නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ

සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති සුරංජිත් වෑවිට

  • රට තුළ අසීමාන්තික සංචරණයක් (overturism) වැළැක්වීම අරමුණයි 
  • සංචාරකයන් සංඛ්‍යාව නොව ඔවුන්ගෙන් ලැබෙන වටිනාකම පිළිබඳ වැඩි අවධානයක් 
  • සංචාරකයකුගේ දෛනික වියදම් කිරීම් ඩොලර් 181 සිට 200ක් කිරීමට සැලසුම් 
  • 2030 දී සංචාරකයන් ලක්ෂ 50ක් හරහා ඩොලර් බිලියන 08 -10ත් අතර ආදායමක්  
  • වසර තුළ සංචාරකයන් ලක්ෂ 25කින් ආදායම් අපේක්ෂාව ඩො.බි. 4.2 ක් 

භානුක අමරසිංහ 


වාර්ෂිකව සංචාරකයන් ලක්ෂ 40ත් 50ත් අතර සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාණවත් යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඒ හරහා ඉහළ සංචාරක ආදායමක් උපයා ගැනීම ඉදිරි සැලසුම වනු ඇති බවත් ඒ මහතා සඳහන් කරයි. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ අසීමාන්තික සංචරණ (Overtourism) තත්වයක් ඇතිවීම වැළැක්වීම මෙහි අරමුණ බවත්, එවැනි තත්වයක් ලංකාවේ සංස්කෘතික සහ ස්වාභාවික උරුම වෙත හානි දායක විය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

ලබන ඔක්තෝබර් 05 සිට 09 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත  MICE EXPO 2026  සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිම සඳහා පැවැති හමුවේදී ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය. 

 “මේ සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය වෙන්නේ සංඛ්‍යාව පස්සෙන් පැන්නීම නෙමෙයි. මොකද දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව බිඳෙන සුළු පරිසර පද්ධතියක්, වඩාත් සංවේදී සංස්කෘතික උරුමයක් සහිත රටක්. මේ කරුණු ගැන සලකා අපි වසරකට සංචාරකයන් ලක්ෂ 40ත් 50ත් අතර සංඛ්‍යාවක් ගැන තමයි බලාපොරොත්තු තබා තිබෙන්නේ. එය උපරිමය වේවි.“ 

කෙසේ වෙතත් පැමිණෙන මෙම සංචාරකයන් හරහා අගය වර්ධනය කිරිම රජයේ අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 
 “වටිනාකම අතින් ගත්තොත් අපි මේ නිෂ්පාදනය සහ ඒ හරහා ලැබෙන අත්දැකීම් තවදුරටත් සංවර්ධනය කළ යුතුයි. රජය ලෙස අපි තවදුරටත් ඒ සඳහා ආයෝජන සිදු කරමින් ඉන්නවා. ඩිජිටල් ප්‍රවර්ධන ව්‍යාපාරයත් ඊට ඇතුළත්. ඒ හරහා සංචාරකයකු දිනකට වියදම් කරන මුදල වන එක්සත් ජනපද ඩොලර් 148ක මුදල ඩොලර් 200ට වඩා වැඩි කරගැනීම අපේක්ෂාවයි.“ 

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා, 2030 වන විට සංචාරකයන් ලක්ෂ 50ක් හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 8ත් 10ත් අතර ආදායමක් උපයා ගැනීම සැලසුම බව සඳහන් කළේය. 

“අපිට අවශ්‍ය ස්වාභාවික සහ සංස්කෘතික උරුමයන් වඩාත් තිරසාරව භාවිත කිරිමයි. අද වනවිට ලෝකයට ඍණාත්මක බලපෑමක් එල්ල කර තිබෙන අසීමාන්තික සංචරණයට අපි පිළිතුරු සෙවිය යුතුයි.“ 

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති සුරංජිත් වෑවිට මහතා අදහස් දක්වමින්, බටහිර ආසියානු කලාපයේ යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයන් සිදුකළ ඇති වියදම් කිරීම් පෙර වසරට සාපේක්ෂව යම් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙන බවත් සඳහන් කළේය. 

 “වසරේ මුල් මාස අට තුළ සංචාරක පැමිණීම් සියයට 2 කින් පහත වැටුණත්, ආදායම ඉහළ ගිහින් තිබෙනවා. එතැනදී ඍජු ගුවන් ගමන් හරහා ඉහළ වියදම් කිරිමේ හැකියාවක් සහිත සංචාරකයන්ගේ පැමිණීම ඊට හේතුවයි. කෙසේ නමුත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ අභියෝගයකට අපි මේ වනවිට මුහුණ දෙමින් සිටිනවා.“ 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා, “මේ වසරේදී අපේ සංචාරක ඉලක්කය වුණේ ලක්ෂ 30ක්. සාමාන්‍ය තත්වය යටතේ එය ලක්ෂ 27ක් වුණා. ඒ වගේම අභියෝගාත්මක තත්වය යටතේ එය ලක්ෂ 25ක්. බටහිර ආසියාවේ ඇති වූ යුද ගැටුම් නිසා ලංකාවට පැමිණෙන ගුවන් ගමන් දහස් ගණනින් අවලංගු වුණා. ඒ නිසා මාස කිහිපයකදීම සංචාරකයන් පැමිණීම අඩු වුණා. මේ තත්වයත් සමගින් 2026 වසරේ දී සංචාරකයන් ලක්ෂ 25ක් පැමිණේවි කියලා අපේක්ෂා කරනවා.“ යනුවෙන්ද පැවසීය. 

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා මෙරටට සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 16.4ක් (1,642,215ක්) පැමිණ තිබේ. ඒ අනුව අභියෝගාත්මක තත්වය යටතේ වසර තුළ පැමිණෙතැයි අපේක්ෂා කරන සංචාරකයන් ලක්ෂ 25 සම්පූර්ණවීම සඳහා තවත් සංචාරකයන් ලක්ෂ 09ක් පැමිණිය යුතුව ඇත. 

එසේම මෙම වසර තුළ සංචාරක කර්මාන්තය හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 4.2 ක ආදායමක් රැස් කරගැනීම අපේක්ෂාව වන අතර, වසරේ මුල් මාස අට තුළ එම ආදායම ඩොලර් බිලියන 2 කි.