ලැයිස්තුගත වීම හරහා රජයේ ව්‍යවසාය වෙත වඩාත් විනිවිදභාවයක්, වගවීමක් හිමි වෙනවා 


භානුක අමරසිංහ


මෙරට සමාගම් තවමත් සිය අරමුදල් අවශ්‍යතාව වෙනුවෙන් සාම්ප්‍රදායිකව බැංකු හරහා ණය ලබා ගැනීම ඇතුළු බැංකු මූල්‍ය පහසුකම් මත යැපීම සිදු කරන බවත්, ඒ වෙනුවට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම සඳහා වඩාත් පහසුම ක්‍රමය කොළඹ කොටස් හුවමාරුව (CSE) බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්ඩාර මහතා සඳහන් කරයි. 
එම කොමිෂන් සභාවේ 2025 වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කර සිටියි. “2025 වසර තුළ ලැයිස්තුගත සමාගම් CSE හරහා ඉතාමත් හොඳින් ප්‍රාග්ධනය රැස් කර ගැනීමක් සිදු කර තිබෙනවා. ඉන් මේ වෙළෙඳපොළ පාදක කරගත්ත මූල්‍යකරණය පිළිබඳව හොඳ විශ්වාසයක් පෙන්නුම් කරනවා. ඒත් තවමත් රටේ විශාල, හොඳින් ස්ථාපනය වුණු සමාගම් පවා තවමත් එහි ලැයිස්තුගත වීමට අවධානය යොමු කරලා නැහැ. ඔවුන් තවමත් යොමුවෙන්නේ සාම්ප්‍රදායික බැංකු මූල්‍යකරණය වෙතයි.”
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව 2026 ජනවාරි 01 සිට බැංකු සඳහා ක්‍රියාත්මක කරන ලද ණය දීමේ සීමාව පිළිබඳ උපදෙස් සමගින් මේ සමාගම් වෙත වෙනත් විකල්ප වෙත යොමුවීමට සිදුවනු ඇති බවත් සභාපතිවරයා පවසයි.
“SEC සහ CSE එකතු වෙලා දැනටමත් මේ සමාගම් වෙත පෙන්නුම් කරමින් සිටිනවා ලැයිස්තුගත වීම හරහා වඩාත් තිරසාර අරමුදල් විසඳුම් වෙත යොමුවෙන්න පුළුවන් කියලා.” ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී පෞද්ගලික සමාගම් වෙත පමණක් නොව රජයේ හිමිකාරීත්වය සහිත ව්‍යවසාය (SOE’s) වෙතද ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා CSE හොඳ තැනක් බවද සභාපතිවරයා පවසයි.
“බොහෝ රාජ්‍ය ව්‍යවසායන් එහි සැකැස්මේ පවතින අභියෝග වෙත මුහුණ දෙනවා. ඒ අතර මූල්‍යමය බාධා, පාලනයේ අඩුපාඩු සහ විවිධාංගීකරණය වූ මූල්‍යකරණයක් සඳහා වන සීමිත ප්‍රවේශ පවතිනවා. එහෙත් මේ ප්‍රාග්ධන වෙළෙඳපොළ එවැනි ව්‍යවසාය වෙත විනිවිදභාවය දියුණු කිරීමට, වගවීම ශක්තිමත් කිරීමට, ක්‍රමෝපායික ආයෝජන ආකර්ෂණයට වගේම මහා භාණ්ඩාගාරය මත යැපීම අඩු කිරීමටත් සහාය දක්වනවා.”