විමුක්ති එස් රුද්‍රිගු


ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සහ තිරසාර භාවිතයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය පරිවර්තනය කිරීමේ ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය අතර උපායමාර්ගික සහයෝගීතා ව්‍යාපෘති යෝජනාවක් අවසන් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත. ඉදිරි වසර පහක කාලයේදී මෙරට මුද්‍රණ කර්මාන්තය මීළඟ අදියර ඔසවා තැබීම මෙම සාකච්ඡාවේ ඉලක්කය වී තිබිණි. යෝජිත මුලපිරීම යටතේ,  ISO 9001:2015 (තත්ත්ව කළමනාකරණ පද්ධති) සහ ISO 14001:2015 (පාරිසරික කළමනාකරණ පද්ධති) තත්ව සහතික ඇති මුද්‍රණ සමාගම් 10ත් 20ත් අතර ප්‍රමාණයක් රටපුරා සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවට, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න සහ එම ආයතනයේ ප්‍රධාන තාක්ෂණික, පුහුණු සහ සහතික කිරීමේ අංශ නියෝජනය කරන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු සහභාගී වී ඇති අතර ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර, පළමු උප සභාපති නිශාන්ත පෙරේරා, විධායක කමිටු සාමාජික දිනේෂ් මර්වින්, එම සංගමයේ කළමනාකරු ලෙනාඩ් එඩ්වඩ් සහ ලේකම් අනුෂා කන්නන්ගර යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇත.