• නව සහාධිපත්‍ය මිල දර්ශකය සියයට 3.2 කින් ඉහළට 
  • සමස්ත අලෙවිවීම් අතරින් සියයට 78ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්
  • සම්පූර්ණ කෙරුණු ව්‍යාපෘති අතරින් සියයට 90ක් දැනටමත් අලෙවි වෙලා

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී කොළඹ දිස්ත්‍රික්කයේ නව සහාධිපත්‍ය මිල දර්ශකය කැපී පෙනෙන ලෙස දර්ශකාංක 280.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ අගයට සාපේක්ෂව සියයට 3.2 ක ඉහළ යාමකි.

කෙසේ වෙතත් කොළඹ නගරය ඇතුළුව අනෙකුත් ප්‍රධාන නගර ආශ්‍රිත සහාධිපත්‍ය දේපළ අලෙවි දර්ශකය 190.3ක් ලෙස සටහන්ව ඇති අතර, මෙය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 6.7ක පහළ වැටීමක් බව එම කාර්තුව සඳහා වන සහාධිපත්‍ය වෙළෙඳපොළ සමීක්ෂණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර දෙවැනි කාර්තුව තුළ සහාධිපත්‍ය වෙළෙඳපොළේ කොළඹ දිස්ත්‍රික්කය වඩාත් සක්‍රීයව පැවැති අතර, සමස්ත අලෙවිවීම් අතරින් සියයට 78ක්ම එම දිස්ත්‍රික්කය තුළ සිදුව තිබේ. එහිදී වැඩිම නිවාස අලෙවියක් සිදුව ඇත්තේ රුපියල් මිලියන 25ත් රුපියල් මිලියන 50ත් අතර මිල ගණන් යටතේ පැවැති නිවාස සම්බන්ධයෙනි. එය සමස්තයෙන් සියයට 40 ක් නියෝජනය කරයි. එසේම රුපියල් මිලියන 25ට අඩු වටිනාකමක් සහිත කාණ්ඩයේ සහාධිපත්‍ය අලෙවිය පෙර වසරේ පැවැති සියයට 17 ක සිට සියයට 5ක් දක්වා අඩු වී තිබේ. 

මේ අතර, සම්පූර්ණ කෙරුණු ව්‍යාපෘති අතර ඇති බොහෝ නිවාස ඒකක දැනටමත් අලෙවි වී ඇතැයිද මෙම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. එහිදී සම්පූර්ණ කෙරුණු තනි සහාධිපත්‍ය ව්‍යාපෘති අතරින් සියයට 96ක් අලෙවි වී ඇති අතර, සම්පූර්ණ කෙරුණු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති අතරින් සියයට 81 ක් අලෙවි වී තිබේ. එසේම දැනට ඉදි කෙරෙමින් පවතින ව්‍යාපෘති තුළ ඇති නිවාස ඒකක අතරින් සියයට 55ක් මුදල් ගෙවා වෙන් කරගෙන ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම සහාධිපත්‍ය ඉදිකිරීම් සඳහා වැඩියෙන්ම අරමුදල් සපයා ඇත්තේ පෙර-අලෙවි තැන්පතු හරහා වන අතර එය සියයට 43කි. එසේම බැංකු ණය හරහා සහ කොටස් හරහා එම අරමුදල් සම්පාදනය කිරීම් පිළිවෙළින් සියයට 28ක් සහ සියයට 29ක් ලෙස සටහන්ව තිබේ. 

මෙහිදී සහාධිපත්‍ය මිලදී ගත් බහුතරය ශ්‍රී ලංකාවේ පදිංචි පිරිස් ලෙස හඳුනාගෙන ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂව එය යම් අගයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය සහිත සහ විදේශිකයන් මෙම නිවාස මිලදී ගැනීම් පෙර වසරට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කර තිබේ. මෙලෙස මිලදී ගත් නිවාස අතරින් බොහෝ දෙනා ඒවා මිලදී ගෙන ඇත්තේ ඉක්මනින් පදිංචි වීම සඳහා බවත් මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ. එසේම අනාගත ජීවත්වීම සහ ආයෝජන ලෙසත් ඇතැමුන් මේවා යොදාගෙන ඇත. 

එහිදී පෙර වසරට සාපේක්ෂව ආයෝජන ලෙස මෙම සහාධිපත්‍ය යොදා ගැනීම යම් තරමකින් අඩුවී ඇත. කෙසේ වෙතත් කුලියට දීම සඳහා මෙම නිවාස මිලදී ගැනීම් පෙර වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව සඳහන් කරන ආකාරයට මෙම නිවාස මිලදී ගත් පිරිසගෙන් සියයට 80කට ආසන්න පිරිසක් තවදුරටත් එම ඒකක මිලදී ගන්නේ තමන් සතු මුදලිනි. එසේම සියයට 20කට වැඩි පිරිසක් මේ සඳහා බැංකු ණය යොදා ගන්නා බවත් අනාවරණය වී තිබේ.