- එය ලෝක බැංකු සමූහය වසරක් තුළ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා යොමු කළ වැඩිම මුදල් ප්‍රමාණයයි. එහිදී රැකියා උත්පාදනයට වැඩි අවධානයක්
විමුක්ති එස්. රුද්‍රිගු
සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික අංශයේ ආයෝජන සඳහා 2026 මූල්‍ය වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 112ක ප්‍රාග්ධනයක් යොදවා තිබෙන බව ලෝක බැංකු සමූහය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එය ලෝක බැංකු සමූහය වසරක් තුළ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා යොමු කළ වැඩිම මුදල් ප්‍රමාණය බවත් එහිදී රැකියා උත්පාදනය සඳහා වැඩි අවධානයක් යොමු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ. 2022 වසරේදී ලෝක බැංකුව පෞද්ගලික අංශයේ ඩොලර් බිලියන 35ක් ආයෝජනය කර තිබූ බවත්, වසර හතරකදී එය තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබෙන බවත් එහි දැක්වේ.
ඒ අනුව 2026 මූල්‍ය වර්ෂයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදුන් සමස්ත මූල්‍ය සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවා ඇති බවද ලෝක බැංකු නිවේදනයේ සඳහන් වේ. පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල පුද්ගලික අංශයේ ආයෝජනය කළ ප්‍රාග්ධනය 2022 වසරේ ඩොලර් බිලියන 14 ක් වූ බවත් එය 2026දී ඩොලර් බිලියන 37 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එහි දැක්වේ.
ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටවල එම ප්‍රමාණය ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 50 දක්වා ඉහළ ගොස් ඇති අතර, අප්‍රිකානු රටවල කළ ආයෝජනය ඩොලර් බිලියන 9 සිට ඩොලර් බිලියන 22 දක්වා ඉහළ ගොස් ඇත. තවද සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික ආයෝජකයට සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජනය කිරීමට පහසු වන පරිදි ආයෝජන සහතික වැඩි කිරීම, දේශීය මුදලින් මූල්‍ය පහසුකම් ලබාදීම සහ විදේශ විනිමය සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබාදීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලෝක බැංකු සමූහය පවසයි.
2026 මූල්‍ය වර්ෂයේදී ලෝක බැංකු සමූහය ඩොලර් බිලියන 25කට වැඩි වටිනාකමකින් යුත් සහතික නිකුත් කර ඇති අතර, 2030 වනවිට වාර්ෂිකව ඩොලර් බිලියන 20ක සහතික නිකුත් කිරීමේ ඉලක්කයද වසර හතරකට පෙරම සපුරා තිබේ.
ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සඳහන් කරන්නනේ ප්‍රාග්ධනය වැඩි වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල පෞද්ගලික අංශයේ ආයෝජනය කිරීමේ අරමුණ රැකියා සහ ආර්ථික අවස්ථා වැඩි කිරීම බවයි. ඉදිරි වසර 10ත් 15ත් අතර කාලයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණයන් බිලියන 1.2ක් රැකියා කිරීමේ වයසට පැමිණීමට නියමිත නමුත්, එම කාලය තුළ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරන රැකියා සංඛ්‍යාව මිලියන 420ක් පමණක් බව ලෝක බැංකුව පවසයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා 10කින් නවයක්ම පෞද්ගලික අංශය මගින් නිර්මාණය වන බවද එම සමූහය සඳහන් කරයි. යටිතල පහසුකම් සහ බලශක්ති, කෘෂි ව්‍යාපාර, සෞඛ්‍ය, සංචාරක සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර රැකියා වැඩි වශයෙන් ඇති කළ හැකි ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර, 2026 මූල්‍ය වර්ෂයේදී ලෝක බැංකු සමූහයේ සමස්ත මූල්‍ය සහායෙන් සියයට 55ක් එම ක්ෂේත්‍ර සඳහා යොමු කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පවත්වාගෙන යාම සහ රැකියා අවස්ථා ඇති කිරීම සඳහා ඉදිරි වසර පහ තුළ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු සමූහය සැලසුම් කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සෘජුව සහ හවුල් ආයෝජන ලෙස ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් යෙදවීමට නියමිත අතර, ලෝක බැංකුව ඉදිරි වසර තුන තුළ ඩොලර් බිලියන 1ක් දක්වා අඩු පොලී මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිත බව සඳහන් වේ.
ශ්‍රී ලංකාව මැදි කාලීනව ධනාත්මක සැලකිය යුතු ආර්ථික වර්ධන ඉලක්කයක් කරා ගෙන යාම සහ රැකියා උත්පාදනය සඳහා සහාය වීම මෙම වැඩසටහනේ අරමුණු බවද ලෝක බැංකු සමූහය පැවැසුවේය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළට තරුණයන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් එක්වීමට නියමිත බැවින් රැකියා උත්පාදනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර ඇති බව එම සමූහය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd