ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සිය 28 වැනි සභාපතිවරයා ලෙස ටිෂාන් සුබසිංහ මහතා නිල වශයෙන් පත් කර ගනිමින් නව නායකත්ව යුගයකට පිවිසියේය. 2026 ජනාරි 20 වැනිදා (ඊයේ) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම උත්කර්ෂවත් උළෙල, වෘත්තීයවේදීන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රභූන් සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ සහභාගීත්වයෙන් දැක්ම සහ විශිෂ්ටත්වය සමරනු ලැබූ අවස්ථාවක් විය.
නික්ම යන සභාපති හේෂණ කුරුප්පු මහතා විසින් ටිෂාන් සුබසිංහ මහතා වෙත නිල වශයෙන් ධුරය පවරා දෙන ලදී. ජාත්‍යන්තර ගණකාධිකාරී සම්මේලනයේ (IFAC) සභාපති Mr. Jean Bouquot ප්‍රධාන අමුත්තා ලෙසත්, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ගෞරවනීය අමුත්තා ලෙසත් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සුබසිංහ මහතා මෙම ධුරයට පත්වීම, ශිෂ්‍යයකු ලෙස ආරම්භව වසර 28කට වැඩි කාලයක් පුරා විහිදුණු ඔහුගේ සුවිශේෂී වෘත්තීය ගමනේ සන්ධිස්ථානයකි. ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයකු මෙන්ම 2013 වසරේ සිට සභා සාමාජිකයකු වන ඔහු, 2024-2025 කාලසීමාව තුළ උප සභාපති ලෙස කටයුතු කළේය.
ඔහු නීතිඥවරයකු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යාව ජීව සාමාජිකයකු ද වේ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ MBA උපාධියක් ලබා ඇති ඔහු එහිදී රන් පදක්කම්ලාභියකු ද විය. තවද ඔහු සහතික ලත් තොරතුරු පද්ධති විගණකවරයකු (CISA-USA), ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ නිර්මාතෘ සාමාජිකයකු සහ එක්සත් රාජධානියේ ACCA ආයතනයේ සාමාජිකයකු ද වේ.
දැනට Moore Consulting (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස සහ Moore Aiyar හි සම-කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන සුබසිංහ මහතා, මීට පෙර BDO Partners හි විගණන සහ සහතික කිරීමේ අංශයේ ප්‍රධානත්වය ද දරා ඇත. ඔහු නිව්‌යෝර්ක්, ෆිලඩෙල්ෆියා සහ බොට්ස්වානා යන රටවල Pricewater house Coopers (PwC) හරහා ජාත්‍යන්තර අත්දැකීම් ද ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd