විමුක්ති එස් රුද්‍රිගු
![]() |
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත |
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වුවත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් බදු ගෙවන්නන් පිරිසක් සොයා ගැනීමට නොහැකිව එම දෙපාර්තමේන්තුව ගැටලුවකට මුහුණදී සිටී.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ 2023 වසරේ මැයි මාසයේදී හඳුන්වා දුන් නීතිමය අවශ්‍යතාවට අනුව, වයස අවුරුදු 18ට සහ ඊට වැඩි සියලුම පුද්ගලයන්ට ටින් අංකයක් ලබා ගැනීම අනිවාර්ය වුවත් තවමත් ටින් අංකයක් ලබා නොගත් පිරිසක් සිටින බවය.
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 100 පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අංකය ලබා ගැනීමට සිටින බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 17 ක් 18 ක් පමණ සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබෙන බවද ඔහු පැවැසුවේය.
වර්තමානය වනවිට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ ප්‍රගතියක් ලබා ඇතත් තවත් බොහෝ දුර යා යුතුව තිබෙන බව ශාන්ත මහතා ප්‍රකාශ කළේය. බදු ගෙවීමට සුදුසුකම් තිබෙන ටින් අංකය ලබාගෙන නැති මෙම ලක්ෂ 70 ක පමණ පිරිස බදුදැල තුළට ගෙන ආ යුතු බවද ඔහු පැවැසුවේය. බදු දැලට ඔවුන් ඇතුළත් කර ගැනීම අනුකූලතාව සඳහා පමණක් නොව, දිගුකාලීන මූල්‍ය තිරසාරභාවය සඳහා ද ඉතා වැදගත් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා ප්‍රකාශ කළේය.
2023 වසරේදී, රජය ටින් අංකයක් ලබා ගැනීම නීතිමය අවශ්‍යතාවක් බවට පත් කර සිටියේ, බැංකු තැන්පතු, ණය කාඩ්පත් නිකුත් කිරීමේ සිට ඉඩම් සහ වාහන ලියාපදිංචි කිරීම් දක්වා පුළුල් පරාසයක මූල්‍ය හා නීතිමය ගනුදෙනු සඳහා ටින් අංකය ඒකාබද්ධ කිරීමේ අරමුණින්ය. ටින් අංකයක් ලබා ගැනීමේ ප්‍රවේශය විධිමත් කිරීම සඳහා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ටින් අංකයක් ලබාගැනීමේ අයදුම්පත් යොමු කිරීම සඳහා මාර්ගගත ද්වාරයක් දියත් කරන ලද අතර, එමඟින් ශ්‍රී ලාංකිකයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලවලට පෞද්ගලිකව පැමිණීමෙන් තොරව ටින් අංකයක් සඳහා ලියාපදිංචි වීමට ඉඩ සැලැස්විණ.
කෙසේ වෙතත්,ටින් අංකයක් ලබා ගැනීම සඳහා නීත්‍යානුකූලව ලියාපදිංචි වීමට බැඳී සිටියද, බොහෝ විට බදු සීමාවට වඩා පහළට වැටෙන සහ විධිමත් පද්ධතියෙන් විසන්ධි වී සිටින අඩු ආදායම්ලාභී හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ව්‍යූහාත්මක අභියෝගයකට මුහුණ දෙමින් සිටී. මෙම අඩු ආදායම්ලාභින්ට ලැබෙන සහන අතර පොලිය මත අයකරනු ලබන රඳවා තබා ගැනීමේ බද්දෙන් ලැබෙන බදු නිදහස් කිරීමද තිබෙන අතර ඒ සඳහා සිය ගිණුම තිබෙන වාණිජ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ස්වයං ප්‍රකාශයක් ලබාදීම අනිවාර්ය වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද පසුගිය 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5 සිට 10 දක්වා වැඩිකරනු ලැබුවේය.
එහිදී එම බද්දෙන් නිදහස් වන පුද්ගලයකුගේ ආදායම් සීමාව වසරකට රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 18 දක්වා වැඩි කිරීමටද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කළේය. එම සහනය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අහිමිවන ආදායම රුපියල් බිලියන 60 ක් පමණ වන බවද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.
රුපියල් ලක්ෂ 18 ට අඩු ආදායම් ලබන්නන් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමක් ලබා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතනවලට දිය යුතු ස්වයං ප්‍රකාශය ඇතුළත් අයැදුම්පත්‍රය බැංකු හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි වුවත් ටින් අංකය නොමැති බොහෝ අඩු ආදායම්ලාභීන් විධිමත් බදු ක්‍රියාවලියට සම්බන්ධවීමට පසුබට වීමක් හෝ නොදන්නා කමක් පෙන්නුම් කරන බව ශාන්ත මහතා ප්‍රකාශ කළේය.
ටින් අංකය සැදීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එය අයැදුම්කරුට මෙන්ම අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙතද ලැබීමට සලස්වන බව නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.
කෙසේ නමුත් ස්වයං ප්‍රකාශයේ වැරදි තොරතුරු ඇතුළත් කර ඇති පුද්ගලයන්ට එරෙහිව දේශීය ආදායම් පනත යටතේ නීතිමය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනු ඇති බවද ශාන්ත මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුපියල් බිලියන 2,195ක දේශීය ආදායම් ඉලක්කයක්