• අය කරන ගාස්තු සම්බන්ධයෙන් පවතින නියාමන ක්‍රමවේදය වෙනස්විය යුතුයි
  • ගාස්තු සම්බන්ධයෙන් පෙර පැවති ආණ්ඩු විසින් හඳුන්වා දුන් නියාමන රෙගුලාසි සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව අදාළ පියවර ගෙන නෑ 

රංජන් කස්තුරි

ආනයන සහ අපනයනකරුවන්ගෙන් කොළඹ වරාය ගාස්තු අය කරන වැරදි ක්‍රමවේදය හේතුවෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 50 කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වන බවට ශ්‍රී ලංකා භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් සංගමය චෝදනා කරයි.

කොළඹ වරායේ ආනයනකරුවන්ගෙන් සහ අපනයනකරුවන්ගෙන් අය කරන ගාස්තු සම්බන්ධයෙන් පවතින නියාමන ක්‍රමවේදය වෙනස් විය යුතු බවද එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට වාර්ෂිකව අති විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වී පවතින ඩොලර් අර්බුදය තවදුරටත් ඔඩුදුවන බවද එම සංගමයේ මහ ලේකම් ඉනාම් කැෆූර් මහතා කොළඹ දී ඉකුත්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම ගාස්තු සම්බන්ධයෙන් පෙර පැවති ආණ්ඩු විසින් හඳුන්වා දුන් නියාමන රෙගුලාසි සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව අදාළ පියවර ගෙන නොමැති බවද එහිදී ඉනාම් කැෆූර් මහතා කීවේය.

වරාය පර්යන්ත ගාස්තු සහ නාවික ප්‍රවාහනයට අදාළ වෙනත් ගාස්තු වෙනුවෙන් විදේශීය පාර්ශ්වයන්ට විදේශ මුදලින් ගෙවීමට සිදුවීම රටේ විදේශ විනිමය තත්වයට අමතර පීඩනයක් ඇති කරන බවද එම සංගමයේ  (CEYFFA) මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් සංගමය අනුක්‍රමිකව බලයට පත් වූ ආණ්ඩු දැනුවත් කර ඇති අතර, අදාළ රෙගුලාසිවලට එරෙහිව නීති ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව ඔහු පැවසීය.

රටේ ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයෙන් අනවශ්‍ය ලෙස විදේශ විනිමය පිටතට ගලා යාම වැළැක්වීම සඳහා පවතින නියාමන ක්‍රමවේදය නැවත සමාලෝචනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද ඉනාම් මහතා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අදාළ බලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් තම සංගමය ලිපියක් යොමු කළ බවද මහ ලේකම්වරයා කීවේය.

පෙර පැවති ආණ්ඩු විසින් හඳුන්වා දුන් රෙගුලාසිවලට එරෙහිව අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර ඇති බවද එම රෙගුලාසි  හේතුවෙන් පිරිවැය ඉහළ යාමත් රටේ විදේශ විනිමය තත්වයට අහිතකර බලපෑම් ඇතිවීමත් සිදුවිය හැකි බවට එමගින් ජනාධිපතිවරයාට පැහැදිලි කළ බවද ඔහු පැවසීය.

නැව් නියෝජිතයන්, භාණ්ඩ ප්‍රවාහන සංවිධායකයන් (Freight Forwarders), නැව් හිමිකාරීත්වයක් නොමැති පොදු ප්‍රවාහන ක්‍රියාකරුවන් (NVOCCs) සහ බහාලු‍ම් මෙහෙයුම්කරුවන් සඳහා අදාළ ගාස්තු ව්‍යුහය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් අංක 2334/26 අවලංගු කරන ලෙසද තම සංගමය ජනාධිපතිවරයාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින බවද ඉනාම් කැෆූර් මහතා කීය.

පවතින තත්වය නිවැරැදි කිරීම සඳහා සකස් කළ ගැසට් පත්‍රයක් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවටද එහිදී ඔහු චෝදනා කළේය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු‍ ඍජුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති දිසානායක මහතා හමුවීමට අවස්ථාවක් ලබා ගැනීමටද සංගමයට නොහැකි වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වරාය තුළ සපයනු ලබන සේවා සඳහා වන ගෙවීම් රටේ විදේශ විනිමය රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා රුපියල්වලින් සිදු කළ යුතු බව සංගමය ඉල්ලා සිටින බවද ඹහු කීය.