• මුල් මාස නවයේදී ප්‍රේෂණ ලැබීම් ඩො.බි. 6.9ක් දක්වා සියයට 18 කින් ඉහළට 

විදෙස්ගත ශ්‍රමිකයන් හරහා පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට ලැබුණු ප්‍රේෂණ මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 734.4 ක් ලෙස සටහන්ව තිබේ. 

ඒ අනුව මෙය 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී හිමි වූ ඩොලර් මිලියන 695.7 ට සාපේක්ෂව සියයට 5.5 ක වර්ධනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකයේ සටහන්ව තිබේ. 

එහි සඳහන් ආකාරයට ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මුල් මාස නවය තුළ මෙරටට හිමි වුණු විදේශ මුදල් ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,865.4 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ එම කාලසීමාවේදී හිමි වූ ඩොලර් මිලියන 5,811.7 ට සාපේක්ෂව ඩොලර් මිලියන 1,054 ක එනම් සියයට 18.1 ක වර්ධනයකි. 

මෙහිදී රුපියල් වටිනාකම් අනුව බැලූ විට වසරේ මුල් මාස නවය තුළ හිමි වූ ප්‍රේෂණ මුදලේ වටිනාකම රුපියල් බිලියන 2,215.4කි. එය 2025 වසරේ එම කාලසීමාවේදී හිම වූ රුපියල් බිලියන 1,738.7 ක ප්‍රේෂණමුදල් හා සැසඳීමේදී සියයට 27.4 ක වර්ධනයක් ලෙසත් සටහන්ව තිබේ.