IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අවදානමක?

  • 2023දී ලංකාව යුරෝපා සංගමය සමග කළ ද්වී පාර්ශ්වික වෙළෙදාමේ අගය යුරෝ බිලියන 3.84 ක්
  • ඉන් අපනයන යුරෝ බිලියන 2.56 ක්. ආනයන යුරෝ බිලියන 1.28 ක්
  • යුරෝපා සංගමය වසරකට කරන භාණ්ඩ ආනයනය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.5 ක්
  • ශ්‍රී ලංකාව දායකත්වය සපයන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7කට පමණයි
  • 2023 වසරේ මෙන්ම 2024 වසරේදීද මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේද යුරෝපා සංගමයෙන්
  • යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩවලින් සියයට 85 කට ජී.එස්.පී ප්ලස් සහනය හිමියි
  • පිටපිට තෙවතාවක් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව සිටියොත් ජී.එස්.පී ප්ලස් සහනය අහිමියි

 
විමුක්ති එස් රුද්‍රිගු

යුරෝපා සංගමයේ මෙරට තානාපතිනි කාමන් මොරිනෝ

ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කොන්දේසිවලට සියයට සියයක ප්‍රතිශතයකින් අනුකූල වනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු නොවන බවත්, කළ යුත්තේ එම සම්මුතීන්ට අනුකූල වීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව පැහැදිලිව යුරෝපා සංගමයට පෙන්වා දීම බවත් යුරෝපා සංගමයේ මෙරට තානාපතිනි කාමන් මොරිනෝ මහත්මිය ඊයේ (08) පැවැති සාකච්ඡාවකදී පැවැසුවාය.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය හා සම්බන්ධ වී තොරතුරු හුවමාරු කරගන්නා සංවාදයක් ගොඩනගා ගත යුතු බවත්, ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන යම් කොන්දේසියක් ඉටු කිරීමට අපොහොසත් වී ඇත්නම් ශ්‍රී ලංකාව එය ඉටුකිරීමට අපොහොසත් වූ හේතුව, එයට තිබූ බාධාව සහ ඉදිරියේදී එය ඉටුකර ගැනීමට තිබෙන මාර්ග සිතියම පිළිබඳව යුරෝපා සංගමය දැනුවත් කළ යුතු බවද ඇය ප්‍රකාශ කළාය. එලෙස ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමග කටයුතු නොකළහොත් ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමිවී යා හැකි බවද ඇය පැවැසුවාය.

ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය නිසියාකාරව භාවිත නොකරන බවත්, එය නිසියාකාරව භාවිත කරන්නේ නම් අපනයන දෙතුන් ගුණයකින් වර්ධනය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බවත්, ශ්‍රී ලංකාව කිසිඳු භාණ්ඩයක් අපනයනය නොකරන යුරෝපා සංගමයේ රටවල් කීපයක් තිබෙන බවත් තානාපතිවරිය ප්‍රකාශ කළාය.

ජී.එස්.පී. සහනය යුරෝපා සංගමය ලෝකයේ සෑම රටකටම ලබාදී තිබුණත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීම සඳහා රටවල් අයැදුම් කළ යුතු බවත්, යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් අටකට පමණක් බවත් යුරෝපා සංගමයේ මෙරට තානාපතිනි කාමන් මොරිනෝ මහත්මිය ඊයේ (08) පැවැති සාකච්ඡාවකදී පැවැසුවාය.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමේදී පැනවූ රෙගුලාසි ලබන වසර අවසානයේ කල් ඉකුත්වන බවත්, එවිට ශ්‍රී ලංකාව නැවත වතාවක් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා අයැදුම් කළ යුතු බවත් කාමන් මොරිනෝ මහත්මිය පැවැසුවාය. ජී.එස්.පී. ප්ලස් සහනය සඳහා අයැදුම් කරන රටවලට එය ලබා දෙන්නේ සෑම වසර දෙකකට වරක් අධීක්ෂණ ක්‍රියාවලියකට කැපවන සහ අත්සන තබන සම්මුතීන්ට අනුකූල වන රටවලට පමණක් බව ඇය ප්‍රකාශ කළාය.

ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය කොන්දේසි ශ්‍රී ලංකාව ඉටුකර ඇත්ද නැත්ද යනවග නිර්දේශ කළ නොහැකි බවත්, ඒ සඳහා තාක්ෂණික කණ්ඩායමක් ඉදිරි සති තුනක කාලයේදී මෙරටට පැමිණෙනු ඇති බවත් ඇය පැවැසුවාය.

යුරෝපා සංගමයේ මෙරට තානාපතිනි කාමන් මොරිනෝ මහත්මිය වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරුවා බවත්, 2023 වසරේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමග සිදුකළ ද්වීපාර්ශ්වික වෙළෙදාමේ අගය යුරෝ බිලියන 3.84 ක් බවත්ය. ඉන් අපනයන යුරෝ බිලියන 2.56 ක අගයක් ගත් බවත් ආනයන යුරෝ බිලියන 1.28 ක අගයක් ගත් බවත් ඇය ප්‍රකාශ කළාය.

කෙසේ නමුත් යුරෝපා සංගමය වසරකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.5 ක භාණ්ඩ ආනයනය කරන බවත් ඉන් ශ්‍රී ලංකාව දායකත්වය සපයන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7කට පමණක් බවත් මොරීනෝ මහත්මිය පැවැසුවාය.

එසේම 2023 වසරේ මෙන්ම 2024 වසරේදී ද මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේද යුරෝපා සංගමයෙන් බව ඇය ප්‍රකාශ කළාය. යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩවලින් සියයට 85 කට ජී.එස්.පී. ප්ලස් සහනය හිමිවන බවද ඇය පැවැසුවාය.

කෙසේ නමුත් පිටපිට තෙවතාවක් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව සිටියහොත් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවී යන බවද ඇය ප්‍රකාශ කළාය.

පාත්ෆයින්ඩර් පදනම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (08) සංවිධානය කළ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී යුරෝපා සංගමයේ මෙරට තානාපතිනි කාමන් මොරිනෝ මහත්මිය මෙම අදහස් පළ කළාය. ආර්ථික වර්ධනය සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරීත්වය යන තේමාව යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණ. 

 



අදහස් (0)

ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අවදානමක?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site