• ඉන්ධන සහනාධාරය යටතේ ඉදිරි මාස තුනට රුපියල් බිලියන 15ක්, රුපියල් බිලියන 13.5ක් සහ රුපියල් බිලියන 12.15 ක් 
  • සහනාධාරය ලබා දෙන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී ඉන්ධන මිල අඩු කිරීමක් නැහැ
  • “අන්ත දිළිඳු කාණ්ඩයේ” පවුල් ඒකකයක් වෙනුවෙන් නොවැම්බරයේදී රුපියල් 3000ක අමතර දීමනාවක්
  • “දුප්පත් කාණ්ඩයේ” පවුල් ඒකකයකට නොවැම්බර් සහ දෙසැම්බර් අමතරව රුපියල් 2,000ක් බැගින්

මැදපෙරදිග පවතින යුද තත්වයෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා රජය විසින් රුපියල් බිලියන 47ක වියදමක් දැරීමට ඇස්තමේන්තු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව මෙම මාස තුන සඳහා සුපිරි ඩීසල් හැර ඔටෝ ඩීසල් ඉන්ධන සඳහා ලබාදීමට තීරණය කර ඇති තාවකාලික සහනාධාරය යටතේ ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 12.15 ක් ඉක්මවා නොයන පරිදි ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි. මේ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 41 කි.

“ඔක්තෝබර් 01 වැනි දින සිදු කරන ලද ඉන්ධන මිල වැඩි කිරීමෙන් අනතුරුව, ජාත්‍යන්තර මිල වෙනස්කම් කිසියම් මට්ටමකට නිරූපණය වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරනු ලබන අතර, සහනාධාරය ලබා දෙන කාලය තුළ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී ඉන්ධන මිල අඩු කරනු නොලැබේ.” 

එසේම අස්වැසුම සහනලාභී පවුල් සඳහා වන ඉලක්කගත මූල්‍ය දීමනා ලබාදීම් අතිරේක ඉහළ නැංවීම්වලින් වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව, “අන්ත දිළිඳු කාණ්ඩයේ” පවුල් ඒකකයක් වෙනුවෙන් නොවැම්බර් මාසය සඳහා රුපියල් 3000ක සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් 3,250 ක අමතර දීමනාවක්ද ලබාදීමට තීරණය කර තිබේ. මීට අමතරව “දුප්පත් කාණ්ඩයේ” පවුල් ඒකකයක් සඳහා නොවැම්බර් මාසය සඳහා රුපියල් 2,000ක සහ දෙසැම්බර් මාසය සඳහා තවත් රුපියල් 2000ක අමතර දීමනාවක් ගෙවීමට සැලසුම් කර ඇත. 

මේ සඳහා රුපියල් බිලියන 6ක අමතර ප්‍රතිපාදන අවශ්‍ය වන බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

“ඒ අනුව මෙම සියලු‍ පහසුකම් සැලසීම සඳහා රජය විසින් රුපියල් බිලියන 47ක වියදමක් දැරීමට ඇස්තමේන්තු ගත කර ඇති අතර, එම වියදම 2026 අයවැය යටතේ අනුමත කර ඇති වියදම් සීමාව තුළ ප්‍රතිපාදන නැවත ගැලපීමෙන් මූල්‍යනය කරනු ඇත.” අමාත්‍යාංශය පවසයි.

මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයටත්, සමස්ත ආර්ථිකයටත් වැඩි වී තිබෙන බලපෑම අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් මේ දක්වා රජය විසින් රුපියල් බිලියන 105 කට අධික වියදමක් දරා ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.