IMG-LOGO

සංචාරකයන් අද්දන මැලේසියාවේ රාත්‍රි වෙළඳපොළ

ප්‍රේමකීර්ති රණතුංග


නිරක්ෂයට යාව පිහිටි මැලේසියාව නිල්ල පිරුණු ගහකොළෙන් යුතු සුන්දර රාජ්‍යයකි. පොල්, තැඹිලි, තේක්ක, කැන්ද වැනි අපට හුරුපුරුදු ගහකොළෙන් යුතු මැලේසියාව රට මැදින් උස්ව නැගුණු කඳු වළල්ලකින්ද යුතුය. නිල්වන් ගහකොළෙන් හරිතවන් කුඹුරුයායෙන් සීතලෙන් සීතවුණු කඳු ගැටවලින් පිරුණු ශ්‍රී ලංකාව මැලේසියාවට වඩා සොබාව සෞන්දර්ය යෙන් අනූනය. එහෙත් මැලේසියාව තම රටේ සොබා සිරිය මැනවින් කළමනාකරණය කර විදේශ විනිමය උපයන ආකාරය දෙස බලන කළ අප සිටින්නේ එයට ගව් ගණනක් පිටුපසිනි.
මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර දහවල් පවතින නාගරික පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් රාත්‍රියට උදාවෙයි. ආසියාවේ ඇතැම් නගර රාත්‍රි අඳුර ගලා එද්දී ඒ සමගම විදුලි පහන් නිවා නින්දට යන මුත් මැලේසියා අගනුවරට ඇඳිරි වැටෙන විට ඝෝෂාකාරී රාත්‍රි වෙළෙඳපොළ සමග අලුත් නගරයක් උපදියි.
දේශීය භාෂාවෙන් ‘පසාර් මාලම්’ ලෙස හැඳින්වෙන මෙම රාත්‍රි වෙළෙඳපොළ සිත්ඇදගන්නාසුළු වීදි ආහාරවල සිට දර්ශනීය අත්කම් භාණ්ඩ, මත්පැන් ශාලා ආදියෙන් යුතුය. සුවිසල් සාප්පු සංකීර්ණ වඩාත් ජනාකීර්ණ වන්නේ රාත්‍රි කාලයටය. කම්කරු නීති අනුව සාප්පු සංකීර්ණ විවෘත කර තැබිය හැක්කේ රාත්‍රි දහය දක්වා පමණි. එහෙත් මත්පැන් ශාලා ඇතුළු සමාජ ශාලා ආහාරපානවලින් පිරී ගිය වීදි ආදිය මධ්‍යම රාත්‍රිය වනතුරු විවෘතව පවතී. දීප්තිමත් විදුලි එළියෙන් සැරසුණු අගනුවර මෙන්ම ප්‍රධාන නගරවලද රාත්‍රි ජීවිතය අතිවිශාල ජනතාවක් එහි ඇදගන්නාසුළුය. රාත්‍රි සාප්පු සවාරි නිසා මැලේසියාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද සුළුපටු නොවේ.
මැලේසියාවේ රාත්‍රි වෙළෙඳපොළ ආශ්‍රිත ජීවිතය සාප්පු සවාරි යාමට පමණක් වෙන්වූවක් නොවේ.
 ඒවා විචිත්‍රවත් සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස නම් කළ හැකිය. මැලේ, අරාබි, චීන, යුරෝපීය, ඉන්දියානු ඇතුළු බහු ජනවාර්ගික සමාජයක් වන මැලේසියානු සමාජය තුළ ඉතා සාමකාමීව දිවි ගෙවන ජනතාවට රාත්‍රියේ වර්ණවත් වූ නගරය තුළ සජීවී සංගීත සංදර්ශන හා සංස්කෘතික ප්‍රසංග ආදී විනෝදාස්වාද මාර්ග භුක්ති විඳීමටද අවස්ථාව උදාවෙයි. ‘ජලාන් අලෝර්’ වැනි වීදි ආහාර වලින් යුතු අමුතුම රස ලෝකයක් මැවෙන සුවිසල් ප්‍රදේශ ද ජනතාවට රාත්‍රියේ නගරයට කැඳවා ගැනීමට උත්ප්‍රේරකයක් බවට පත්වෙයි.
 මැලේසියාවේ අගනුවර රාත්‍රියේත් විදේශ විනිමය උපයද්දී අපගේ සුන්දර කොලොම්පුරවරය සැඳෑ අඳුර ගලා එද්දීම වේලාසන නින්දට යන්නේය. සවස හත පමණ වන විටත් විදුලි පහන්  නිවී කඩවල් වැසී නිදිසුව විඳින කොළඹ නගරයට ක්වාලාලම්පූර් මෙන් විදෙස් විනිමය උපයන රාත්‍රි අවදියෙන් සිටින නගරයක් විය නොහැකිද? මැලේසියාවේදී කිසිදු පොලිස් අත්දැකීමක් සංචාරකයන්ට නොදැනෙයි. රථවාහන පාලනයට වීදි අරක් ගත් පොලිස් නිලධාරීන් නොමැති අතර රියැදුරෝ ස්වයං හික්මීමකින් යුතුව වාහන පදවති. ඉඳහිට ඉවසීම නැතිවූ රියැදුරකුගේ නලා හඬක් ඇසුණද ඒ සැමවිටම නොවේ. මැලේසියාවේ රථවාහන පදවන්නේ වාහනයේ නලාව භාවිතයෙන් නොවේ. පොලිසිය මේ සියල්ල නිරීක්ෂණය කරනුයේ මාර්ගයේ සවිකළ සීසීටීවී කැමරා භාවිතයෙනි.
දඩකොළයක් ලබා දීමට කුමන හෝ වරදක් සොයා උකුසු ඇස් දල්වා සිටින නිලධාරීන් මහමග නැත. එහෙත් රිය අනතුරුද අවමය. වාහන තදබදයක් ද මහමග නොමැත. සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණුවීම සඳහා එරට අනුගමනය කරන මෙම පිළිවෙත, ඵල දරා ඇත්තේ ගිනිකොන දිග ආසියාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට මැලේසියාව පත්ව ඇති නිසාය.
වර්තමාන මැලේසියානු රාජ්‍යය බිහිවූයේ වර්ෂ 1957 දීය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දුනීසියාව සහ මැලේසියාව අයත් ප්‍රදේශය බ්‍රිතාන්‍ය මලයාව ලෙස හැඳින්විණි. යටත් විජිත සමය අවසන් වූයේ රාජ්‍ය දෙකක් ලෙස ඉන්දුනීසියාව සහ මැලේසියාවට පුරාණයේ පැවැති ස්වාධීනත්වය හිමිකර දෙමිනි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව රට ගොඩ නැගූ නායකයා වූයේ දොස්තර මහතීර් මොහොමඩ් මහතාය. ඔහු ඉතා ක්‍රමුනුකූල රාජ්‍යයක් ගොඩ නගමින් නූතන දියුණුව මැලේසියාවට ළඟා කර දුන්නේය.
මැලේසියාවේ සංවර්ධන මොඩලයෙන් අපටද ගත හැකි උදාහරණ ගණනාවක් තිබේ. එනම් එක් සංචාරක ඉසව්වක් විවිධ අංශවලින් සම්පූර්ණ කර සංචාරකයන් ගෙන්වා ගත හැකි බවය. මැලේසියාවේ කඳුකරය මුදල් උපයන උල්පතක් බවට පරිවර්තනය කර ඇති ආකාරය ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට මාහැඟි අධ්‍යයනයක් කළ හැකි තැනකි. ‘ජෙන්ටින් හයිලන්ඩ්’ නමැති මෙම කඳුකරය විවිධ සංචාරක ඉසව්වලින් පරිපූර්ණය. ‘ජෙන්ටින් හයිලන්ඩ්’ වෙත පිවිසීම සඳහා පුළුල් අධිවේගී මාර්ග පද්ධතියක් තිබේ. කඳුකරයේ ඉහළ ප්‍රදේශය දක්වා ගමන් කිරීමට කේබල් කාර් පද්ධතියක් ක්‍රියාත්මක වේ. මෙම කේබල් කාර් පද්ධති ආරම්භ වන ස්ථානයේ මෙන්ම අවසන් වන ස්ථානයේද ජාත්‍යන්තර සන්නාමයෙන් යුතු විශාල ප්‍රමාණයේ සුපිරි වෙළෙඳ ශාලා ගණනාවකින් යුතුය. මෙම සාප්පු සංකීර්ණ තුළ නිරතුරුව ජනතාව පිරී සිටිති. කේබල් කාර් අවසන් වන මධ්‍යස්ථානයේ ඇති කැසිනෝ ශාලා ද විනිමය උල්පතක් ලෙස ක්‍රියාත්මක වේ.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ මැලේසියාවේ රබර් වතු සඳහා ගෙන ගිය ඉන්දීය කම්කරුවන්ගෙන් පැවත එන ජන කොටස් අද එරට ජනගහණයෙන් සියයට 12 කි. මේ ජනගහණය නිසා ඉන්දියානු සංචාරකයන් විශාල පිරිසක් දිනපතාම රටට ඇතුළු වෙයි.
 ඉන්දියානුවන්ට වීසා ලබා ගැනීම අවශ්‍ය නැත. මේ පිරිස වඩාත් ඇදී එන්නේ අතීත හා ඉන්දියානු කුමාරයකු රාජ්‍යය පිහිටුවා ගෙන සිටි ‘බුජාං’ නිම්නය නැරඹීමටය. එහි පුරාවිද්‍යා නටබුන් අද ඉතිරි වී නැතත් මෑත කාලයේ ඉදිකළ ඉන්දියානු හින්දු කෝවිල් කිහිපයකින් යුතුය. ස්වාමි විවේකානන්ද ආශ්‍රමය ඇතුළු නූතන ඉදිකිරීම් නිසා අතිවිශාල ඉන්දියානු සංචාරක පිරිසක් එහි පැමිණෙති. එම ආගමික කලාපය විනිමය උල්පතක් ලෙස මැලේසියානු ආර්ථිකය ශක්තිමත් කරයි. එයින් අපට උගත හැකි පාඩම නම් දකුණු ඉන්දියාවට වඩාත් සමීප හලාවත මුන්නේෂ්වරම හා යාපනය. යාපනය ආශ්‍රිත හින්දු කෝවිල් ප්‍රදේශ ඉන්දියානු සංචාරකයන් ගෙන් එම ප්‍රදේශ පිරී යනු ඇති බවය.
මැලේසියාවේ සංචාරක ක්ෂේත්‍රය විදේශීය සංචාරකයන් පමණක් බලාපොරොත්තු නොවෙයි. එය දේශීය සංචාරකයන්ද ඉලක්ක කරගනියි. රට පුරා පැතිරුණු තරු තුනේ සිට හත දක්වා පැතිරුණු පුළුල් සංචාරක හෝටල් කර්මාන්තය දේශීය සංචාරකයන්ටද, අඩු මිලට කාමර සහ අඩු මිලට ඉහළ මට්ටමේ ආහාර වේලක් ලබාගත හැකි ලෙස සත්කාරත්වය සපයයි. මේ නිසා පවුල් පිටින් සංචාරයේ යන දේශීය සංචාරකයන් විශාල වශයෙන් මෙම හෝටල්වල දැකගත හැකිය. එරට සංඛ්‍යා ලේඛනවල ඇත්තේ 2022 වසරේදී දේශීය සංචාරකයන් මිලියන 65 ක් රටේ සංචාරක ව්‍යාපාරයට දායක වූ බවය. ප්‍රධාන නගරවල සුපිරි සාප්පු සංකීර්ණ රාත්‍රි දහය දක්වාම විවෘතව පැවතීම සහ ප්‍රධාන නගරවල ක්‍රියාත්මක විනෝදාංශ සහ වීදි ආහාර වෙළෙඳපොළ මෙම සංචාරක ආකර්ශනයේ ප්‍රධාන අංග වේ. අප යෝජනා කරන්නේ ලාංකීය දේශීය සංචාරකයන්ටද රට තුළ අවම වශයෙන් රාත්‍රි දහය දක්වාත් විවේකීව ගත කිරීමට සහ පවුලේ හිතවතුන් සමග ආහාර පානයෙන් සන්තර්පණය වීමට සුදුසු ආකර්ෂණීය වැඩසටහන් ආරම්භ කළ යුතු බවය. එමගින් අමතර රැකියා විශාල සංඛ්‍යාවක්ද නිර්මාණය වනු ඇත.

 



අදහස් (0)

සංචාරකයන් අද්දන මැලේසියාවේ රාත්‍රි වෙළඳපොළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14270 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 408 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 249 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site