ශ්‍රී ලංකාව තුළ දුම්කොළ අඩංගු විද්‍යුත් දුම්වැටි තහනම් කිරීමේ වත්මන් දෘඪ ප්‍රතිපත්තිය හේතුවෙන් රට තුළ පාරිභෝගික ඉල්ලුම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති අතර, ඒ වෙනුවට බිහිසුණු අන්දමින් වර්ධනය වන නීති විරෝධී වෙළඳපොළක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව ජාත්‍යන්තර “Prohibition Does Not Work” (PDNW) සංවිධානය සිය නවතම වාර්තාව මගින් අනතුරු අඟවා සිටියි. නියාමනයක් නොමැතිකමේ බරපතළ අවදානම පෙන්වා දෙමින්, ගාල්ල වැනි ප්‍රදේශවල පවා එක් වරක් ඇදීමට (per puff) රුපියල් 50 බැගින් අය කරමින් පාසල් ළමයින් අතර සිගරට්/ ඊ-සිගරට් අලෙවි කරන නීති විරෝධී ජාවාරම්කරුවන් ද නැගී එමින් පවතින බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය වේ.
‘තහනම් කිරීම් අසාර්ථක වන්නේ ඇයි: දුමෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා වන නියාමන’ මැයෙන් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, දැඩි නීතිමය සීමා කිරීම් මධ්‍යයේ වුවද, විධිමත් නොවන සිල්ලර වෙළෙඳ ජාල, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ප්‍රමිතියෙන් තොර විද්‍යුත් දුම්වැටි නිෂ්පාදන ශ්‍රී ලංකාව පුරා බහුලව ලබාගත හැකි මට්ටමක පවතින බවයි.
ශ්‍රී ලංකාව පසුගිය දශක දෙකක කාලය පුරා දුම්කොළ පාලනය සම්බන්ධයෙන් දැඩි කැපවීමක් ප්‍රදර්ශනය කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ පදනම් සම්මුතිය (FCTC) අනුමත කළ ආසියාවේ පළමු වන රට බවට පත්ව සිටියද, වර්තමාන ප්‍රතිපත්තිමය අභියෝගය වී ඇත්තේ දුම්පානය ප්‍රචලිතවීම තවදුරටත් කඩිනමින් අවම කරන්නේ කෙසේද යන්නයි. දුම්කොළ පාලනය පිළිබඳ පදනම් සම්මුතියෙහි 1(d) වගන්තිය මගින් ද “දුම්කොළ පාලනය” යන්නට “හානි අවම කිරීමේ උපායමාර්ග” ඇතුළත් වන බව පැහැදිලිව අර්ථ දක්වා ඇති අතර, බෝ නොවන රෝග පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය මගින් ද විකල්ප නිකොටින් නිෂ්පාදන තහනම් කරනවා වෙනුවට ඒවා නියාමනය කිරීම සඳහා සහාය පළ කර තිබේ. එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ද අඩු අවදානමක් සහිත නිකොටින් නිෂ්පාදනවල පවතින අවම හානිකර ස්වභාවය හේතුවෙන් එම නිෂ්පාදන සඳහා සිගරට්වලට වඩා අඩු බදු පැනවිය යුතු බව නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන PDNW ප්‍රකාශක ටිම් ඇන්ඩෲස් මහතා පවසන්නේ ලොව බොහෝ රටවල් අත්දැකීමෙන් ඉගෙන ගෙන ඇති පාඩම ශ්‍රී ලංකාවද දැන් අත්විඳිමින් සිටින බවයි. තහනම් කිරීම් මගින් කිසිදු විටෙක පාරිභෝගික ඉල්ලුම තුරන් කළ නොහැකි අතර, ඉන් සිදු වන්නේ නීත්‍යානුකූල ව්‍යාපාරිකයන් සතු වෙළෙඳපොළ ජාවාරම්කරුවන්ට සහ අපරාධ කල්ලිවලට පවරා දීම පමණක් බව පෙන්වා දෙන ඒ මහතා, ශ්‍රී ලංකාවට මේ වනවිට තෝරා ගැනීමට ඇත්තේ වේප් භාවිතය තිබීම හෝ නොතිබීම අතර තීරණයක් නොව, රජයේ නියාමනයට යටත් වූ සෞඛ්‍යාරක්ෂිත වෙළෙඳපොළක් සහ නීති විරෝධී වෙළෙඳපොළක් අතර තේරීමක් පමණක් බව ද අවධාරණය කරයි. සිගරට් ලබාගැනීමට ඉඩ සලසමින්, අවදානම අඩු විකල්ප නිෂ්පාදන තහනම් කරන ප්‍රතිපත්ති මගින් හානි අවම නොවන අතර, ඉන් සිදුවන්නේ හානිකර තත්ව තවදුරටත් ස්ථාවරවීම පමණි.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රයේ (ADIC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, මෙරට වැඩිහිටි පිරිමි ජනගහනයෙන් සියයට 26.6 ක්, එනම් මිලියන 1.86 කට ආසන්න පිරිසක් තවමත් සාම්ප්‍රදායික දුම්පානයෙහි නිරත වන අතර, වාර්ෂිකව සිදුවන සමස්ත මරණවලින් සියයට 83 කටම හේතුව දුම්කොළ භාවිතය සෘජුවම බලපාන බෝ නොවන රෝග ව්‍යාප්තියයි. ශ්‍රී ලංකාව තුළ සිගරට් භාවිතය සහ බීඩි භාවිතය හෘද වාහිනී රෝග, හෘදයාබාධ, අංශභාගය, නිදන්ගත පෙනහලු අවහිරතා රෝග, නිදන්ගත ස්වාසනාළ ප්‍රදාහය සහ ඇදුම වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග රැසකට ප්‍රධානතම අවදානම් සාධකයක් වන අතර, නියුමෝනියාව සහ ක්ෂය රෝගය වැනි බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාව ද ඉහළ නංවයි. එසේම මෙරට පිරිමි ජනගහනය අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගයක් වන පෙනහලු පිළිකා ඇතුළු තොල්, දිව, මුඛය, අන්නස්‍රෝතය, ග්‍රසනිකාව, මුත්‍රාශය සහ ගලනාලය ආශ්‍රිත පිළිකා ඇති වීමට ද මෙය සෘජුවම බලපායි. දුම්කොළ භාවිතය ආශ්‍රිත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 16.3 ක් සහ අනෙකුත් බෝ නොවන රෝග සඳහා රුපියල් බිලියන 73 ක් වශයෙන් සමස්තයක් ලෙස රුපියල් බිලියන 89 කට අධික අතිවිශාල පිරිවැයක් ජාතික ආර්ථිකයෙන් වැය කිරීමට සිදුවේ.
මෙහිදී වටහාගත යුතු ප්‍රධානතම කරුණ වන්නේ සෞඛ්‍ය ගැටලු ඇති කරන ‘දුම්වැටි භාවිතය’ සහ සෘජු සෞඛ්‍ය ගැටලුවලට හේතුව නොවන ‘නිකොටින්’ අතර පවතින වෙනසයි. විද්‍යුත් දුම්වැටිවල දුම්කොළ අඩංගු නොවන අතර දහනයක් ද සිදුනොවන බැවින්, එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය බලධාරීන් ඇතුළු ස්වාධීන පර්‌යේෂණ ආයතන නිගමනය කර ඇත්තේ මෙම නිෂ්පාදන දුම්පානයට වඩා දළ වශයෙන් සියයට 95 කින් හානිකර බවින් අඩු බවයි. ස්වීඩනය, එක්සත් රාජධානිය සහ නවසීලන්තය වැනි රටවල්, අඩු අවදානමක් සහිත විකල්ප නිකොටින් නිෂ්පාදනවලට සිගරට් සමග තරග කිරීමට ඉඩ සලසන නියාමන රාමු සකස් කිරීම හරහා සිය රටවල දුම්පාන අනුපාත ශීඝ්‍රයෙන් පහත හෙළීමට සමත්ව ඇත. විශේෂයෙන්ම ස්විඩනය මේ වනවිට සිය දුම්පාන ප්‍රතිශතය සියයට 5 ට වඩා අඩු මට්ටමකට ඇද දමා යුරෝපයේ ප්‍රථම “දුමෙන් තොර” රාජ්‍යය බවට පත්වෙමින් පවතින අතර, ඊට ප්‍රතිවිරුද්ධව දැඩි තහනම් පැනවූ බ්‍රසීලය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සිය මුළු වෙළෙඳපොළම පාහේ නීති විරෝධී වෙළෙඳපොළකට බිලි දී ඇත.
2009 වසරේ සිට වේප් තහනම් කර ඇති බ්‍රසීලයේ, 2025 වනවිට නීති විරෝධී වෙළෙඳපොළ ඇමරිකානු ඩොලර් බිලියන 1.03 ක් දක්වා වර්ධනය වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සමස්ත වෙළෙඳපොළෙන් සියයට 95.7 ක්ම පාලනය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 750 ක් සහ බිලියන 1.3 ක් අතර අගයක පවතින නීති විරෝධී වෙළෙඳපොළයි. මෙම තහනම් කිරීම්වල අසාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහතා “The Smokeless Word” පොඩ්කාස්ට් වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ, “තහනම් කිරීම් මගින් සිදු වන්නේ එකී නිෂ්පාදන වෙළෙඳපොළෙන් අතුරුදහන් වීම නොව, ඒවා නියාමනය නොවූ, බදු අයකිරීම්වලින් තොර නීති විරෝධී වෙළෙඳපොළක් බවට පත්වීම පමණයි. අවසානයේදී ඉන් සිදුවන්නේ රජයට ලැබිය යුතු ආදායම අහිමි වී අපරාධකරුවන් ශක්තිමත් වීමයි,” යනුවෙනි.
ශ්‍රී ලංකාව ද 2016 වසරේ පැනවූ ‘තහනම් දුම්කොළ නිෂ්පාදන රෙගුලාසි’ මගින් දුම්කොළ අඩංගු විද්‍යුත් සිගරට් තහනම් කළ ද, වෙළෙඳපොළ පරිණාමය වීමත් සමග මතුවූ දුම්කොළ රහිත නවීන නිෂ්පාදන සඳහා එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී බලධාරීන් දැඩි නීතිමය ව්‍යාකූලතාවලට සහ බලාත්මක කිරීමේ දුර්වලතාවලට මුහුණ පා සිටී. 2025 වසරේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් පවත්වන ලද පරීක්ෂණයකදී ද හෙළි වූයේ සැලකිය යුතු වේප් ප්‍රමාණයක් නීති විරෝධී ලෙස රට තුළට ඇතුළු වන නමුත් පැහැදිලි නීතිමය රාමුවක් නොමැතිකම නිසා සාර්ථක ලෙස නඩු පැවරීම සීමා වී ඇති බවයි. චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ගුවන් තොටුපොළ මෙන්ම වාණිජ නැව් මගින් වෙනත් භාණ්ඩ (තුවා, ගෘහ භාණ්ඩ, ප්ලාස්ටික් කෝප්ප ආදී) ලෙස ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් රහසිගතව ගෙන එන මෙම උපාංග, රජයේ කිසිදු බදු අය කිරීමකට හෝ ප්‍රමිති පරීක්ෂාවකට ලක් නොවේ. මෙම නීති විරෝධී වෙළෙඳපොළ වර්තමානය වනවිට ෆෙස්බුක්, වට්ස්ඇප් සහ විවිධ ඊ-වාණිජ වෙබ් අඩවි ඔස්සේ නිවසටම ගෙන්වා දීමේ සේවා සපයමින් ඉතා ක්‍රියාශිලීව පවත්වාගෙන යනු ලබයි.
තහනම් කිරීමෙන් රටේ තරුණ පරපුර ආරක්ෂා වන්නේ නැතැයි පෙන්වා දෙන ඉන්ටර්පෝල්හි හිටපු සහකාර අධ්‍යක්ෂ සහ PDNWහි උපදේශක මයිකල් එලිස් මහතා ප්‍රකාශ කරන්නේ, නීති විරෝධී වෙළෙන්ඳන් කිසිදු විටෙක පාරිභෝගිකයන්ගේ වයස් සීමා පරීක්ෂා නොකරන බැවින් බාලවයස්කාර පාරිභෝගිකයන්ට මෙම නිෂ්පාදන ලබාගැනීම තවදුරටත් පහසු වන බවයි. ශ්‍රී ලංකාවේ ද පාසල් සිසුන් අතර පවා වේප් භාවිතය ව්‍යාප්ත වීමේ බරපතළ අනතුරු ඇඟවීම් මතු වී තිබේ. විශේෂයෙන්ම ගාල්ල වැනි ප්‍රදේශවල පාසල් දරුවන්ට එක් වරක් ඇදීමට (per puff) රුපියල් 50 බැගින් අය කරමින් විද්‍යුත් දුම්වැටි අලෙවි කරන ජාවාරම්කරුවන් පිළිබඳව වාර්තා වීම මගින් මෙය මනාව පැහැදිලි වේ. මෙලෙස අධීක්ෂණය සහ ගුණාත්මක පාලනයක් නොමැති නීති විරෝධී වෙළෙඳපොළේ පවතින ප්‍රමිතියෙන් තොර, අඩංගු රසායනික ද්‍රව්‍ය හඳුනාගත නොහැකි නිෂ්පාදන නිසා පාරිභෝගිකයන් මුහුණ දෙන සෞඛ්‍ය අවදානම ඉතා ඉහළය. ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය වන්නේ නීති විරෝධී වෙළෙඳාම තවදුරටත් ශක්තිමත් කරමින් රජයට බදු ආදායම් අහිමි කරන තහනම වෙනුවට, හානි අවම කිරීමේ සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක නියාමනයකි. මෑතකදී කරන ලද විශ්ලේෂණයකට අනුව, දුම්පානය කරන ශ්‍රී ලාංකිකයන්ට සාපේක්ෂව අවදානම අඩු නිකොටින් විකල්ප වෙත මාරු වීමට අවස්ථාව සැලසෙන නියාමන රාමුවක් සකස් කළහොත්, 2060 වසර වනවිට මෙරට මිනිස් ජීවිත 85,000ක් පමණ බේරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී.
එබැවින්, දැනට පවතින දුර්වලතා සහිත නීති තවදුරටත් දැඩි කිරීමට උත්සාහ කරමින් අසාර්ථක තහනම පෝෂණය කරනු වෙනුවට, ශ්‍රී ලංකාව වහාම ප්‍රගතිශීලී ප්‍රතිපත්තිමය රාමුවක් වෙත යොමු විය යුතුය. ඒ යටතේ, සාම්ප්‍රදායික සිගරට් සහ වේප් නිෂ්පාදන අතර පැහැදිලි නීතිමය නිර්වචන සකස් කර ඒවායේ අවදානමට අනුපාතිකව නීති පැනවීම, සිල්ලර සහ අන්තර්ජාල අලෙවියේදී වයස් සීමා දැඩිව බලාත්මක කිරීම, නිෂ්පාදනයේදී යොදාගන්නා අමුද්‍රව්‍ය සහ විමෝචන පාලනය කරන ආරක්ෂණ ප්‍රමිති පැනවීම, නීත්‍යානුකූල පාරිභෝගිකයන් වෙනුවට නීති විරෝධී සැපයුම්කරුවන් ඉලක්ක කර නීතිය ක්‍රියාත්මක කිරීම, සිගරට්වලට වඩා හානියෙන් අඩු නිකොටින් නිෂ්පාදන සඳහා අවදානමට අනුපාතික සමතුලිත බදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම මෙන්ම පාරිභෝගිකයන්ට නිවැරදි සාපේක්ෂ අවදානම් පිළිබඳ තොරතුරු ලබාදීම වැනි විධිමත් පියවර රැසක් ක්‍රියාවට නැංවිය යුතු බව PDNW සංවිධානය අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd