විමුක්ති එස් රුද්‍රිගු
ලෝකයේ රටවල ආදායම් වර්ගීකරණය පිළිබඳව නවතම වාර්ෂික යාවත්කාලීන කිරීම ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ අතර එහි ශ්‍රී ලංකාව නැවත වතාවක් පහළ මට්ටමේ මැදි ආදායම් රටවල් කාණ්ඩයට ඇතුළත්ව ඇත. 2026 මූල්‍ය වර්ෂය සඳහා ලෝක බැංකුව මෙම වර්ගීකරණය සිදුකර තිබේ.
පසුගිය වසරේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව ලෝක බැංකුව මෙම වර්ගීකරණය සිදුකර ඇති අතර ආර්ථික ධාරිතාව පිළිබඳ වඩාත් ස්ථායී මිනුමක් සැපයීම සඳහා විනිමය අනුපාත උච්චාවචනය සුමට කරන ඇට්ලස් ක්‍රමය භාවිත කරමින් ගණනය කර ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 3,830 කි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක් ආර්ථික වර්ධනය පෙන්නුම් කළද එම රටවල් පෙන්නුම් කළ ප්‍රගතිය ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට එකතු වීමට ප්‍රමාණවත් වී නොමැත.
ආදායම් වර්ගීකරණයේදී ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 1135 ට අඩු රටවල් අඩු ආදායම් ලබන රටවල් ලෙස වර්ගීකරණය කර ඇති අතර ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 1,136 සිට 4,495 දක්වා රටවල් පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල් ලෙස වාර්ගීකරණය කර තිබේ.
එසේම ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 4,496 සිට 13,935 දක්වා රටවල් ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල් ලෙස වර්ගීකරණය කර ඇති අතර ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 13,935 ට වැඩි රටවල් ඉහළ මට්ටමේ ආදයම් ලබන ධනවත් රටවල් ලෙස වාර්ගීකරණය කර ඇත.
ලෝක බැංකුවේ ආදායම් වර්ගීකරණය අනුව 1987 සිට 1996 වසර දක්වා ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයට අයත් වී ඇති අතර 1997 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වරට පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් වී තිබේ. එතැන් සිට අවුරුදු 28ක් අඛණ්ඩව පහළ මට්ටමේ මැදි අදායම් ලබන රටවල් කාණ්ඩයට ශ්‍රී ලංකාව අයත් වී ඇත.
2017 වසරේදී මෙරට ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 4,290 ක් (ශ්‍රී ලංකා රුපියල් 1,287,781 ක් පමණ) ලෙස සටහන් වන අතර ආර්ථික අර්බුදයත් සමග 2022 වසරේදී මෙරට ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 3,378 දක්වා ඩොලර් 912 කින් (ශ්‍රී ලංකා රුපියල් 273,766 කින් පමණ) පහළ ගොස් තිබිණි.
කෙසේ නමුත් ලෝක බැංකු වර්ගීකරණයට අනුව අපගේ අසල්වැසියා වන ඉන්දියාව 1987 සිට 2006 වසර දක්වා අඩු ආදායම් රටවල් ලබන කාණ්ඩයට අයත් වී ඇති අතර 2007 වසරේදී ප්‍රථම වතාවට ඉන්දියාව පහළ මට්ටමේ මැදි අදායම් ලබන රටවල් කාණ්ඩයට එකතු වී ඇත. 1996 වසරේ සිට අඛණ්ඩව ඉන්දියාව තම ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය වර්ධනය කරගෙන ඇති අතර පහළ වැටී ඇත්තේ 2020 වසරේ පමණි. පසුගිය වසරේ ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 2,396.71ක් ලෙස සටහන් වේ.
1980 දශකයේ අග භාගයේදී අදායම් මට්ටම මත රටවල් වර්ගීකරණය ලෝක බැංකුව ආරම්භ කර ඇත. 1987 වසරේදී නැගෙනහිර ආසියාව සහ ශාන්තිකර කලාපයේ රටවල් වලින් සියයට 26 ක් අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයට අයත්වී ඇති අතර එය 2024 වසර වනවිට සියයට 3 දක්වා පහළ ගොස් තිබේ. යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 1987 සිට 2024 දක්වා කාලයේදී අඩු ආදායම් ලබන රටවල් වාර්තා නොවන අතර ධනවත් රටවල් ප්‍රමාණය සියයට 71 සිට 69 දක්වා සුළු වශයෙන් අඩුවී ඇත.
ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයේ 1987 සිට 2024 දක්වා කාලයේදී අඩු ආදායම් ලබන රටවල් ගණන 0 දක්වා අඩු වී ඇති අතර ධනවත් රටවල් ගණන සියයට 9 සිට 46 දක්වා වර්ධනය විය. එම කාලයේදී මැද පෙරදිග සහ උතුරු ඇමෙරිකානු කලාපයේ අඩු ආදායම් ලබන රටවල් ගණන 2 සිට 3 දක්වා ඉහළ ගොස් ඇති අතර ධනවත් රටවල් ගණන සියයට 35 දක්වා වර්ධනය වී ඇත.
1987 වසරේදී අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයට අයත් වූ රටවල් සියල්ල 2024 වනවිට පහළ හෝ ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩවලට ඇතුළත් වී තිබේ. උප සහරා අප්‍රිකා කලාපයේ අඩු ආදායම් ලබන රටවල් සංඛ්‍යාව එම කාලය තුළදී සියයට 75 සිට 45 දක්වා පහළ ගොස් ඇත.
මෙම වසරේ වර්ගීකරණයේදී සිය ආදායම් මට්ටම ඉහළ දමා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ කොස්ට රිකාව, කාබෝ වර්ඬේ සහ සමෝවා යන රාජ්‍ය තුනට පමණි. මෙවර වර්ගීකරණයේදී නැමීබියාවේ ආදායම් වාර්ගීකරණය පහළ ගොස් ඇත. පසුගිය 1 වැනිදා සිට එළඹෙන ජූනි මාසය දක්වා කාලය 2026 මූල්‍ය වර්ෂයට අයත් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාව නැවතත් පහළ මට්ටමේ මැදි ආදායම් රටවල් කාණ්ඩයට