කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර

  • වසර 14කට පසුව පැවැත්වෙන Sri Lanka Expo 2026 ප්‍රදර්ශනය ජූනි 18-21 දක්වා
  • 2025 දී රුපියල් බිලියන 17 කට වැඩි අපනයන ආදායමක් 
  • කෘෂිකර්මාන්තය, ජීවන විලාසිතා නිෂ්පාදන, ICT සහ නිර්මාණාත්මක කර්මාන්තයේ අපනයන වෙත වැඩි අවධානය
  • ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට සහාය දක්වන වන ලෙස විදෙස් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්වලින් ඉල්ලයි
  • Sri Lanka Expo 2026 වෙත ප්‍රදර්ශකයන් 750ක් සහ විදෙස් ගැනුම්කරුවන් 1,500ක් පැමිණෙතැයි අපේක්ෂාවක් 
  • 2030 දී ආර්ථිකයට කර්මාන්ත අංශයේ දායකත්වය සියයට 28ක් දක්වා ඉහළ නැංවීමේ සැලසුම්

භානුක අමරසිංහ


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළේ වඩාත් විශ්වාසනීය සහ තරගකාරී වෙළෙඳ හවුල්කරුවකු බවට පත් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

ඒ සඳහා අපනයනකරුවන් සිය අපනයන විවිධාංගීකරණය කළ යුතුව ඇති බවත්, එහිදී රජයේ සහ රාජ්‍ය තාන්ත්‍රික අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සහාය ඔවුන්ට හිමිවිය යුතුව තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගියදා කොළඹදී පැවැත්වුණු Sri Lanka Expo 2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මගින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය, ලබන ජූනි 18 සිට 21 දක්වා BMICH හිදී පැවැත්වෙයි.

“Sri Lanka Expo 2026 රජයේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය හොඳින් විදහා දක්වන්නක්. පෞද්ගලික අංශයේ හැකියාව යොදා ගනිමින්, වෙළෙඳපොළ විවිධාංගීකරණය ප්‍රවර්ධනය කරමින් රට වෙත වඩාත් තිරසාර වර්ධනයක් ළගා කරගැනීමට සහාය දැක්වීම එහි අදහසයි. මේ අවස්ථා හරහා අපගේ අපනයන ශක්තිමත් කිරීමට, ආයෝජන ආකර්ෂණයට වගේම ශ්‍රී ලංකාව වඩාත් විශ්වාසනීය සහ තරගකාරී වෙළෙඳ හවුල්කරුවකු බවට පත් කළ හැකි වේවි.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රජය සැමවිටම ශ්‍රී ලාංකික නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළේ ප්‍රවර්ධනය කරමින්, අපනයනකරුවන් සඳහා උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව පවසා සිටියේය. එසේම අපනයනකරුවන් සඳහා වන වෙළෙඳපොළ සංවර්ධනය, ධාරිතා වර්ධනය සඳහා වන මුල පිරීම්ද සිදු කරන බවත් සඳහන් කළේය. 

“2025 වසරේදී ඩොලර් බිලියන 17කට වැඩි අපනයනස ආදායමක් රැස් කරගැනීමට සමත්වීම ගැන මම මේ අවස්ථාවේදී අපනයනකරුවන්ට වගේම අපනයන සංවර්ධන මණ්ඩලයටත් සුබ පතනවා. මෙම සාර්ථකත්වය මගින් අපගේ අපනයනකරුවන්ගේ දරා ගැනීම සහ නවෝත්පාදන හැකියාව හොඳින් පෙන්නුම් කරනවා.“ 

මෙවර Sri Lanka Expo 2026 පැවැත්වෙන්නේ වසර 14කට පමණ පසුව බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙය අපනයනකරුවන් සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීම, ජාත්‍යන්තර ගැනුම්කරුවන් ආකර්ෂණය මෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම දේ ලෝකයට පෙන්වීමට අවස්ථාවක් කරගත යුතුව ඇතැයිද සඳහන් කළේය.

“අපගේ අපනයන පැස තවදුරටත් විවිධාංගීකරණය කළ යුතුයි. සාම්ප්‍රදායික වෙළෙඳපොළවලින් ඔබ්බට ගිහින් නැගී එන වෙළෙඳපොළ වෙත එය පුළුල් වෙන්න ඕනේ. 

එතැනදී කෘෂිකර්මාන්තය, ජීවනවිලාසිතා නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) වගේම නිර්මාණාත්මක කර්මාන්තයත් ප්‍රධානයි. මේ අංශ සියල්ල සතුවම යම් විභවතාවක් පවතිනවා. එහිදී නිවැරදිව නිරාවරණයවීම, සම්බන්ධතාව සහ ආයතනික සහාය වැදගත්.“ 

ඒ අනුව මෙම කාර්යයන් සාර්ථක කරගැනීමට විදෙස් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්හි දායකත්වය අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගැනුම්කරුවන්, ආයෝජකයන් සම්බන්ධ කරමින් සහ ව්‍යාපාරික අවස්ථා උදා කර දෙමින් අපනයනකරුවන් වෙත වඩාත් සක්‍රිය සහයෝගයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය. එසේම Sri Lanka Expo 2026 වෙත වඩාත් ප්‍රතිඵලදායක ව්‍යාපාරික සාර්ථකත්වයක් ළගා කරගැනීම සඳහා සහාය දක්වන ලෙසත් සඳහන් කළේය. 

මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, Sri Lanka Expo 2026 ප්‍රදර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් 1,500ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පවසා සිටියේය. එහිදී ඔවුන් වෙනුවෙන් නිෂ්පාදන සහ සේවා අංශ 24 කින් සමන්විත ප්‍රදර්ශකයන් 750කට අධික පිරිසක් ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරනු ඇතැයිද සඳහන් කළේය.

“ප්‍රදර්ශනයේ මූලික අරමුණ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයේ විවිධාංගීකරණය ගෝලීය වෙළෙඳපොළ වෙත පෙන්වමින්, ගැනුම්කරුවන් සහ ආයෝජන විශ්වාසය ගොඩනගමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රධානතම වෙළෙඳ සහ ආයෝජන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. ඒ අනුව මෙය 2030 වන විට ජාතික අපනයන ඉලක්කය වන ඩොලර් බිලියන 36 සාක්ෂාත් කරගැනීමේ ආරම්භයක් ලෙසත් සැලකෙනවා.“ 

ආයෝජක සංසද, කර්මාන්ත සැසි , ව්‍යාපාරික හමුවීම් (B2B), ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ විලාසිතා සංදර්ශන, දේශීය ආහාර උසස් කරන සූපශාස්ත්‍ර සංදර්ශන, සංස්කෘතික ප්‍රසංග, සජීවී නිෂ්පාදන ප්‍රදර්ශන යන අංගද Sri Lanka Expo 2026 වෙත ඇතුළත් වෙයි.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මෙරට දළ ජාතික නිෂ්පාදිතය (GDP) වෙත කර්මාන්ත අංශයෙන් වර්තමානයේදී ලබා දෙන සියයට 16 ක දායකත්වය වසර 2030 වන විට සියයට 28ක් දක්වා ඉහළ නංවා ගැනීමත් මෙවැනි ප්‍රදර්ශන පැවැත්වීමේ අරමුණ බව පවසා සිටියාය. “අපගේ අරමුණ වෙන්නේ රට තුළ අපනයන පුළුල් කිරීම සහ ව්‍යවසායකත්ව වර්ධනයයි. ඒ හරහා 2030 වන විට භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 28ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාවයි.“ 

එසේම මේ සඳහා දක්වන සහායක් ලෙස කර්මාන්ත සඳහා වෙන් කර ඇති භූමි ප්‍රමාණය 2030 වන විට සමස්ත භූමියෙන් සියයට 1ක් දක්වා ඉහළ නංවාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, ඒ හරහා නව ආයෝජන අවස්ථා බිහි කිරීම අරමුණ බවත් ලේකම්වරිය වැඩි දුරටත් පවසා සිටියාය.