IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලක්ෂ 3500 ක් වැය කළ තඹුත්තේගම මහජන පොළ කාටද ?

බුල්නෑව ප්‍රදීප් රණතුංග 


කලින් කලට තැනින් තැන ඉදිකිරීම් ඇරඹෙන සමහර සංවර්ධන ව්‍යාපෘතිවලට අත්වන ඉරණම ඉතා ශෝචනීය වේ. අවසන කපටි නිලධාරීන්ගේ, අවස්ථාවාදී කොන්ත්‍රාත්කරුවන්ගේ සහ වංචනික දේශපාලඥයන්ගේ අත මිට සරු කරන තෝතැනි බවට පමණක් එවැනි ව්‍යාපෘති පත්වේ. එපමණකින් නොනැවතී මෙවැනි ව්‍යාපෘති වල්වැදී යනුයේ ජනතා අපේක්ෂා සුන් කරමිනි. එයින් සිදුවනුයේ ඒ ආශ්‍රිත ජනයාට ලබාගත හැකි ආර්ථික වාසිය ද නිකරුණේ අහිමි වීමය. රුපියල් 34,793,550.00ක් (තිස්හතර කෝටි හත්ලක්ෂ අනුතුන්දහස් පන්සිය පනහක්) හෙවත් ලක්ෂ 3,479 ක ඇස්තමේන්තුවක් සහිතව ඉදිකිරීම් අරඹා ඇති තඹුත්තේගම නගරයේ “නව පොළ භුමිය” ට වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ අත්ව ඇත්තේ ද එවැනි ඉරණමකි.
මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ එවක ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මගින්, පළාත් නැගුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ 2014 වර්ෂයේදී මෙම පොළ භුමියේ ඉදිකිරීම් අරඹා ඇත. එවක මෙහි ඉදිකිරීම්වල අධීක්ෂණ ආයතන ලෙස පළාත් පාලන දෙපාර්තමේන්තුව, තලාව ප්‍රාදේශීය සභාව සහ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නම් කරනු ලැබ තිබී ඇත. එහෙත් අද වල්වැදෙන පොළ ඉන් මුදා, ඉදිකිරීම් නිමවා ජනසතු කිරීමට කිසිවකු නැත. එදා බෙරහඬ මැද පුවරු විවර කළ දේශපාලනඥයන් හෝ අත්පොලසන් දුන් නිලධාරින් කිසිවකු ද අද නැත. සිදුවන විනාශය දැක සුසුම්ලනු හැර වෙනත් කළ හැක්කක් නොවන තැනට නගරවාසීන් ද පත්ව තිබේ. 
සිදුව ඇති විනාශය පිළිබඳව ප්‍රදේශවාසියකු වන අබේරත්න හේරත් මෙසේ පැවසීය.
කෝටි ගාණක් වියදම් කරලා මෙතැන තියෙන වැවෙන් ගොඩදාපු පස් පුරෝල අවුරුදු ගාණකට කලින් මේ පොළ හදන්න ගත්තේ. ඒ පොළ තාමත් කැලේ. පොළ හදන්න ගත්ත දවසේ ඉඳලා සිද්ධ වුණේ ලොකු වංචාවක්. ලක්ෂ තුන්දහක් විතර වියදම් කරලා පොළක් හදනවා කියන්නේ සුළුපටු වැඩක් නෙමෙයි. පරණ පොළේ හයිකරලා තිබුණු කඩකෑලිත් මෙතැන ගෙනල්ලා හයි කෙරුවා. එතැන තිබ්බ ගොඩනැගිලි මෙතැන ගෙනැල්ලා හයි කරපු එකෙන්  වුණේ වැස්ස දවසට වෙළෙඳාමක් කරගන්න බැරි වෙන විදිහට එතැන වතුර වළක් වෙනවා. මං කියන්නේ ඔක්කොටම කලින් මේ පොළ හදන්න කරපු වියදම ගැන විගණනයක් කරන්න ඕන කියලා.  
නව පොළ භූමියේ ඉදිකිරීම් ඇරඹීමට පෙරාතුව වසර ගණනාවක් තිස්සේ අද දක්වාම තඹුත්තේගම සති පොළ පවත්වනුයේ නගර මධ්‍යයෙන් දිවෙන ඇල්ල ප්‍රධාන මාර්ගයට යාව ඇති ආර්ථික මධ්‍යස්ථානයට ඉදිරිපස පිහිටි භුමියේය. තඹුත්තේගම වැව ආසන්නයේ ඇති බිම්කඩ තුළ මෙම නව පොළ ස්ථාපිත කිරීමට ආර්ථික මධ්‍යස්ථානයේ දෛනිකව ඇතිවන වාහන තදබදය ද හේතුවී ඇතැයි පැවසේ. නව පරිශ්‍රය තුළ සති පොළ ස්ථාපිත කොට දැනට පොළ පවත්වන භුමිය නිදහස් කරගෙන එය ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රයෝජනයට ගැනීම සැලසුම වී තිබුණේ යැයිද කියැවේ.  
නගරවාසියකු වන සංජීව විජේසිංහ මෙසේ පැවසීය.
එක එක හේතු කිය කියා කෝටි ගාණක සම්පතක් කැළේට ඇරලා හැමෝම නිහඩයි. ඇත්තටම මේක මොන විනාශයක් ද. වැඩක් නොගෙනෙම හැමදේම දවසින් දවස කැළේට යටවෙනවා. එක අතකින් මේ අපේම සල්ලි. පොළේ වැඩ ටික හරිහමන් විදිහට ඉවර කරලා මේක වෙළෙන්ඳන්ට බෙදලා දෙන්න බෑ කිව්වහම හරි පුදුමයි. මෙතැන ලක්ෂ 3500 කින් මොනවද කෙරුවේ කියලා හිතාගන්න බෑ.
මෙම නව පොළ භුමිය ස්ථිර වෙළෙඳ කුටි, පානීය ජලය,  වැසිකිළි කැසිකිළි පහසුකම්, ජලය බැස යන කානු පද්ධතියක්, තාර ඇතුරූ බිමක්, නිසි ලෙස ඉදිකළ වැටක්, වසා දැමිය හැකි ප්‍රවේශ දොරටුවක් ඇතුළුව අංග සම්පුර්ණව ස්ථාපිත කිරීමට යෝජිතව ඇත. එහෙත්  අද සිදුව ඇත්තේ හව්හරණකින් තොරව අතෑර දැමු භුමිය වල් වැදී, ඉදිකිරීම් ද අව්වෙන් වැස්සෙන් හිරිහැර විඳිමින් හුදකලාව විනාශය වැළඳ ගැනීමයි. අයාලේ යන ගවයන්ගේ, සුනඛයන්ගේ මෙන්ම අයථා ක්‍රියාවල නියැලෙන්නන්ගේ දඩ බිමක් බවට පරිශ්‍රය පත්ව ඇත. වැට මායිම් ද බිඳ දමා ඇත. කාණු වල්වැදී ගොඩවී ඇත. 
ප්‍රදේශවාසියකු වන ඩබ්ලිව්. ජානකගේ පැහැදිලි කිරීම මෙබන්දකි.
මේ විදියට ගොඩනැගිලි වල් වැදිලා තියෙන කොට එක අතකින් අශෝභනයි. අනික් පැතතෙන් ඒක ලොකු අවදානමක්. හවස් වෙනකොට මේ තැන්වල මොනව වෙනවද කියලා කවුද දන්නේ. අයාලේ යන බල්ලෝ, හරක් මේ තැන්වල ලගිනවා. කොයිවෙලේ බැලු‍වත් මෙතැන හරක් ඉන්නවා. වටේට ගහලා තිබ්බ කම්බි වැට දැනටම විනාශයි. 
පැරණි පොළ භුමියේ ඉදිකොට තිබු ඉදිකිරීම් සියල්ල ද මෙම පොළ භුමියේ සවිකිරීම හේතුවෙන් ඉදිකිරීම් කිසිත් නැති හුදකලා පැරණි භූමිය තුළම දුෂ්කරතා රැසක් මැද පොළ පැවැත්වීමට වෙළෙඳුන්ට සිදුව තිබේ. එහෙයින්ම පැරණි පොළ තුළ වැසි  දින වලදී වෙළෙඳාම් කළ නොහැකි තත්වයක් මතුව ඇත. අව්වෙන්, දුවිල්ලෙන් හිරිහැර විඳීමට වෙළෙඳුන්ට සිදුව ඇත. එළවළු, පලතුරු, කරවල ආදී වැඩිමණක් ආහාර ද්‍රව්‍ය විකුණන පොළෙහි ඇති අපිරිසුදුකමින් පීඩා විඳීමට පාරිභෝගිකයන්ට සිදුව තිබේ. 
උපාලි රත්නායක පැවසුවේ මෙවැනි අදහස් පෙළකි.
“ඇයි අලු‍ත් පොළ මෙහෙම අතෑරලා තියෙන්නේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. ගම්මාන සිය ගාණක මිනිස්සුන්ට අයිති සම්පතක් මේ කැළේ වැහෙන්න ඇරලා තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට හරිහමන් විදියට මැදිහත් වෙන්න කෙනෙක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. පහුගිය කාලේ පරණ පොළේ තිබ්බ දේවලු‍ත් ගලවන් ගිහිං අලු‍ත් තැන හයිකරපු නිසා වැහි දවස්වලට දැන් එතැන වෙළෙඳාම් කරන්නේ කොහොමද. වෙළෙන්ඳෙ‌ාත් තෙමෙනවා. බඩු ගන්න එන අයත් වැස්සෙන් නෑවෙනවා. පායනකොට දුවිල්ල. මිනිස්සු කන, බොන දේවල්නේ මෙතැන විකුණන්නේ. කවුරුවත් මේවා ගැන හිතන්නේ නෑ. කවර කාර්යකට හෝ රුපියල් ලක්ෂ 3500 කට ආසන්න මුදලක් වැය වුවේ යැයි පැවසීම සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. එය එක්තරා අන්දමක අරුම, පුදුම වියදමකි. තවදුරටත් එය ගැටලු‍කාරි වනුයේ ඒ සා මුදලක් වැය කර ඉදිකළේ යැයි පැවසෙන ගොඩනැගිලි මෙපරිද්දෙන් වල්වැදීමය. ඒ පිළිබඳව නිසි විගණනයක් සිදුකොට, තවදුරටත් මගහැරී ඇති ඉදිකිරීම් නිමවා, වෙළෙඳුන්ගේ පාර්ශ්වයෙන් යම් ගැටලු‍වක් වේ නම් ඒ සඳහා ද නිසි විසඳුම් දී කඩිනමින් තඹුත්තේගම නව පොළ භූමිය ජනසතු වේය යන්න ජනතා අපේක්ෂාව වී තිබේ. ඉකුත් දිනක පොළ භූමියේ නිරීක්ෂණයට පැමිණි උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පැවසුවේ ඉතා කඩිනමින් මෙම පොළ විවෘත කිරීමට පියවර ගන්නා බවය. එම පොරොන්දුවටද දැන් මාස හතකට වැඩි කාලයක් ගතවී තිබේ.



අදහස් (0)

ලක්ෂ 3500 ක් වැය කළ තඹුත්තේගම මහජන පොළ කාටද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site