එක්සත් රාජධානියේ වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා කාන්තා ව්‍යවසායිකාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය  (SME) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානය විසින් සිංහල සහ දෙමළ භාෂාවලින් අපනයන අත්පොත් නිකුත් කර ඇත. 
SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සත්කාරක ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය  (ITC)  සහ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සමග එක්ව මෙම විෂය ක්ෂේත්‍රවලට අදාළ අපනයන අත්පොත් ද්විත්වය එළිදක්වන ලදී. මෙම අත්පොත් මගින් ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන සූදානම ශක්තිමත් කර එක්සත් රාජධානියේ වෙළෙඳපොළට වඩා හොඳින් ප්‍රවේශ වීමට සහාය වීම අපේක්ෂා කෙරේ.
ඇඟලු‍ම් සහ රෙදිපිළි (කාන්තා උපාංග, පාවහන් සහ අත්කම් නිර්මාණ ඇතුළුව) මෙන්ම සකස් කළ කෘෂිකාර්මික ආහාර සහ කුළුබඩු යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම සම්පත් මගින් එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) පිළිබඳව මග පෙන්වීම් ලබා දෙයි. මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට අපනයනය කරන නිෂ්පාදනවලින් සියයට 92කට පමණ තීරුබදු රහිත ප්‍රවේශයක් සහ අනෙකුත් වෙළෙඳ ප්‍රතිලාභ හිමිවේ. එක්සත් රාජධානියේ රජය විසින් අරමුදල් සපයනු ලබන මෙම මුලපිරීමSheTrades Commonwealth+ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අතර, එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කාන්තා ව්‍යවසායිකාවන්ගේ සහ කාන්තා නායකත්වයෙන් යුත් අපනයන නැඹුරු ව්‍යාපාරවල තරගකාරිත්වය, ධාරිතාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
මෙම සමාරම්භක අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ නියෝජිත ලෝඞ් හැන්ට්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු සමග අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයන් සහ ව්‍යවසායකයන් සහභාගී වූහ. එහිදී සාකච්ඡා වූයේ අපනයන කේන්ද්‍ර කරගත් කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අපනයන අවස්ථා පුළුල් කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීමේදී ඇතිවන අභියෝග පිළිබඳවයි.
උත්සවය අමතමින් ලෝඩ් හැන්ට් මහතා කියා සිටියේ ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථාවලින් දිගින් දිගටම ප්‍රතිලාභ ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙවැනි වෙළෙඳ සහායක මුලපිරීම් වැදගත් වන බවයි. අපනයන අත්පොත් දේශීය භාෂාවලට පරිවර්තනය කිරීමෙන් වටිනා වෙළෙඳපොළ තොරතුරු ශ්‍රී ලංකාව පුරා සිටින ව්‍යවසායකයන්ට වඩාත් පහසුවෙන් ලබා ගත හැකි වන බව ඔහු පෙන්වා දුන්නේය. එමගින් පුළුල් පරාසයක ව්‍යාපාරවලට එක්සත් රාජධානියේ වෙළෙඳපොළ අවශ්‍යතා සහ අවස්ථා පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. තීරුබදු රහිත ප්‍රවේශයත් සමග ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට එක්සත් රාජධානියේ වෙළෙඳපොළ හරහා සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමට විශාල ඉඩකඩක් පවතින බවද ඔහු පැවසීය.