- වියදම රුපියල් බිලියන 48.9 කින් පහළට
- 2023/24 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 3.87ක් ලාබයක් ලබලා
- 2024/25 මූල්‍ය වර්ෂයේදී සමස්ත ආදායම රුපියල් බිලියන 299.1ක්
- රුපියල් බිලියන 234.3 ක ආදායමක් උපයා ඇත්තේ ගුවන් මගීන්ගෙන් වන අතර රුපියල් බිලියන 32.1 ක් උපයා ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනයෙන්
- ඉන්ධන පිරිවැය 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 91.6 දක්වා අඩුවෙලා
- ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පිරිවැය රුපියල් බිලියන 51 සිට රුපියල් බිලියන 45 දක්වා පහළට
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට රාජ්‍ය ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 8.4 ක පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යංශයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් පිරිවැය අඩුවීමත්, ලැබූ ආදායම අඩුවීමත් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය 2023/24 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 3.87 ක ලාබයක් ලබා තිබිණි.
කෙසේ නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය 2024/25 මූල්‍ය වර්ෂයේදී සිය වියදම රුපියල් බිලියන 48.9 කින් අඩුකරගෙන ඇත. 2023/24 වර්ෂයේදී රුපියල් බිලියන 324.5 ක් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වියදම 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 275.6 දක්වා පහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 15.1 පමණ පහළ යාමකි.
2024/25 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් සේවය රුපියල් බිලියන 8.4 ක පාඩුවක් ලබා ඇත්තේ විනිමය ශක්තිමත් වීමෙන් රුපියල් බිලියන 4.09 ක ප්‍රතිලාභයක් ලැබීමෙන් පසුවය. කෙසේ නමුත් 2023/24 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් සේවය රුපියල් බිලියන 3.87 ක් ලාබයක් ලබා ඇත්තේ විනිමය ශක්තිමත් වීමෙන් රුපියල බිලියන 26.6 ප්‍රතිලාභයක් ලබා ගැනීමෙන් පසුවය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල ඩොලර් ණය ප්‍රමාණයක් තිබෙන අතර විනිමය ශක්තිමත් වීම් හමුවේ එහි අගය උච්චාවචනය වේ. 2022/23 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් සේවය රුපියල් බිලියන 165.8 න් රුපියල් බිලියන 107 ක් පාඩුවී තිබුණේ රුපියල දුර්වල වීම නිසාය. එම කාලයේදී ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හා පොලී අනුපාතවල ප්‍රතිඵලයක් ලෙස එම පාඩුව සිදුවී තිබිණි.
2023/24 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අත්වූ රුපියල් බිලියන 26 ක ප්‍රතිලාභයට ශ්‍රී ලංකා මහ බැංකුව එම මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම හා රුපියල් ශක්තිමත් කිරීමට ඉඩ හැරීම ඇතුළු කරුණු කීපයක් හේතු විය. සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ජාතික මුදල් ඒකකය දුර්වල වීමත් සමඟ රාජ්‍ය ව්‍යවසාය පමණක් නොව රජයේ අයවැය ද අවුල් සහගත තත්වයකට පත් වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සමස්ත ආදායම 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 299.1කි. ඉන් ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 234.3 ක ආදායමක් උපයා ඇත්තේ ගුවන් මගීන්ගෙන් වන අතර රුපියල් බිලියන 32.1 ක් උපයා ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනයෙනි. කෙසේ නමුත් 2023/24 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් සේවයේ සමස්ත අදායම රුපියල් බිලියන 335.8 ක් ලෙස වාර්තා වූ අතර ඊට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ආදායම රුපියල් බිලියන 36.4 කින් අඩු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd