ද්‍රව්‍ය ආනයනය, විදෙස් සේවක වැටුප්, අලෙවිකරණ පිරිවැය නිසා කාන්දුවීම් ඉහළට
සමස්ත වෙළෙඳපොළ ආදායමෙන් සියයට 30ක් විදේශීය හිමිකාරීත්වය සහිතයි
2024 දී සුවතා අංශයෙන් ඩො.මි. 138ක් ලැබුණත්, ඩො.මි. 60.2ක් රටින් පිටට ගිහින්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රධානතම අංශයක් වන සුවතා සංචරණය සතුව ඩොලර් ආදායම් ඉපැයීමේ ඉහළ විභවතාවක් පැවතියත්, ඉහළ ආදායම් කාන්දුවක් හෙවත් රටින් පිටට යාමක් සිදුවන කර්මාන්තයක් බව එක්සත් ජාතීන්ගේ සංචරණය (UN Tourism) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) එක්ව සකස් කළ වාර්තාවක සඳහන්ව තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම් සහ එම වටිනාකම් රඳවා තබා ගැනීම පිළිබඳව සිදුකළ ඇස්තමේන්තුවක් යටතේ, මෙරට ප්‍රධානතම සංචරණ අංශ තුළ පිරිවැය සැකසීම සහ බාහිරට ආදායම් ගලායෑම් සම්බන්ධයෙන් එම වාර්තාව සකස් කෙරී තිබේ.
එහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ සුවතා කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය, විදේශීය සුවතා සේවකයන් සඳහා වන වැටුප්, අක්වෙරළ අලෙවිකරණ පිරිවැය යනාදිය හේතුවෙන් මෙලෙස ආදායම් කාන්දුවීමක් සිදුවන බව පැවසෙයි.
විශේෂයෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක සම්බාහන සහ සුවතා ව්‍යාපාරයේ සමස්ත වෙළෙඳපොළ ආදායමෙන් සියයට 20ත් සියයට 30ත් අතර ප්‍රතිශතයක් විදේශීය හිමිකාරීත්වය යටතේ පවතින බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව එම ව්‍යාපාර බොහෝමයක් සිය සේවකයන් ලෙස විදේශිකයන් ගෙන්වා ගැනීමත්, ආනයනික නිෂ්පාදන වෙත යොමුවීමක් සිදුවන බව හඳුනාගෙන තිබේ.
2024 සඳහා වන සුවතා අංශයේ දත්ත අනුව හිමි කරගෙන ඇති ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 138 ක් ලෙස සටහන් වන අතර, එම වසරේදී සිදුව ඇති වටිනාකම් කාන්දුවීම ඩොලර් මිලියන 60.2 කි. ඒ අනුව සැබෑ ලෙසම රට තුළ රැඳී ඇත්තේ ඩොලර් මිලියන 70.94ක ආදායමක් පමණකි.
මෙහිදී වැඩිම කාන්දුවීම වෙළෙඳ සහ අලෙවිකරණ අංශයෙන් සිදුව ඇති අතර එය ඩොලර් මිලියන 24.6කි. එසේම උපකරණ ආනයනයට සහ සේවක වැටුප් හරහා පිළිවෙළින් ඩොලර් මිලියන 11.42ක් සහ ඩොලර් මිලියන 11.37ක් රටින් පිටවී තිබේ.
ඒ අනුව මෙම දුර්වලතා මගහරවමින් එම ආදායම් රට තුළ රඳවා තබා ගැනීම සඳහා දක්ෂතා සංවර්ධනය, දේශීය ඇසුරුම් නිෂ්පාදනය, ආනයන ආදේශන, දේශීය මෙහෙයුම්කරුවන් සඳහා වන ඩිජිටල් අලෙවිකරණ ධාරිතාව යනාදිය සම්බන්ධයෙන් සාමූහික මැදිහත්වීමක් අවශ්‍ය බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
“වසර පුරාම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පත්වීමේ අවශ්‍යතාව යටතේ සුවතා අංශය ලබා දෙන දායකත්වයට මෙය අත්‍යවශ්‍යම කාරණාවක්. මෙම සුවතා අංශය දේශීයව සහ ජාත්‍යන්තරව විශාල වෙළෙඳපොළක් ආකර්ෂණය කරගන්නවාට අමතරව, එය සංචාරකයන් අඩුවෙන් පැමිණෙන කාලයේදීද සංචාරක ආදායම් ස්ථාවරව පවත්වාගෙන යාමට සහාය ලබා දෙනවා.“ එම වාර්තාව වැඩිදුරටත් පවසයි.
මේ අතර BookRetreats.com වෙබ් අඩවිය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2026 ඉහළම ප්‍රවණතාවක් සහිත සුවතා ගමනාන්තයක් ලෙස පසුගියදා ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කළේය. එහිදී පෙර වසරට සාපේක්ෂව එම අංශය සඳහා වන සංචාරක පැමිණීම් සියයට 100කින් ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd