• දෙරට අතර සංචාරක පැමිණීම් ඉහළ නැංවීමට නව සංචාරක පැකේජයක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සබඳතා සබඳතා තවදුරටත් පුළුල් කරමින්, වියට්නාමයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන VietJet, කොළඹ සහ හෝ චි මිං නගරය (Ho Chi Minh Cit) අතර සිය මංගල ඍජු ගුවන් ගමන් සේවාව ජූලි 18 දා නිල වශයෙන් ආරම්භ කළේය. 

මෙම ඍජු සේවාව, සංචාරකයන් සහ ව්‍යාපාරිකයන් සඳහා නව දොරටු රාශියක් විවෘත කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

මේ යටතේ, දෙරට අතර සංචාරක පැමිණීම් ඉහළ නැංවීම සඳහා දෙපාර්ශවයම ඒකාබද්ධව නව සංචාරක පැකේජ හඳුන්වා දීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම, දෙරටේ පවතින ආගමික සහ සංස්කෘතික සබඳතා මූලික කරගනිමින් ආගමික සංචාරකත්වය ප්‍රවර්ධනය කිරීමට සහ සංස්කෘතික, සෞඛ්‍ය මෙන්ම වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍ර දියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ. 

වියට්ජෙට් ගුවන් සේවය, සතියකට තුන් වතාවක් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. හෝ චි මිං නගරය, VietJet හි ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයක් වන බැවින්, ශ්‍රී ලාංකික සංචාරකයන්ට වියට්නාමයේ අනෙකුත් නගර වෙත මෙන්ම, නැගෙනහිර ආසියාව, ගිනිකොණදිග ආසියාව, ඕස්ට්‍රේලියාව සහ තවත් බොහෝ ගමනාන්ත වෙත පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව සැලසේ.