්විය යුතු යැයි සංස්ථා ප්‍රකාශයෙහි සඳහන් කර තිබේ නම් එම ආයෝජකයා ගෙවි යුතු මුළු මුදල වන්නේ (රු.11.00x1,000) රු. 11,000 කි.  
එසේම සාමාන්‍යයෙන් කොටස් නිකුතුවක් සඳහා අයදුම් කිරීම සඳහා සති කිහිපයක කාලයක් ලබාදෙන අතර ඉහත උදහරණයට අනුව ගත් විට එම සමාගමේ කොටස් නිකුතුවේ ආරම්භක දිනය 2025 ඔක්තෝබර් 30 නම්, කොටස් නිකුතුවේ අවසාන දිනය 2025 නොවැම්බර් 19 විය හැකිය. සමහර ආයෝජකයන් මෙම කාල රාමු ගැන සැලකිල්ලක් නොදක්වා කොටස් නිකුතුවේ කාලය අවසන් වන තුරු බලා සිට අවසන් දින කිහිපය තුළ කොටස් අයදුම් කිරීමට උත්සාහ කරන අතර  එසේ කළහොත් ඔහුට කොටස් ලැබීමට ඇති සම්භාවිතාව අඩුය. ඊට හේතුව කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් පැවතියහොත් කොටස් නිකුතුව ආරම්භ වී පැය කිහිපයක්, එදිනම හෝ දින කිහිපයක් තුළ සමාගම කොටස් නිකුතුව අවසන් කිරිමට කටයුතු කිරීමයි. සංස්ථා ප්‍රකාශයක Earliest Closing Date ලෙස සඳහන් වන්නේ එම දිනයයි. කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ සිදු කර ඇති මූලික නිකුතු බොහෝමයකට අධි දායකත්වයක් ලැබුණු අතර ඒවා නියමිත අවසන් දිනයට කලින් අවසන් කිරීම දැකගත හැකි විය. 
එසේම කොටස් වෙන් කිරීමේ පදනමද සංස්ථා ප්‍රකාශයෙහි සඳහන් කරන අතර ඒ අනුව අයදුම්කරුවන්ට කොටස් වෙන් කිරීම සිදුකරනු ලබයි. එම පදනම ලෙස සැලකෙන්නේ සමාගමක් කොටස් අයදුම්කළ හැකි පාර්ශව කාණ්ඩ කිහිපයක් නම් කරනු ලැබිමයි. ඒ අනුව ඉල්ලු‍ම් කරුවන් තමා අයත් කාණ්ඩය යටතේ කොටස් සඳහා ඉල්ලු‍ම් කළ යුතුය. උදාහරණ ලෙස නිකුතුවේ මුළු කොටස් සංඛ්‍යාවෙන් සියයට 10ක් ඒකක භාර සමාගම් (Unit Trusts) වෙනුවෙන්ද, සුළු පරිමාණ තනිපුද්ගල ආයෝජකයන් සඳහා සියයට 40ක්ද, සේවයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සියයට 10ක්ද හා සුළු පරිමාණයේ නොවන ආයෝජකයන් (Non-Retail) වෙනුවෙන් සියයට 40ක්ද වශයෙන් මුළු කොටස් සංඛ්‍යාව සියයට 100ක් ලෙස වෙන් කරනු ලැබිය හැකිය. තවද කොටස් නිකුතු සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමේ නීතිවලට අනුකූලව, ලයිස්තුගත වන්නේ ප්‍රධාන පුවරුවෙන්ද එසේ නැතහොත් දිරිසවි පුවරුවෙන්ද යන්නත් එම කෙටි විස්තරය තුළ අන්තර්ගත කරනු ඇත. එයද කොටස් මිලදී ගන්නා ආයෝජකයාට වැදගත් කාරණාවක් වන අතර තමා ආයෝජනය කරනු ලබන සමාගම කුමන මට්ටමේ එකක්ද යන්න ඉන් තේරුම් ගත හැකිය.  


කොටස් නිකුතුවට සම්බන්ධ පාර්ශව
නව කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගැනීමට පෙර, ආයෝජකයන් අදාළ සමාගම සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක්ද, එම සමාගම ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කොහේද, සමාගමේ ලියාපදිංචි අංකය, මූල්‍ය උපදේශක සහ නිකුතුවේ කළමනාකරු කවුද, නිකුතුවේ නීතිඥයන්, නිකුතුවේ විගණකවරුන් සහ ගණකාධිකාරිවරුන්, නිකුතුවේ බැංකුකරුවන්, සමාගමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ කුමන සමාගමද සහ එහි වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය ආදී විස්තර පිළිබඳව අවධානය යොමු කළ අයුතුය. මෙම විස්තරද සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත වැදගත් කරුණුය. සමාගම හා සම්බන්ධ මෙම තොරතුරු පිළිබඳවද කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන ආයෝජකයන් විසින් දැන සිටීම සමහර අවස්ථාවලදී වැදගත් වේ. උදාහරණ ලෙස යම් පුද්ගලයකුගේ ලිපින, බැංකු ගිණුම් විස්තර ආදිය වෙනස් වුවහොත් ඒ බව සමාගමේ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතුය. එවැනි අවස්ථාවක සමාගමේ ලේකම් ලෙස කටයුතු කරන ආයතනය ගැන නොදැන සිටියහොත් එම තොරතුරු සොයා ගැනීමට කාලයක් ගතවේ. 


කොටසක නිකුතු මිල
සමාගමක් මූලික කොටස් නිකුතුවක් සිදුකරන මිල පිළිබඳව සංස්ථා ප්‍රකාශයේ නිවැරදිව සඳහන් කරයි.  අප ඉහත උදාහරණයට ගත් සමාගමේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටසක් නිකුත් කළේ රු. 11.00 ක මිලකටය.  සමාගමක් විසින් මූලික කොටස් නිකුතුවක් සිදුකරන විට කොටසක මිල තීරණය කළ යුතු වන්නේ සමාගම් පනතේ විධිවිධානයන් අනුවය. ඒ අනුව කොටස් නිකුතු මිල සමාගමට සහ සමාගමේ සියලු‍ම දැනට සිටින කොටස් හිමියන්ට සාධාරණ විය යුතු බව සඳහන් කර ඇත. එය සමාගම් පනතේ Fare Value යන්නෙන් සඳහන් කර ඇත. සමාගමේ  අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොටසක නිකුතු මිල තීරණය කරනු ලබන්නේ කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකයන් සමඟ සාකච්ඡා කරමිනි. මෙම මිල තීරණය කිරීමේදී අදාළ සමාගමේ මූල්‍ය වර්ෂයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම් ඇතුළු විස්තරද සලකා බලයි. 
සමාගමක කොටසක නිකුතු මිල සාධාරණද යන්න ආයෝජකයාට තහවුරු කර ගැනීමට අවශ්‍ය අනෙකුත් තොරතුරුද සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත කරයි. එනම් ප්‍රමාණාත්මක (Quantitative)  සහ ගුණාත්මක (Qualitative) සාධකය. උදාහරණ ලෙස සමාගමක කොටසක ඉපයුම්, මිල ඉපයුම් අනුපාතය, ශුද්ධ වත්කම් අගය, හිමිකම් ප්‍රතිලාභ අනුපාතය ආදී ප්‍රමාණාත්මක සාධක සහ ශක්තිමත් පාරිභෝගික පිරිසක් සිටීම හා ඔවුන් සමඟ පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතාව (Strong customer base and long-lasting relationships),  තිරසාරභාවය සහ නවෝත්පාදනය කෙරෙහි යොමු කර ඇති අවධානය (Focus on sustainability and innovation)  සමාගම විසින් ලබා ඇති සම්මාන සහ ජයග්‍රහණ  ආදිය ගුණාත්මක සාධක ලෙස පෙන්වා දිය හැකිය. මූලික කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගන්නා ආයෝජකයකු මෙවැනි සාධක පිළිබඳවද අවධානය යොමු කළ හැකි නම් එය ඉතා වැදගත්ය. එසේ නොමැතිව තම මිතුරෙකු හෝ තමන් දන්නා හඳුනන කෙනකු හෝ වෙනත් පුද්ගලයකු පැවසූ  පමණින් හෝ මාධ්‍ය හරහා ලැබෙන යම්කිසි ප්‍රචාරණයක් හේතුවෙන් කිසිදු සමාගමක කොටස් මිලදී ගැනීම සුදුසු නැත. කරුණු හොඳින් සොයා බලා තහවුරු කරගත් තොරතුරු මත පදනම්ව කොටස්වලට අයදුම් කළ යුතු අතර සංස්ථා ප්‍රකාශය එයට සහායක් ලෙස යොදා ගත හැකිය. 

මතු සම්බන්ධයි



අදහස් (0)

සංස්ථා ප්‍රකාශයක ඇත්තේ මොනවාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site