- ලංකාවට මූල්‍ය සහාය ලබාදීම විදේශ ගනුදෙනු තත්වය, රජයේ ආදායම් හා වියදම් සහණය ගෙවීමේ හැකියාව සැලකීමෙන් පසුවයි
- ලෝක බැංකුවේ ස්වාධීන ඇගයීමකින් පසු අයවැයට සහාය
- IMF වැඩසටහනක් පැවැතීම, රටේ ආර්ථික ප්‍රතිපත්ති සුදුසු මට්ටමක පවතින බවට ප්‍රබල සංඥාවක් විය හැකියි
- ආර්ථික තත්වය දැනට පවතින මට්ටමට සමානව පවතින්නේ නම් ඉදිරියටත් එම සහාය
- මුල් මාස හයේදී ආයෝජන සියයට 25.5කින් ඉහළ ගිහින්
- කෘෂිකර්ම ක්ෂේත්‍රය එම කාලයේදී සියයට 0.6කින් හැකිළිලා
- ආර්ථික ප්‍රතිසංස්කරණ වේගවත් කළොත් සියයට 5, 6 ක ආර්ථික වර්ධනයක්
විමුක්ති එස්. රුද්‍රිගු
මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේදී වැඩසටහනක් පවත්වාගෙන ගියත් නොගියත්, රටේ ආර්ථික තත්වය පිළිබඳ තමන් සිදුකරන ස්වාධීන ඇගයීම මත මූල්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුවට හැකි බව එහි ආර්ථික විද්‍යාඥ යාකොබ් එන්ගල් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබාදීමේ තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් පැවැතීම මත පමණක් රඳා නොපවතින බවත්, විදේශ ගනුදෙනු තත්වය, රජයේ ආදායම් හා වියදම් සහ ණය ගෙවීමේ හැකියාව ඇතුළු කරුණු සලකා බලා එම තීරණය ගන්නා බවත් ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් ඉදිරියේදීත් ලෝක බැංකුවේ ස්වාධීන ඇගයීම මත මෙරටට අයවැය සහාය ලැබෙනු ඇති බවද ලෝක බැංකු ආර්ථික විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් පැවැතීම, රටේ ආර්ථික ප්‍රතිපත්ති සුදුසු මට්ටමක පවතින බවට ප්‍රබල සංඥාවක් විය හැකි නමුත්, ලෝක බැංකුව ඒ පිළිබඳ වෙනම ඇගයීමක් සිදු කරන බවද ඔවුහු පැවැසූහ.
ශ්‍රී ලංකාවේ අයවැයට සහාය ලබාදීම සඳහා ලෝක බැංකුව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, එහි පළමු වැඩසටහනට පසුගිය ජූනි මාසයේදී ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් ඔවුහු පැවැසූහ. එම මාලාවේ දෙවැනි වැඩසටහන මේ වනවිට සකස් කරමින් පවතින බවද ඔවුහු කීහ.
ආර්ථික තත්වය දැනට පවතින මට්ටමට සමානව පවතින්නේ නම් එම සහාය ඉදිරියටත් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත්, වත්මන් මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වූ පසු රජය එම අරමුදල සමග ඇතිකරගන්නා වැඩපිළිවෙළ මත පමණක් එය තීරණය නොවන බවත් ඔවුහු පැහැදිලි කළහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් වැඩසටහනක් පවත්වාගෙන යන්නේද යන්න ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු ස්වාධීන තීරණයක් බවද ලෝක බැංකු ආර්ථික විද්‍යාඥයෝ අවධාරණය කළහ.
මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග කටයුතු කරන අතරම, ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා රජය සමග ඉදිරියටත් කටයුතු කරන බව ඔවුහු පැවසූහ.
මෙම වසරේ මුල් මාස හය තුළ ආර්ථිකය සියයට 4.7කින් වර්ධනය වී ඇති අතර, එම කාලයේ ආයෝජන සියයට 25.5කින් ඉහළ ගොස් ඇති බව ඔවුහු සඳහන් කළහ. ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් ආයෝජන සහ පවුල්වල පරිභෝජන වියදම් දායක වී ඇති නමුත් කෘෂිකර්ම ක්ෂේත්‍රය එම කාලයේදී සියයට 0.6කින් හැකිලී ඇතැයිද ඔවුහු පැවැසූහ.
ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ වේගවත් කළහොත් සියයට 5, 6 ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකියාව තිබෙන බවත් මන්දගාමී වුවහොත් හා පහළ යෑමේ අවදානම්වලට මුහුණදීමට සිදුවුවහොත් පුරෝකථනය කළ ආර්ථික වර්ධනයට වඩා මෙරට ආර්ථික වර්ධනය පහළ යෑමේ අවදානමක් තිබෙන බවත් ඔවුහු සඳහන් කළහ.
රජයේ බදු ආදායම ඉහළ යෑම රාජ්‍ය මූල්‍ය තත්වය ශක්තිමත් කිරීමට දායක වී ඇතත්, සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් වැය කිරීම අඩු මට්ටමක පවතින බව ඔවුහු පැවැසූහ. ඊට ප්‍රධාන හේතුව මුදල් හිඟයට වඩා ව්‍යාපෘති සකස් කිරීමේ, ප්‍රසම්පාදන කටයුතුවල සහ ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා බව ලෝක බැංකුවේ ඇගයීම වී ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි යථා තත්වයට පත් කිරීම සඳහා වෙන්කළ රුපියල් බිලියන 500 ක මුදලින් වසර මැද වනවිට ශ්‍රී ලංකාව වියදම් කර ඇත්තේ සියයට 8 ක් පමණක් බවද ලෝක බැංකු ආර්ථික විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ. අස්වැසුම වැඩසටහන හරහා සමාජ ආරක්ෂණයේ දියුණුවක් ඇතිවී තිබුණද, ආධාර අවශ්‍ය පවුල් නිවැරදිව හඳුනාගැනීම සහ ප්‍රතිලාභීන්ගේ තත්වය වාර්ෂිකව යළි පරීක්ෂා කිරීම තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඔවුහු සඳහන් කළහ.
තවදුරටත් ආධාර අවශ්‍ය නොවන පවුල් ක්‍රමානුකූලව වැඩසටහනෙන් ඉවත් කිරීමද වැදගත් බවද ඔවුහු පැවැසූහ. මුදල් ආධාරවලට අමතරව කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට, මුදල් කළමනාකරණය ඉගෙන ගැනීමට සහ ණය පහසුකම් ලබා ගැනීමට සහාය දීමෙන් දිළිඳු පවුල් දරිද්‍රතාවෙන් ස්ථිරවම පිටතට ගැනීමට හැකි බවද ඔවුහු සඳහන් කළහ.
ඒ සඳහා ලෝක බැංකුව රජය සමග නියමු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔවුහු සඳහන් කළහ.
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස යළි වර්ගීකරණය කිරීම ආර්ථික ප්‍රගතිය පිළිබඳ හොඳ සලකුණක් බවත්, එම වෙනස නිසා ජාත්‍යන්තර හවුල්කරුවන්, සංවිධාන සහ මූල්‍ය ආයතන හරහා ලැබෙන මූල්‍ය පහසුකම් වහාම වෙනස් නොවන බවත් ඔවුහු පැහැදිලි කළහ.
රටේ ආදායම් මට්ටමට අමතරව ණය තත්වය ඇතුළු වෙනත් කරුණුද ඒ සඳහා සලකා බැලෙන බව ඔවුහු පැවැසූහ. එලෙස ලබා දෙන යම් මූල්‍ය සහායක් ශ්‍රී ලංකාවට වඩා අවශ්‍ය රටවල් සිටිය හැකි බවද ඔවුහු පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd