භානුක අමරසිංහ
මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලින් ආර්ථිකය මීළග මට්ටම වෙත යාම සඳහා වන මාර්ගයක් නිර්මාණය කරනු ඇති බවත්, ඒ හරහා මැදිකාලීනව සහ දීර්ඝ කාලීනව මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 7කට වඩා වැඩි අගයකට ගෙන ඒමට සැලසුම් කර තිබෙන බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
ඊයේ (11) දිනයේදී කොළඹදී පැවැත්වුණු පසු අයවැය සංසදයක ප්‍රධාන දේශනය කරමින් ලේකම්වරයා මෙම කරුණු සඳහන් කළේය. DailyFT පුවත්පත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදිශිෂ්‍ය සංගමය එක්ව මෙම සංසදය සංවිධානය කර තිබුණි.
“සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් ශ්‍රී ලංකා ජනතාව බලාපොරොත්තු වන ඉලක්ක සාර්ථක කරගැනීමට අවස්ථාවක් හිමි වෙන්නේ නෑ. ඒ නිසා තමයි මෙම අයවැය ප්‍රධාන කර ගෙන සිදු කරන ක්‍රියාකාරකම් හරහා මැදිකාලීනව සහ දිගු කාලීනව සියයට 7කට වැඩි ආර්ථික වර්ධන වේගයක් ළගා කරගැනීමට අපි සැලසුම් කර තිබෙන්නේ. ඒ සඳහා වන උපායමාර්ග සාර්ථක කරගැනීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.” ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
විශේෂයෙන්ම මෙවර අයවැය සකස් කර ඇත්තේ රට මීළග අදියර වෙත රැගෙන යාමට බවත්, එය තනි වචනයකින් ‘වර්ධනය’ ලෙස හැඳින්විය හැකි බවත් ආචාර්ය සූරියප්පෙරුම මෙහිදී පවසා සිටියේය.
“අපි කොහොමද මේ බලාපොරොත්තු වන වර්ධනය වෙත ආර්ථිකය රැගෙන යාම සඳහා සැලසුම් කරන්නේ. එම ඉලක්කය වෙත යන මූලික උපායමාර්ග හයක් පිළිබඳව මෙවර අයවැයේ සඳහන්. ඒ ගමනාන්තය වෙත යන්න දැක්මක්, ගමන් මාර්ගයක් අප සතුයි.”
ඒ අනුව සියල්ල එක් වූ වර්ධනය, අපනයන විවිධාංගීකරණය, ණය තිරසාරත්වය, නිෂ්පාදන ආර්ථිකය, ග්‍රාමීය ආර්ථිකය, ඩිජිටල් තාක්ෂණය සහ ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම එම කරුණු හය බව ඒ මහතා පෙන්වා දුන්නේය.
“මේ කරුණු සියල්ලම එකට එක් වුණ අවස්ථාවේදී අපට අපගේ ආර්ථිකය මීළග මට්ටමට රැගෙන යා හැකි මාර්ගය නිර්මාණය වේවි.”
විශේෂයෙන්ම ස්ථිරබව යන්න මෙවර අයවැයේ දක්නට ලැබුණු ප්‍රධානතම කරුණ බව පෙන්වා දුන් ලේකම්වරයා, බදුකරණයේ සහ ප්‍රතිපත්ති ගමන් මාර්ගයේ ප්‍රධාන වෙනස්කමක් සිදු කර නොමැති බවද සඳහන් කළේය.
“අපි මෙවර අයවැය සකස් කිරිම සඳහා කර්මාන්තකරුවන්, පාර්ශ්වකරුවන්, ජනතාව ඇතුළු බොහෝ පාර්ශ්ව සමගින් සාකච්ඡා කළා. මේ උපදේශනය හරහා අදහස් නිර්මාණය කෙරුණා. ඒවා තමයි අයවැය බවට පත්වුණේ.”
ඒ අනුව මෙවර අයවැයෙන් අංශ කිහිපයක් පිළිබඳව විශේෂයෙන්ම ඉලක්ක කෙරෙන බවත්, එම ඉලක්කගත කණ්ඩායම්, සුළු හා මධ්‍ය පරිමාණ අංශය මෙන්ම මහාපරිමාණ ව්‍යාපාර වෙත සහන සැලසීමට කටයුතු කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
“ඒ සියල්ලම අතරේ වඩාත් වැදගත් වෙන්නේ ව්‍යාපාර වෙත ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගීමයි. මේ අයවැය ඒ වර්ධනය ඉලක්ක කරගත්තක්. ඔබලාට සහ ඔබලාගේ ව්‍යාපාර වෙත පවතින බලාපොරොත්තුව වඩාත් විශාල, හොඳ සහ වැඩි ලාභදායී තත්වයට එය පත් කරගැනීමයි. එමගින් ආර්ථිකය වර්ධනය වේවි. ඒ හරහා වැඩි රැකියා බිහි කරමින් ඇතැම් විට රටින් පිටටත් යාමට අවස්ථාව උදා වේවි.”
කෙසේ වෙතත් මෙම ගමනේදී තවදුරටත් ශක්තිමත් විය යුතු සහ දැඩි විය යුතු කරුණු කිහිපයක්ම පවතින බවත්, ණය තිරසාරකරණය ඉන් එකක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
“රජය, මුදල් අමාත්‍යාංශය සහ විශේෂඥ කණ්ඩායම් එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. 2024 වසරේදී අපි මේ ණය ආපසු ගෙවීම කළමනාකරණය කළ ආකාරය ගැන, 2025 දී අපගේ ණයහිමිකරුවන්ට සිදුකළ ඩොලර් ගෙවීම් ගැන අපි සෑහීමකට පත්වෙනවා. ඒ වගේම වසර 2028 වන විට මේ ණය ආපසු ගෙවීම වඩාත් සාර්ථකව සිදු කිරීමට අපිට හැකිවේවි කියන විශ්වාසය තියෙනවා. මොකද අපි දැනටමත් එය ආරම්භ කරලා.” යනුවෙන්ද ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර ඉදිරි දින කිහිපයේදී නව පනත් කිහිපයක්ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්වීමට නියමිතව ඇති බවත්, තවත් කිහිපයක් ලබන වසර මුලදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ආචාර්ය සූරියප්පෙරුම මෙහිදී පවසා සිටියේය.
ඒ අතර රජය සතු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පනතද ඇතුළත් වන බවත්, ඒ හරහා එම ව්‍යවසාය පරිපාලනය සඳහා සමාගමක් නිර්මාණය වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. එමගින් එම ව්‍යවසාය වෙත විනිවිදභාවයක් සහ වගවීමක් ලබාදිය හැකි බවත්, ඒ අතරතුරදීම එම ව්‍යවසාය වෙත උපරිම හැකියාවලට පත්වීම සඳහා ලබාදිය හැකි පහසුකම් ලබා දෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඡායාරූපය - උපුල් අබේසේකර
2025 නොවැම්බර් මස 04
684
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1730
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සියයට 7කට වැඩි ආර්ථික වර්ධනයක් ලඟා කර ගැනීමේ සැලසුමක් - මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම