IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සෘජු විදේශ ආයෝජනවල කැපීපෙනෙන වර්ධනයක්

  • ජ‌ූනි මාසය වන විට නව ව්‍යාපෘති යෝජනා 40 ක් සහ දැනට පවතින ව්‍යාපාර පුළුල් කිරීමට යෝජනා 39 ක් ඇතුළුව ආයෝජන යෝජනා 79 ක්
  • ආයෝජනවල මුළු ඇස්තමේන්තුගත වටිනාකම ඩො. මි. 4,669ක්
  • ඩො.මි. 3,899ක් විදේශ ආයෝජන වන අතර ඉතිරි ඩො. මි. 770 දේශීය ආයෝජන
  • ලැබුණු ඩො. මි. 4,669 ක සමස්ත ආයෝජන යෝජනාවලින් ඩො.මි. 322 ක ඇස්තමේන්තුගත ආයෝජන යෝජනා ව්‍යාපෘති පුළුල් කිරීමට
  • ‌‌ජ‌ූනි දක්වා කාලය තුළ ආයෝජන මණ්ඩලය අලු‍ත් ව්‍යාපෘති       28 ක් සහ පුළුල් කිරීමේ ව්‍යාපෘති 20 කින් සමන්විත ව්‍යාපෘති 48 ක් අනුමත කරලා
  • අනුමත ආයෝජන වාණිජකරණයෙන් පසු රැකියා අවස්ථා 10,000 ක්

ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීමෙන්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනවලට පහසුකම් සැලසීම සඳහා සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීම සඳහා රජය දක්වන නොසැලෙන කැපවීම මත ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ස්ථාපනය වීම, නව ආයෝජන යෝජනා ලැබීමට හේතු වී ඇති බව ආයෝජන මණ්ඩලය අවධාරණය කරයි.

2025 ජුනි මාසය වන විට නව ව්‍යාපෘති යෝජනා 40 ක් සහ දැනට පවතින ව්‍යාපාර පුළුල් කිරීමට යෝජනා 39 ක් ඇතුළුව ආයෝජන යෝජනා 79 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලැබී ඇත. මෙම ආයෝජනවල මුළු ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 4,669ක් වන අතර, එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,899ක් විදේශ ආයෝජන ලෙස සඳහන් වන අතර ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 770 දේශීය ආයෝජන ලෙස සඳහන් වේ. මෙය 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ ලැබුණු ආයෝජන යෝජනාවලට සාපේක්ෂව සියයට 18 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

මෙම ආයෝජන යෝජනා පුළුල් පරාසයක විහිදෙන අංශ වලින් සහ ලොව පුරා විවිධ රටවලින් ලැබූ යෝජනා වේ. මේවා, අපනයනය සඳහා වන ටයර් සහ ධාවන පථ, ඛනිජ සැකසුම් සහ ඇඟලු‍ම් ආශ්‍රිත භාණ්ඩ ඇතුළු නිෂ්පාදන අංශයේ ව්‍යාපෘති සඳහා මෙන්ම බලශක්ති, සහාධිපත්‍ය මහල් නිවාස සහ මිශ්‍ර භාවිත සංවර්ධන ව්‍යාපෘති ඇතුළු දේපළ වෙළෙඳාම් ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති, කිරි ගව පාලනය, මුහුදු පැලෑටි සහ බෝග වගාව ඇතුළු කෘෂිකාර්මික ආශ්‍රිත ව්‍යාපෘති සඳහා ද වන අංශවලින් සමන්විතය. ඒවා කැනඩාව, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, චෙක් ජනරජය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ තවත් රටවල් කිහිපයකින් ලැබුණු යෝජනා වේ.

දැනට පවතින ව්‍යාපාරවල මෙහෙයුම් පුළුල් කිරීම සඳහා කැපී පෙනෙන උනන්දුවක් දක්නට ඇති අතර, මෙම වසර තුළ ලැබුණු ඇ.ඩො. මිලියන 4,669 ක සමස්ත ආයෝජන යෝජනාවලින් ඩොලර් මිලියන 322 ක ඇස්තමේන්තුගත ආයෝජන යෝජනා ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා වේ. විශේෂයෙන්ම, විදුලි සංදේශ අංශයේ සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාර මෙම වසරේ පුළුල් කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර ඇත. මීට අමතරව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ඇඟලු‍ම් නිෂ්පාදනය, රබර් නිෂ්පාදන, වරාය සංවර්ධනය සහ මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සම්බන්ධ ව්‍යාපාර කිහිපයක් තම ‍ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

ආයෝජන මණ්ඩලය වෙත ලැබෙන සියලු‍ම ආයෝජන යෝජනා, පුළුල් ඇගයීම් ක්‍රියාවලියකට යටත් වන අතර, අදාළ රේඛීය ආයතනවලින් නිෂ්කාශනය ලැබීමෙන් පසු ආයෝජන අනුමැතිය ලබා දෙනු ලැබේ. ඒ අනුව, 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ, ආයෝජන මණ්ඩලය විසින් අලු‍ත් ව්‍යාපෘති 28 ක් සහ පුළුල් කිරීමේ ව්‍යාපෘති 20 කින් සමන්විත ව්‍යාපෘති 48 ක් අනුමත කර ඇත. ඒවායේ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 499 කි. මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 28 ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම අනුමත ආයෝජන වාණිජකරණයෙන් පසු රැකියා අවස්ථා 10,000 ක් පමණ උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

ආයෝජන යෝජනා ලැබීමෙන් අනතුරුව, ඒවා හරහා රට තුළට ලැබුණු සෘජු විදේශ ආයෝජන (FDI) සහ දේශීය ආයෝජන අගය පිළිබඳ දත්ත රැස් කිරීම ද ආයෝජන මණ්ඩලය විසින් සිදු කරයි. ඒ අනුව, 2025 පළමු කාර්තුව තුළදී රටට ලබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 203ක් වූ අතර, එය 2024 පළමු කාර්තුවේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 107ට සාපේක්ෂව සියයට 90ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කර ඇත. මෙම කාලසීමාව තුළ ලබා ගත් මුළු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයෙන් සියයට 41 ක් වරාය සංවර්ධන අංශයට ද, සියයට 34 ක් නිෂ්පාදන අංශයට ද, සියයට 20 ක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), කෘෂිකර්මය, දේපල සංවර්ධනය සහ විදුලි සංදේශ වැනි අංශ‍යන්ට ද ලැබී ඇත.

එම කාලසීමාව තුළ සිදු කරන ලද දේශීය ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 87 දක්වා ළඟා වූ අතර, එය පෙර වසරේ පළමු කාර්තුවේ ඩොලර් මිලියන 66 සිට සියයට 32 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

සෘජු විදේශ ආයෝජන ගලා ඒම, දේශීය ආයෝජන, අපනයන ඉපැයීම් සහ රැකියා උත්පාදනයෙන් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. පවතින දත්ත වලට අනුව, ආයෝජන මණ්ඩලය යටතේ ඇති අපනයන-අභිමුඛ ව්‍යාපෘති 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,658 ක වෙ​ෙළඳ භාණ්ඩ අපනයන වාර්තා කර ඇත. එය 2024 එම කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,392 ට සාපේක්ෂව සියයට 7 ක වර්ධනයකි. මෙය ජාතික වෙ​ෙළඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 59 ක් වන අතර, ජාතික කාර්මික අපනයනවලින් සියයට 73 ක් වේ.

 



අදහස් (0)

සෘජු විදේශ ආයෝජනවල කැපීපෙනෙන වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 179 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 385 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 163 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site